ක‍්‍රිස්තුවර්ෂ 1672 වසරේ ත‍්‍රිකුණාමල වරායට පැමිණි ප‍්‍රංශ නෞකාවක නාවිකයෝ පිරිසක් උඩරට සිරි නැරඹීමට යද්දී එවකට ලක්දිව රජුවු දෙවැනි රාජසිංහ රජතුමාගේ සිරකරුවන් බවට පත් වූහ. එම නෞකාවේ පැමිණ උඩරට සිරකරුවන් බවට පත් වූ සෙනෙවියකුගෙන් පැවත එන පිරිසක් උඩරට අද ද ජීවත්වෙති. එම ප‍්‍රංශ සෙනෙවියාගේ නම ගැස්කොන් වූ අතර පසුව එය සිංහලයට පෙරළුණේ දස්කොන් නමිනි. නරේන්ද්‍රසිංහ රජුගේ අගමෙහෙසිය වූ ප‍්‍රමිලා බිසවට පෙම් කිරීමේ වරදට හිස් ගැසුම් කෑ බව කියන්නේ මෙම ප‍්‍රංශ සෙනෙවි ගැස්කොන්ගේ පුත‍්‍රයා වූ පේඩෲ ගැස්කොන්ය.  
දස්කොන් පරපුරේ කතාව දැන් ඔබට කියවිය හැකිය.  

සෙල්ලම් නිරිඳු හෙවත් ශ‍්‍රී වීරපරාක‍්‍රම නරේන්දාසිංහ (ක‍්‍රි.ව 1707 - 1739) කන්ද උඩරට පාලනය කළ පස්වෙනි රජතුමාය. එසේ නැතිනම් සිංහලයේ අවසන් රජතුමාය. ඉන්පසු රාජ්‍ය විචාරණ රජවරුන් සතර දෙනාම නායක්කාර වංශිකයෝය. මෙම රජුගේ කාලයේදී කුමන්ත‍්‍රණ කිහිපයකට ම, ඔහුට මුහුණ දීමට සිදු වේ. එක් අවස්ථාවකදී සෙංකඩගලපුර රජමාලිගාවේ සිට පලා යාමට දස්කොන් ද උදව් කරයි. පසුව මෙම රජතුමාගේ මහා අදිකාරම ලෙස පත් කරන පේඩෲ ගැස්කොන් හෙවත් පේදුරු දස්කොන් ප‍්‍රංශ ජාතිකයෙකි. රාජ උදහසට ලක් වී මිය යන්නේ දංගෙඩියට හිස තැබීමෙනි. එයට හේතුව වන්නේ රජුගේ අගමෙහෙසියක වූ ප‍්‍රමිලා බිසව සමඟ පැවති සම්බන්ධ වී සිටි බැවිනි.  


මේ වන විට දස්කොන් පරපුරේ ජීවත්ව සිටින වැඩිහිටිම පුද්ගලයන් දෙදෙනා වන්නේ, දස්කොන් අදිකාරම් මුදියන්සේලාගේ පුංචිකුමාරිහාමි දස්කොන් (80) සහ කුඩාබණ්ඩා දස්කොන් (78) ය. ඔවුහු ජීවත්වන්නේ උඩුවාවෙල ග‍්‍රාමයේය. කටුගස්තොට සිට රණවන පාරේ කිලෝ මීටර් තුනක පමණ දුරක් ගිය පසු උඩුවාවෙළ හමුවේ. එහෙත් ඔවුන්ගේ මුල් ගම වන්නේ වරාතැන්න, හල්ලොලුවය.   


දස්කොන් පරපුරේ බොහෝ තොරතුරු කුඩාබණ්ඩා දස්කොන් මහතා සතුව පවතී. ඔහු තම පරපුරේ අතීතය ආවර්ජනය කළේ අභිමානයෙනි.   


‘‘අපේ පවුලේ සහෝදර සහෝදරියෝ හය දෙනෙකි. පිළිවෙලින් මුතුබණ්ඩා, බණ්ඩාරමැණිකා, කිරිබණ්ඩා, ලොකුබණ්ඩා, පුංචිකුමාරිහාමි සහ මම. අපේ පියා පුංචි බණ්ඩා, පියා ගේ පියා පුංචිරාළ. ඔවුන් පිස්කල් කන්තෝරුවේ සේවය කළා. මමයි වැඩිමහල් සහෝදරියයි හැර අනෙක් වැඩිහිටි සියලුම දෙනා මිය ගොසින්.’’ වර්තමාන දස්කොන් පරපුර ආරම්භ වන්නේ වරාතැන්නෙන්. කුඩා බණ්ඩා මහතා තවදුරටත් තම පරපුර ගැන විස්තර කරමින් මෙසේ පැවසීය.  

 
‘‘අපේ පරපුරේ ඥාතින් කිහිප දෙනෙක්ම දැනටත් එහි ජීවත් වෙනවා. එහි අතීතය දෙවැනි රාජසිංහ (ක‍්‍රි.ව 1635 - 1687) යුගය දක්වා වූ ඈත අතීතයට දිව යනවා. අද මෙන්ම නැති වුවත්, එදා මුහුදු යාත‍්‍රිකයෝ සිටියා. අප රට දූපතක් වූ නිසා ඔවුන්ගේ ගමන් මාර්ගය වැටී තිබුණේ අප දිවයින ආසන්නයෙන්. දවසක් ප‍්‍රංශයට අයත් නැවක් අලූත්වැඩියා කිරීම සඳහා ත‍්‍රිකුණාමල වරායේ නැංගුරම් දැම්මා. නැව අලූත්වැඩියා කරන තෙක් එහි සිටි නැවියන් අවට පරිසරය නැරඹීමේ අදහසින් අශ්වයන් පිට නැග ගත් කිහිප දෙනෙකු ගමන් කළේ රට ඇතුළටය. ඒ යන අතර ඉදිරියෙන් අශ්වයන් පිට නැග ගත් තවත් පිරිසක් ඉදිරියට ආවා. ඒ දෙවෙනි රාජසිංහ රජු ආරක්ෂකයන් සමග මුහුද දෙසට ගමන් කරමින් සිටි අවස්ථාව.

 
දෙපිරිස මුහුණට මුහුණ ළං වූ වහාම රජුගේ ආරක්ෂක භටයෙක් ඉදිරියෙන් එන පිරිසගෙන් නුඹලා කවුරුන්ද ? විමසුවේ ඉදිරියෙන් එන පිරිස රජතුමාව ගරුසරු නොකරන බව තේරුම් ගිය නිසායි.  


මෙරට සිරිත් විරිත් චාරිත‍්‍ර ගැන කිසිවක් නොදන්නා විදේශිකයන් අසු පිටින් බසින්නේ නැතිව, එහි හිඳගෙනම රජතුමාට ආමන්ත‍්‍රණය කරමින් කියා සිටියේ අපි විදේශිකයෝ. නැව අලූත්වැඩියා කරන තෙක් රට ඇතුළට යාමට අදහස් කළා යනුවෙනි. මෙයින් කෝපයට පත් රජතුමා මේ විදේශිකයන් අල්ලා සිරකරනු යනුවෙන් ලෙස අණ දුන්හ. කුඩා බණ්ඩා මහතා කියයි.   


ඒ අනුව ප‍්‍රංශ නැවෙහි සිටි බොහෝ දෙනෙක් රාජසිංහ රජුගේ සිරකරුවෝ බවට පත් වූහ. දිර්ඝ කාලයක් ගම්වල සිරකරුවන් ලෙස සිටි ඔවුහු හිරෙන් නිදහස් වූ පසු, කොටසක් දිවයිනෙන් ආපසු පිටත්ව ගියා. ඉතිරි වූ, කිහිප දෙනා මෙරට සිංහල කාන්තාවන් විවාහ කර ගෙන කන්ද උඩරට පදිංචි වුණා. ඒ ආකාරයෙන් මෙරට නැවතුණ සිරකරුවන් අතර ගැස්කොන් ද සිටියා. එහෙත් ඔහු විවාහ වීම සඳහා තෝරා ගත්තේ පෘතුගීසි කාන්තාවකි. ඇය සුරතල් පුතෙක් සහ දියණියක් බිහි කළාය. පුතාට පේඩෲ ගැස්කොන් නම තබන ලදී.   
යුරෝපිය පියෙකුට සහ මවකට දාව ඉපදෙන නිසා ඔහුට පැහැපත් රූපයක් හිමි විය. එපමණක් ද නොව ඉඩම් වතුපිටි පමණක් නොව ඉහළම සමාජයේ ප‍්‍රභූන් ආශ‍්‍රය කරමින් සැපවත් ජීවිතයක් ගත කිරීමට අවස්ථාව ලැබේ. කුඩා කාලයේ සිටම සිංහල භාෂාව හොඳින් ඉගෙන ගත් ඔහු සිංහල භාෂාව කියවීමට, ලිවීමට පමණක් නොව කචි රචනා කිරීමට ද දක්ෂයෙකු වූ බව කියැවේ. මිහිරි හඬින් ප‍්‍රශස්ති කවි ගායනා කිරීමටත් වාදන භාණ්ඩ කිහිපයක්ම වාදනය කිරීමටත් හැකියාව පැවතුණි. කාලයක් ගත වෙද්දී ඔහුගේ ගෑස්කොන් නම සිංහල ජනතාව අතර දස්කොන් නමින් ප‍්‍රචලිත විය.   


එවකට පැවති සමාජයේ රජ වාසලේ උසස් තනතුරු හෙබවූ නිසා එම වයසේම පසු වූ නරේන්දාසිංහ කුමාරයා සමග සෙල්ලම් කිරීමට අවස්ථාව උදාවූයේ දෙවන විමලධර්මසූරිය රජතුමාගේද ආශිර්වාදය මධ්‍යයේ ය. නිතර නිතර රජ වාසලේ නිදැල්ලේ ගැවසීමට අවස්ථාව උදා විය. නරේන්දාසිංහ කුමාරයාට අසු පිටින් යාමට පුරුදු කළේය. දෙදෙනා හොඳ මිතුරෝ බවට පත් වූහ. කාලය වේගයෙන් පියඹා ගියේ ය. විමලධර්මසූරිය රජතුමා හදිසියේම මියගියේය. ඒ සමඟම නරේන්ද්‍රසිංහ කුමාරයා රජ විය.  


නරේන්දාසිංහ රජ වී ටික කාලයක් ගත වූ පසු, රජමැදුර තුළ බුදු දහම සහ සිංහල ජාතිය කොන් වී, කතෝලික පාදිලිවරු කැල්වින්වාදින් ප‍්‍රබල වන විට උඩරට බෞද්ධ භික්ෂූන් වහන්සේලා, සිංහල රඳලවරු රජු මරා දැමීමට කුමන්ත‍්‍රණය කළහ. විදේශිකයන්ගේ සුළු වැරදි විශාලකොට පෙන්වා අපරාධකරුවන් ලෙස පිළිකුලට හා දඬුවමට පත් කිරීමට රහස් කුමන්ත‍්‍රණයක් ද විය. එවකට මෙරට රජවරුන් විවාහ වී සිටියේ උඩරට රදලවරුන්ගේ දියණියන් සමග ය. මේ නිසා ඔවුන්ගේ බලය වර්ධනය විය. සිහසුනට තර්ජනයක් වූයේ එම රදල පිරිසෙනි. නරේන්ද්‍රසිංහ රජු අදහස් කළේ අකීකරු සිංහල ප‍්‍රභූන්ගේ බලය මර්දනය කිරීම සඳහා මධුරා පුරයෙන් කුමාරියන් ගෙන්වා ගැනීමටය. මේ සම්බන්ධයෙන් ”මන්දාරම්පුර පුවතේ” සඳහන් වන්නේ මෙසේ ය.   


”රජු විවාහය සිදු කළේ සිහසුනට ගිජු වූ ප‍්‍රභූන්ට රජසිරි පිළිබඳ උරුමය සිඳ දමා රදළ පක්ෂය හා මිශ‍්‍ර නොවූ පිරිසිදු රජ පරපුරක් ඇති කිරීම උදෙසාය. එහෙයින් රජු ලංකාවේ සිටි මිශ‍්‍ර පෙළපතක් ඇති රජ කුමරියන් ගැන නොතකා මධුරා දියණියන් කැඳවීය” යනුවෙනි.  
ඒ සඳහා බලපා තිබූ තවත් කරුණක් වනුයේ පළමුවන විමලධර්මසූරිය (ක‍්‍රි.ව 1592-1594) රජුගේ කාලයෙන් පසු දිවයිනේ සිටි එකම රජ පවුල මහනුවර රජ පවුල පමණක් වීමය. විමලධර්මසූරිය රජතුමාට පෙර මහනුවර රජවරු කෝට්ටේ රජ පෙළපත සමඟ හෝ රජ පරපුරකට අයිතිවාසිකම් කියූ සතර කෝරළයේ කීරවැල්ලේ පෙළපත සමඟ හෝ අවාහ විවාහ සබඳතා ඇති කර ගත්තෝය. දාහත්වැනි සියවස ඇරඹෙන විට මෙම පවුල් දෙකම අහෝසි වූ බවත් එහි සඳහන් වේ. කෙසේ හෝ අවසානයේ මධුරා පුරයෙන් කුමාරියක් ගෙන්වා ගත් නරේන්දාසිංහ රජු ඇය කුණ්ඩසාලේ රජවාසලේ නතර කරවීය. බිසෝවරු සමග ඔවුන්ගේ නෑදැයන් පිරිසක් ද පැමිණියහ. ඒ අතරේ ප‍්‍රමිලා ද විය. ඔවුන්ට ඉහළ තනතුරු පිරිනමන ලදී. ඔවුහු බලයෙන් සහ ධනයෙන් හිස උදුම්මා ගත්තෝ ය. මෙයින් බෞද්ධ භික්ෂූන් වහන්සේලා, උඩරට රදළයින් කිපුණි. රජුට විරුද්ධව කුමන්ත‍්‍රණ කිහිපයක්ම ඇති විය. පට්ටිය බණ්ඩාර ඇති කළ කැරැල්ලේදී රජතුමා ජීවිතය ගලවා ගත්තේ අනූනවයෙනි. ඒ දස්කොන් නිසාය.  

 
දිනක් නරේන්ද්‍රසිංහ රජතුමා දස්කොන් රාජ සභාව ඉදිරියට කැඳවමින්....   
‘‘ඔබ නොසිටින්නට මා මිය යාමටත් ඉඩ තිබුණා. එයට කෘතගුණ සැලකීමක් සහ රාජ්‍යයේ රජතුමාව ආරක්ෂා කිරීම වෙනුවෙන් මහා අදිකාරම තත්ත්වයට ඔබ උසස් කරනු ලබනවා.’’ රජතුමා පැවසීය.   


පසුව දස්කොන් මහාඅදිකාරම් ධුරයට පත්කළේ කුඩා කල සිට තම විශ්වාස මිතුරා ලෙස ප‍්‍රදර්ශනය කරමිනි. ඒ වන විටත් රජු ගෙවමින් සිටියේ සෙල්ලක්කාර ජීවිතයකි. මාස කිහිපයක් කුණ්ඩසාලේ රැඳෙන ඔහු දියතිලකපුර හෙවත් හඟුරන්කෙත මාලිගයේද කාලය ගත කළේය. අතිශය රූමත් ප‍්‍රමිලා බිසව රජු නොමැති බොහෝ අවස්ථා වල රජ වාසලේ ගත කරන්නේ කාන්සියෙනි. රජ වාසලට පැමිණි කෙටි කාලයකදි සිංහල භාෂාව තරමක් හොඳින් ඉගෙන ගත් ඇය කවි නිර්මාණයෙහි ද යෙදිණි. මේ සඳහා උපකාර කළේ දස්කොන් අදිකාරම්ය. ඔහු ඒ වන විට කවි පොත් දෙකක් රචනා කර තිබුණි. රාජ්‍ය සභාවේ ප‍්‍රශස්ති කවි ඇතුළත් ශ‍්‍රී නාමය ඉන් එකකි. දෙවැනි කාව්‍ය ග‍්‍රන්ථය වූයේ කවි අන්දාය හෙවත් කඹේ නැටීමය. පසුව ඔහු ප‍්‍රමිලා සම්බන්ධයෙන් වූ ප‍්‍රශ්නයේදී හිස ගසා දැමීමට පෙර සිර ගෙදර ගත කිරීමට සිදු විය. එහිදී ලියූ කාව්‍ය සංග‍්‍රහය නෝක්කාඩුමාලයයි.   


පුංචි කුමාරිහාමි දස්කොන් මහත්මිය තම පරපුර ගැන ආවර්ජනය කරමින් මෙසේ කීවාය.. ‘‘දස්කොන් මහාඅදිකාරම් සේවය කිරීමට පිටත්ව ගියේ වරාතැන්නේ සිටයි. එහි රජ දවස පිහිටි වලව්ව අද එතැන නැති වුවත්, ඥාතීන් කිහිප දෙනෙකුම වාසය කරනවා. කටුගස්තොට සිට පේරාදෙණිය දක්වා මාවත වැටී තිබෙන්නේ වරාතැන්න හරහායි. වරාතැන්න පමණක් නොවෙයි මෙම මුළු පළාතම අයිතිව තිබුණේ දස්කොන් අදිකාරම්ටයි. වර්තමාන අධිකරණ සංකීර්ණය පිහිටි ප‍්‍රදේශය පවා එදා අයිතිව තිබුණේ අපේ පරම්පරාවට බව අපේ අත්තා කියනවා මට මතකයි.’’  


ඇය තවදුරටත් තම පරපුර ගැන සඳහන් කරමින් මෙසේද කීවාය. ‘‘රජුගේ හොඳම මිතුරා වූ දස්කොන් මාලිගයේ නිදහසේ ඇවිද ගියා පමණක් නොව ප‍්‍රමිලා බිසව සමග මිතුදමක් ද ඇති කර ගත්තා. රජු ඔවුන් අතර හිතවත් කමක් ඇති වී තියෙන බව දැන ගත්තද නිහඬව සිටියා. ඒ ඇයට කවි ලිවීමට සහ ගායනයට උගන්වන නිසා යැයි සිතා ගෙනයි. එහෙත් දෙදෙනා කවි ගායනා කරමින් තම ආදරය ප‍්‍රකාශ කර ගත්තේ බොහෝ දෙනෙකුට රහසක් වන ලෙසිනි. රජුට ද ප‍්‍රමිලා ගැන සොයන්න වේලාවක් නැත. ඔහුගේ සෙල්ලක්කාර ජිවිතය ගැන අවබෝධ කරගත් ඇය ද ටිකෙන් ටික දස්කොන්ට ළං වුණා.’’ දස්කොන් බිසවට කීවා යැයි සැලකෙන කවිය පුංචිකුමාරිහාමි ගායනා කළේ ඇය දස්කොන් පරපුරේම සාමාජිකාවක් බව සනාථ කරමිනි.  

 
රන් මාලය පැලඳ ගෙන ගත සුවිපුල්ලා ඉන් ආලය වඩයි මගේ සිත නුඹ පල්ලා පන් දහසකට මැද තිබුණත් උඩ එල්ලා රන් භාජනය නොවිදිද විදිනා ගුල්ලා   
යන්නෝ මෙමග රෑ දාවල් තොර වෙද්ද
බොන්නෝ ගඟෙහි දිය බොර කරල බොත්ද
දෙන්නෝ පහස ගෙට අඩගහලා දෙත්ද
දන්නෝ උපා මිණි බැඳි දොර නාරිත් ද   
මෙහි ඉතිරි කොටස ලබන සතියේ පළවේ.  


ස්තුතිය - පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප‍්‍රධාන පුස්තකාලයේ, පුස්තකාල සේවක (ලංකා කාමරයේ) එච්.එම් හේරත් බණ්ඩා, මහනුවර අශෝක ජයවර්ධන යන මහත්වරුන්ට   

ජායාරූප සහ සටහන 
සිසිර කුමාර බණ්ඩාර