ජනප්‍රිය ගායන ශිල්පීන් සමග කතාබහක්

 

මුළු ලෝකයම කොරෝනා රෝගය හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දි තිබේ. ලංකාවටද එයින් ගැලවීමක් නැත. මේ විමසා බැලෙන්නේ කොරෝනා නිසා. ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට ඇතිව තිබෙන ගැටලු ගැනය. ජනප්‍රිය ගායක ගායිකාවන් කීපදෙනෙක් ඒ පිළිබඳව සිය අදහස් දක්වා සිටියේ මෙසේය.   


ප්‍රවීණ ගායන ශිල්පී

නන්දා මාලනී  


ඇත්තටම මොකක්ද මේ වුණේ කියලා හිතාගන්නවත් බැරුව තමයි ඉන්නේ. මීට කලින් මේ තරම් භායානක තත්ත්වයකට ලෙඩක් නිසා අපි පත්වෙලා නැති තරම්. ලෝකේ බොහෝ රටවල් මේ ප්‍රශ්නෙන් පීඩාවට පත්වෙලා. මුලින්ම කියන්න ඕන. ඉක්මනින්ම මේ තත්ත්වය පහවෙලා මුළු ලෝකයම සුවපත් වෙන්න කියලා.  


හැමදෙනාමට වගේ අපේ රටේ අයටත් මේ තත්ත්වය තදින්ම බලපෑවා. ඒ ගැන අමුතුවෙන් විස්තර කරන්න දෙයක් නෑ. පත්තරයක් බැලුවත් ටී.වී එකක් බැලුවත් රේඩියෝ එකක් ඇහුවත් හැම තිස්සේම කියන්නේ මේ ප්‍රශ්නයේ වගවිස්තර.  


අපිටත් මේ නිසා සෑහෙන්න දුෂ්කරතාවන් වලට මුහුණ දෙන්න සිද්ධ වුණා. හැමෝම මුහුණ දීපු කාරණා අපටත් පොදුයි. ඊට අමරතව අපි කරපු වැඩ නැවතිලා තියෙනවා. මගේ සංගීත පංති ඔක්කොම නවත්තලා තියෙන්නේ. මම සංගීත පංති කරන එක තමයි ප්‍රමුඛතාව දීලා කෙරුවේ. දරුවෝ විශාල ප්‍රමාණයක් ඒවට සහභාගී වුණා. දැන් මේ තියෙන තත්ත්වය උඩ කවදා ඒවා නැවත ආරම්භ කරන්න පුළුවන් වෙයිද කියලා හරියටම කියන්න බෑ. ඉස්කෝල පටන් ගන්න සුදුසු වාතාවරණයක් ඇතිවුණ දවසක තමයි අපිටත් පංති ආරම්භ කරන්න වෙන්නේ.   


ඇත්තටම මේ කොරෝනා රෝගය ඇවිත් සියලුම මිනිස්සු විශාල පීඩාවකට පත්වෙලා ඉද්දී අපි අපේ ප්‍රශ්න විතරක් කතා කරලා වැඩක් නෑ. ඒත් හැමෝටම වගේ අපිටත් මේකෙන් දුෂ්කරතාවක් ඇතිවුණා. ඒ කොහොම වුණත් සෞඛ්‍ය අංශ දෙන උපදෙස් වලට අනුව ක්‍රියාකරලා පුළුවන් තරම් මේකෙන් ගැලවිලා ඉන්න තමයි අපි උත්සහ කරන්න ඕන. මම නම් ඒ විදියටම තමයි මේ ටිකේ හිටියේ. පොත පත කියවන එකට වැඩි කාලයක් වැය කළා මේ ටිකේ.   


මඟඅැරිලා තිබුණු පොත් කීපයක්ම කියවන්න පුළුවන් වුණා. ඒ ඇරෙන්න වෙන විශේෂ දෙයක් කෙරුවේ නෑ.   


සංගීත ශිල්පීන් විදියට කරපු වැඩත් ඉතිං මේ ටිකේ නැවතිලා. සැලසුම් කරගෙන ඉදපු වැඩ කීපයක්ම අවලංගු කරන්න සිද්ධ වුණා. විදෙස් ප්‍රසංග කීපයක් සැලසුම් කරලා තිබුණේ. අපි මාර්තු 21, 23 දෙකේ ලන්ඩන්වල ප්‍රසංග දෙකක් යොදාගෙන තිබුණා. මමත් සුනිල් එදිරිසිංහත් රෝහණ වීරසිංහත් තමයි යන්න හිටියේ. ඒකට අවශ්‍ය ඔක්කොම සූදානම් කරගෙන ඉද්දී තමයි මේ ප්‍රශ්නේ ආවේ. අපිට ඒක සංවිධායකවරු එක්ක කතා කරලා අවලංගු කරන්න සිද්ධ වුණා. ඊළඟ අවුරුද්දේත් මේ ප්‍රසංගය පවත්වන්න පුළුවන් වෙයිද කියන්න බෑ.   


ඒ වගේම ජුනි මාසේ ඕස්ට්‍රේලියාවේත් නවසීලන්තේත් ප්‍රසංග කීපයක් සැලසුම් කරල තියෙනවා. ඒවටත් යන්න පුළුවන් ද බැරිද කියන දෙගිඩියාවෙන් ඉන්නේ. ඒවත් බොහෝ දුරට අවලංගු කරන්න සිද්ධවෙයි. ඒත් අපිට එන විදියකට මුහුණ දෙන්න සිද්ධවෙනවා. ඔක්කෝටම ඉස්සෙල්ලා මිනිස්සු ආරක්ෂාවෙලා ඉන්න ඕනනේ.   


ගායන ශිල්පී 

සමන් ද සිල්වා


මේක නම් විශාල ප්‍රශ්නයක්. අපි කවුරුත් මාර අමාරුවක දාපු ලෙඩක් තමයි මේක. එහෙමම කියලා ඉතිං මැරෙන්න බෑනේ. කොහොම හරි ආරක්ෂා වෙන්න ඕන.   


කලාකාරුවෝ විදියට මේ වගේ ප්‍රශ්නයක් ආවම අපි හැමදාම කෙරුවේ හදිසියට එකතුවෙලා මේ ගැන කතා කරලා කවුරු හරි ලොක්කෙක් මුණ ගැහිලා ආධාර උපකාර ඉල්ලන එක. එහෙමම නැතුව සියලු කලාකරුවෝ සුරැකෙන්න ක්‍රමයක් තාම හදාගන්න බැරිවෙලා.   


ඇත්තම කියනවානම් මේ වෙලාවෙත් අපේම අය හැසිරෙන විදිය ගැන නම් යම් යම් ප්‍රශ්න සහ කලකිරීම් තියෙනවා. පුළුවන් උදවිය දේශපාලන ලොක්කෝ අල්ලගෙන එක එක වැඩ කරනවා. ඒත් අසරණම කලාකරුවෝ ගැන බලන්න කවුරුත් නෑ. ආණ්ඩුවට සල්ලි හොයලා දෙන්න ප්‍රසංග පවත්වන්න උත්සහ කරනවා වගේම අපේ අසරණ කලාකරුවෝ ගැනත් බලන්න ඕන. ආණ්ඩුවේ මැදිහත්වීමෙන් කලාකරුවන්ට දීපු පොඩි පොඩි සහන වුණත් හරි ක්‍රමවේදයකට බෙදුවේ නෑ. ඒවටත් තිබුණේ පංගුපේරුව. ඇත්තටම අපේම අයගේ වැඩ ගැන කලකිරීමක් තියෙන්නේ. මේක අස්සෙත් සමහරු තම තමන්ගේ බිස්නස් එක ජයටම කරගන්න බලනවා. ඒත් ඇත්තටම අසරණ කලාකරුවා ගැන කවුරුත් බලන්නේ නෑ.   


අපි බෑන්ඩ් ගහන්න පටන් අරන් දැන් සෑහෙන්න කාලයක්. හැමදාම මේ වගේ ප්‍රශ්නයක් ආවම ඉස්සෙල්ලම පහර වදින්නේ අපිට. ඒත් අපිට තාම මේ වගේ දේකට මුහුණ දෙන්න පොදු වැඩ පිළිවෙළක් නෑ. කලාකරුවන්ගේ එකමුතුකම ගැන ප්‍රශ්න තියෙනවා. එ්ත් කෙනෙක් කපාගෙන තව කෙනෙක් දේශපාලන නායකයෝ ළඟට කිට්ටුවෙලා හම්බකරගන්න කලාවක්නේ දැන් කාලයක් තිස්සේ කෙරෙන්නේ. මේක ආණ්ඩුවත් තමන්ගේ වාසියට හරවගෙන ඉන්නේ. 

 

 

 
ගායන ශිල්පී 
ශෂිකා නිසංසලා 


අපි විතරක් නෙවෙයි. ලෝකෙම මේ ප්‍රශ්නේ නිසා ආමරුවෙන් ඉන්නේ. බලවත් රටවල් වලට පවා මේකෙන් බේරෙන්න බැරි වුණා නේ. ඒ අතින් අපේ රට ටිකක් හරි වාසනාවන්තයි කියලා හිතනවා. අපි බොහෝ දුරට මේ තත්ත්වය පාලනය කරගන්න සමත් වෙච්ච නිසා.   


මේ වගේ ප්‍රශ්නෙකදී එළිමහන් ප්‍රසංග තමයි ඉස්සෙල්ලාම නවතින්නේ. ගායක ගායිකාවන් විදියට ඒක අපිට තදින්ම බලපානවා. අප්‍රේල් මැයි කියන්නේ අපි කාර්ය බහුල වෙන කාලයක් ප්‍රසංග නිසා. ඒත් මේ අවුරුද්දේ වගේම ගිය අවුරුද්දෙත් මේ කාලේ අපි මේ වගේම දුෂ්කරතාවට මුහුණ දුන්නා. ගිය අවුරුද්දේ බෝම්බ, මේ අවුරුද්දේ කොරෝනා.   


මේ නිසා මාසයක් දෙකක් අපි ගෙදරටම කොටුවෙලා. ඒත් අපි නම් ඒ කාලය හොඳ විදියට ගත කරන්න උත්සහ කළා. කාර්යබහුල ජීවිතයෙන් මිදිලා පවුලේ හැමෝම එක්ක කාලෙකට පස්සේ තමයි මෙහෙම ගත කරන්න ලැබුණේ. ඒකෙන් උපරිම ප්‍රයෝජනයක් ගත්තා මම නම්. දරුවෝ දෙන්නගේ පාසල් වැඩ නොකඩා මමත් මහත්තයත් එකතුවෙලා පුළුවන් හැටියට කරල දෙනවා. ඉස්කෝලේ යන්න බැරිවුණත් ඒ දෙන පැවරුම් හරියට කරන්න ඕනනේ.   
ඒ වගේම දරුවෝ දෙන්න ආස කෑම හදලා දෙන්න වැඩිපුර කාලයක් ගත කළා.   


ප්‍රසංග නම් ආපහු කවදා පටන් ගනීවිද කියලා හිතාගන්න බෑ. සෞඛ්‍ය අංශ කියන විදියට තමයි ඒවත් කරගන්න වෙන්නේ. ඒත් විශාල පිරිසක් රැස්වෙන එළිමහන් ප්‍රසංග පවත්වන එක ප්‍රායෝගිකව දුෂ්කර වේවි. මේකෙන් බොහෝ දෙනෙකුට ආර්ථික වශයෙන් දුෂ්කරතා ඇති වෙලා තියෙනවා. අපිත් මේකෙන් තමයි යැපුනේ. ඒත් අපි හැමදෙනාම ඕන වෙලාවක මේ වගේ අමාරුකම්වලට මුහුණ දෙන්න වෙයි කියන කාරණය හිතේ තියාගෙන හොඳ ආර්ථික කළමනාකරණයකින් කටයුතු කරන්න ඕන. තමන්ට ලැබෙන මුදල හරියට කළමනාකරණය කරලා මේ වාගේ අමාරුවකදී බයක් නැතුව ඉන්න පුළුවන් විදියට කටයුතු කරන්න ඕන. එහෙම වුණොත් යම් තරමකට හරි සහනයක් තියෙනවා. එහෙම නැතුව හම්බවෙන දේ ඉවක් බවක් නැතුව වියදම් කරලා පොඩි කාලයක් සැපට ඉඳල පස්සේ අමාරුවේ වැටෙන්න හොඳ නෑ.   


ඒක අපි විතරක් නෙවෙයි ඕනම වෘත්තියක ඉන්න අයට අදාළයි. අපි නම් මේ ප්‍රශ්නෙන් ඉගෙනගත් ලොකුම පාඩම ඒක. ඕන වෙලාවක නොහිතන දුෂ්කරතාවකට මුහුණ දෙන්න වෙනවා. 

 
ප්‍රශ්න එන්නෙ කොයි වෙලාවෙද කියන්න බෑ. අපි අපේ ආර්ථිකය හරියට සැලසුම් කරගන්න ඕන කියන පණිවුඩයත් කොරෝනා විසින් අපිට ලබා දුන්නා. 


ගායන ශිල්පී 
ආත්මා ලියනගේ  


ඉතාම කෙටියෙන් කිව්වොත් කොරෝනා නිසා අපි නන්නත්තාරයි කියලා තමයි කියන්න වෙන්නේ. අපිට වගේම කොයි රස්සාව කරපු අයත් මේ නිසා අමාරුවේ වැටුණා. සේවාවේ ස්වභාවය ඒකට බලපෑවේ නෑ. ඒත් මේ වගේ ප්‍රශ්නයක් ආවම ඉස්සෙල්ලා නවතින්නේ කලා වැඩ කටයුතු. ගිය අවුරුද්දේත් එහෙමයි. 


දැන් මේ වතාවේ කොරෝනා. මේක ඉතින් කාටවත් දොස් කියන්න චෝදනා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි අපිම පරිස්සම්වෙලා තමයි ගොඩගන්න පුළුවන්. ප්‍රසංග නැති නිසා අපි ගෙදරටම වෙලා ඉන්නවා. තියෙන විදියට කාලා බීලා ඔහේ ඉන්නවා. මේ තත්ත්වය හොඳ වෙච්ච දවසකට ආපහු වැඩ පටන් ගන්නවා. වෙන මොනවා කරන්නද. මේ වෙලාවේ කලාකරුවෝ විදියට එක එක සංවිධාන හදාගෙන අසරණ වෙච්ච අයට උදවු උපකාර කරනවා ටී.වී එකේ දැක්කා. ඒව ඉතින් හොඳ වැඩ. කලාකරුවන්ගේ සංගම් වලින් කලාකරුවන්ටත් උදවු කරනවා දැක්කා. මට මේ කියන කිසිම සංගමේකින් කතා කෙරුවෙවත් දුක සැප ඇහුවේවත් නෑ.   


ලෝකෙටම මේක අපබ්‍රංස ප්‍රශ්නයක් වෙලා තියෙද්දී අපිට තනි තනිව තියෙන ප්‍රශ්න ගැන කතා කරලා වැඩක් නෑ. පොදුවේ හැමදෙනාම රැකෙන්න ඕන. කවුරුත් අමාරුවේ වැටිච්ච වෙලාවක්නේ මේක. ඒක නිසා අරක නෑ මේක නෑ කියලා අඬ අඬා ඉඳලා හරියන්නේ නෑ. එකමුතුවෙලා මේ තත්ත්වය ජයගන්න ඕන. මොකද මේකට කවුරුත් පළී නෑනේ.   


අපිත් දාගෙන තිබුණු වැඩ කැන්සල් වෙලා තියෙනවා. නැත්තං අප්‍රේල් මැයි මාසේ හෙල්ලෙන්නවත් හම්බවෙන්නේ නෑ අපිට ප්‍රසංග නිසා. මමත් යන්න හිටියා විදේශ ප්‍රසංග කීපයක් සඳහා රටවල් කීපයකට. ඒව ඔක්කොම කැන්සල් කළා. ඒ වගේම මගේ පුතාලා දෙන්න එක්ක එකතුවෙලා සංගීත කණ්ඩායමක් හදාගෙන මගේ ලියතඹරා ප්‍රසංගය කරන්න සූදානම් වෙමින් ඉන්න කොට තමයි මේ ප්‍රශ්නේ ආවේ. ඒවත් කල්දාන්න වුණා. මේ තත්ත්වය ඉවර වුණ ගමන් ලියතඹරා ප්‍රසංග මාලාව කරගෙන යන්න මේ දවස්වල මම සූදානම් වෙනවා.   

 

 


ගායන ශිල්පී 
ප්‍රියා සූරියසේන 
 


සෑහෙන්න කරදරයක් තමයි මේ නිසා අපිටත් සිද්ධ වුණේ. ඒත් ඉතිං ඒකට කාටවත් දොස් කියන්න බෑනේ. ලෝකෙම පැතිරීයන ලෙඩක්නේ මේක. 

 
සංගීත සංදර්ශන ඔක්කොම නැවතුණා. බාරගෙන තිබුණු වැඩ ඔක්කොම නවත්තල දැම්මා ප්‍රසංග වගේම පටිගත කිරීම් එහෙමත් අවලංගු කරන්න සිද්ධ වුණා. කොරෝනා එන්න කලින් පටන් ගත්ත පටිගත කිරීම් කීපයක් අතරමග නතර කරලා ඉන්නේ. සිංදු කියන එක වගේම අලුත් සිංදු හදන එකත් ඒ නිසා නැවතිලා. සමහර ස්ටූඩියෝ වල බාගෙට රෙකෝඩින් කරපු සිංදු දැන් තියෙනවා. මොනව කරන්නද. වැඩ කරන්න බෑනේ. ඒවා ඉවර කරගන්න වෙන්නේ රට හොඳ වෙච්ච දවසක තමයි. එතකම් ගෙදරට වෙලා තියෙන දෙයක් කාලා ගෙදර වැඩක් පලක් කරගෙන ඉන්නයි තියෙන්නේ. රජයේ කොරෝනා මර්ධන වැඩපිළිවෙළට අපි උපරිම සහය දෙන්න ඕන. මේ වෙලාවේ වාද භේද හදාගෙන පිල් බෙදිලා ඉන්න නරකයි. ඒක නිසා මොන අමාරුකම වුණත් ඉවසගෙන මේ ටිකේ කට්ටකාගෙන ඉන්නවෙනවා.   


මේ වෙලාවේ ආණ්ඩුවෙන් විවිධ සහන දෙනවා. ඒක හොඳ දෙයක්. කාටත් මේවා සාධාරණව ලැබෙන්න ඕන. බැරි අමාරුකම් කාටත් මේ වෙලාවේ තියෙනවා. අපි එකිනෙකාට උදවු පදවු කරගන්න ඕන වෙලාවක් මේක. අපිත් දරුවෝ යාළු මිත්‍රයෝ නෑදෑයෝ බෙදා හදාගෙන කාලා බීලා තමයි මේ ටිකේ ඉන්නේ. කලාව කරන්නත් මිනිස්සු ජීවත්වෙලා ඉන්න ඕන. ඒක නිසා කලාකරුවෝ වගේම රසිකයෝත් රැකෙන වැඩපිළිවෙළක් තියෙනවානම් හොඳයි. එහෙම නැති වුණොත් කාටද කලාව කරන්නේ.

 

 

සටහන :
ප්‍රියන්ත කොඩිප්පිලි