අගක් මුලක් නැති කතා

 

ප්‍රේමදාස මහතා උපන්නේ මැද කොළඹ කෙසෙල්වත්තේය. එකල එහි තිබූ එකම හිසරදය නම් බීමත්කමට ඇබ්බැහිවූවන් බහුල වීමය. තැබෑරුම් වැහි වැහැලා තිබුණ මේ පරිසරය තුළ මත් පැන්වල ආදීනව හොඳින් දත් ප්‍රේමදාස තරුණයා තැබෑරුම් ටිකවත් වසා දැමිය හැකි නම් යන සිතිවිලිල්ල ඇතිව බොහෝ වෙහෙසිී කටයුතු කළේය. 
 
ඔහු ඒ සඳහා තමන් පිහිටවූ ශ්‍රී සුචරිත ව්‍යාපාර හරහා හැම ගෙදරකටම යමින් මත්පැන් නොබොන්නට පොළඹවා ගැන්මට කටයුතු කළේය. මෙය තැබෑරුම්කරුවන්ගේත් බීමට ඇබ්බැහි වුවන්ගේත් කෝපය අවුළුවාලන්නට හේතු විය.  


ඔවුහු රොද බැඳගෙන ප්‍රේමදාසගේ ගමන වළක්වාලන්නට විවිධ උපාය උපක්‍රම දියත් කළහ. එවන් මිනිසුන් නැති තැන ප්‍රේමදාසට මුදල් වියදම් කරන්නට ඔහුගේ ගමනට ශක්තියක් වන්නට ධනය කැප කරන්නෝ හොයා ගැනීම දුෂ්‍කර විය. එහෙත් සිය ගමන නොසැලී යන්නට ඔහු ඉටා ගෙන තිබිණි. මැද කොළඹ කියන්නේ කොළඹ තිබුණු දුප්පත්ම දියුණුවක් නොදැකපු ප්‍රදේශයක්. ඒ දුක්ඛිත ජීවිත නිසාම වෙන මගක් නැතිව මිනිස්සු විවිධ අපරාධවලටත් සම්බන්ධ වෙලා. ඒ නිසා මේ මිනිස්සු පොදුවේ මහා භයානක පිරිසක් හැටියට කොන් කරලා දාලා. ඔවුන් පහත් මිනිස්සු කියලයි හිතන්නෙ. ඒ වුණත් ඒ මිනිස්සු ඒ තත්ත්වෙම අද සමාජ ක්‍රමයේ හේතු කවුරුත් දකින්නෙ නෑ. ඒක බරපතළ අපරාධයක්. මේ යොවුන් ප්‍රේමදාස සුචරිත ව්‍යාපාරයේ රැස්වීමකදී කියූවකි. ඔහු වෙසෙස් ගතිගුණ ඇතිව තම ජන සමාජයට අවංකව සේවය කරන්නට ඒ තුළින්ම මතුවූ නිසා ඔහුගේ කුලය මේ ජනතාවට ප්‍රශ්නයක් වූයේ නැති බවත් ඔහු තේරුම් ගෙන සිටියේය.  


එකල බ්‍රිතාන්‍ය ක්‍රමයට අනුව ප්‍රදේශයේ තැබෑරුමක් වසා දමනවා නම් එම ජනතාවගේ කැමැත්ත තිබිය යුතුය. එය ඡන්දයෙන් කළ යුත්තකි. ප්‍රේමදාස තරුණයා මැද කොළඹ ගෙයින් ගෙට යමින් ජනතාව හමුවේ ඡන්දයට කැමැති කරවා ගන්නට බොහෝ වෙහෙසුණේය. බොන කන එක නතර කරන්න පුළුවන් වැඩක්ද අයිසේ. නිකං කාලෙ කන් නැතුව යනවා යි. මීට එරෙහි වූවෝ සංවිධානය වී තැන තැන රැඳී සිට ඔහුට පරිභව කළ අවස්ථාද තිබිණි.  


වැඩේ කුරුවල් කරන්නට එසේ කියන බව ඔහුට පසුව ආරංචි විය. මේ කාලයේ සිරිසේන කුරේගේ අයියා නන්දසේන කුරේද දේශපාලන කටයුතුවලට උනන්දුව කටයුතු කළේය. ඔහු ප්‍රේමදාස මහතාගේ නැගීසිටීම ඒ හැටි පිළිගත්තේ නැත. ඒ ඔහුද ඡන්දය දිනා ගැනීමේ සටනේ සිටි නිසා විය හැකිය. සිරිසේන කුරේ නම් ප්‍රේමදාස මහතාගේ මේ වෙසෙස් ගතිගුණ හා සමාජ මෙහෙවර ගැන පැහැදී උන්නේය.  


දිනක් සිරිසේන කුරේගේ පියා ඔහුට කීවේ මෙසේය. දේශපාලනය කරන්න ඕනෑනම් අයියා එක්ක නෙවෙයි. අර ළමයා එක්ක එකතු වෙන්න. එය සිරිසේන කුරේ ප්‍රේමදාස සුසංයෝගයට මානසික බැඳීමක් ඇති කළේය. එහෙත් නන්දසේන කුරේ සිරිසේන කුරේට කීවේ උඹ මෙහෙම අරූට වැඩ කරන්න යන්න එපා කියලාය. සිරිසේන ගිය තැන නන්දිසේන මග අහුරන්නට විය. මේ සියල්ල ප්‍රේමදාස උපේක්ෂාවෙන් විඳ දරා ගත්තේය. තවමත් නාගරික මන්ත්‍රීවරයකුද නොවී ප්‍රේමදාස තරුණයා කෙසෙල්වත්තටත් මුළු මැද කොළඹටත් නිහඬව කරන සේවය ඔප්නංවන්නට ක්‍රියාකාරී දේශපාලනයට පිවිසියේ 1949 දෙසැම්බර් නගර සභා මැතිවරණයටය. ගුණසිංහ මහතාගේ කම්කරු පක්ෂයෙන් කෙසෙල්වත්ත නාගරික ආසනයට තරග කරමිනි.  


එහෙත් එය ධන බලය කුල බලය නැතිව කළ අසීරු සටනක් විය. ප්‍රේමදාස මහතාගේ විරුද්ධවාදියා හැරී සිල්වා නම් සමාජශාලා හිමියා විය. ඔහු ධනවතෙකි. ප්‍රදේශයේ බලපුළුවන්කාරකම් ඇති පිරිස්වල පූර්ණ සහාය ඔහුට තිබිණි. සල්ලි විසි කළද සල්ලි උඩින් පීනා ගිය එම සටනේදී පළමු උත්සාහය ව්‍යර්ථ කරමින් ප්‍රේමදාස මහතා වඩාත් ශක්තිමත් වන්නට උත්සාහ කළේය. පසුව අල්ලස් චෝදනාවක් මත හැරී සිල්වාට ආසනය අහිමි විය. ඉන් පසු අතුරු මැතිවරණයකි. ඊට​ ප්‍රේමදාස මහතා ඉදිරිපත් විය. එවර ඔහුගේ ප්‍රධාන විරුද්ධවාදියා වූයේ කොමියුනිස්ට් පක්ෂ අපේක්ෂකයාය.  


ප්‍රේමදාස මහතාගේ කුලය හා පන්ති පසුබිමත් ඔහු අමද්‍යප ව්‍යාපාරයට දැක්වූ සක්‍රිය දායකත්වයත් නිසා හැරී සිල්වා ප්‍රේමදාස මහතා හා වෛරයෙන් පසු විය. ඔහු එවර උදව් කළේ කොමියුනිස්ට් අපේක්ෂකයාටය. ඊටත් වඩා ප්‍රේමදාස මහතා ඒ.ඊ. ගුණසිංහ හා එකතුව සිටීම හැරී සිල්වා වැන්නවුන්ට කොමියුනිස්ට් පක්ෂයටත් වඩා විස වී තිබිණි. සටන් පැරදී ඇද වැටෙද්දී සිහිනුවණ නැතිව නන්දොඩවන පිරිස් මැද ප්‍රේමදාස මහතා තුළ අපූරු ගති ගුණයක් විය. එනම් ඒ වැටෙන හැම මොහොතකම පෙරටත් වඩා පිබිදී සිහිනුවණින් නැගිට ජය ගැනීමය.  


ඔහු මේ කාලයේ තමන්ට එරෙහිව ඇති පන්ති පසුබිම හා දුප්පත්කම පිළිබඳව අපහාස උපහාස නිසාවෙන් කිපී නොගොසින් ඉවසා දරා සිටියේ පුදුම ආත්ම ශක්තියක් බව කෙසෙල්වත්තේ පැරැන්නෝ අදටත් සාක්ෂි දරති. ඔහු දිනක් ජන හමුවකදී මෙසේ කීය. මට මුදල් වියදම් කරන්න බල පුළුවන්කාර පවුල් පසුබිමක් නෑ. මම හැදුණේ වැඩුණේ මේ පළාතේ තමුන්නාන්සේලා අතරයි. ඒ නිසා මට පැදුරෙන් බිමට වැටෙන්න දෙයක් නෑ, මට ඒ දුක හොඳට පුරුදුයි. මම ඉගෙන ගත්තෙත් දුක් විඳලා. දුක් විඳලමයි මේ තත්ත්වෙටත් ආවේ. ඒ නිසා මට සමහරුන්ට වගේ තමුන්නාන්සේලා ළඟට ඇවිත් සල්ලි බෙදලා ඡන්ද ඉල්ල ගන්න බෑ. එහෙම ඕනෙත් නෑ. මට තමුන්නාන්සේලාගේ දුක් සුසුම් ඕනෑ එපාකම් හොඳට තේරෙනවා. ඒක කවුරුවත් කියලා දෙන්න ඕන නැහැ. මම අදටත් අාඩම්බර වෙනවා මම සාමාන්‍ය පවුලක දුප්පත් පරිසරයක මහා ලොකු අධ්‍යාපනයක් නොලබා තමුන්නාන්සේලාගේ නායකයෙක් විදියට මතුවෙන්න තමුන්නාන්සේලා අතර ඉපදීම ගැන.   


එ් හැම තැන්හිදීම ඔහු වඩාත් සංවේදීව දෑස් අග කඳුළු පිරෙද්දී කෙසෙල්වත්තේ ජනතාව ඇමැතූ බවට පැරැන්නෝ සාක්ෂි දරන්නේ ඔහු පිළිබඳ මතකය අලුත් කරමිනි. ප්‍රේමදාස මහතාගේ නිවෙසක් ලබාගත් පැරැණි වාමාංශිකයකුගේ දියණියක් තවමත් ප්‍රේමදාස මහතාගේ රුවට පහනක් පත්තු කරන්නීය.  


ඔහුගේ පියා​ ප්‍රේමදාස මහතාගේ මුල් කාලයේදී හැම කුඩා වත්තකටම ගිය වාමාංශිකයෙකි. පසුව ප්‍රේමදාස මහතා අගමැති වෙද්දී ඔහු වමට බරව සිටියත් ඡන්දය දී ඇත්තේ ප්‍රේමදාස මහතාටය. කළගුණ දත් මේ මිනිසුන් ඊට සාක්ෂි සපයන්නේ මහත් උනන්දුවෙනි. 1960 මාර්තු ඡන්දයෙන් එජාපය ජයගත්තද එජාප ආණ්‍ඩුව පැවැතුණේ මාස තුනකි. ජූලි මස පැවැති මැතිවරණයෙන් එජාපය පරාජයට පත්විය. ප්‍රේමදාස මහතාට ද තම අසුන රැක ගත නොහැකි විය. එදා මැතිවරණයෙන් පරාජයට පත්වුණා යැයි කියා රටින් පිට නොගිය ප්‍රේමදාස මහතා ලෝරන්ස් විද්‍යාලයේ රැස්වීමක් පවත්වා ස්තුති කතාවක් කරන්නට සූදානම්ව සිටියේය.  


පැරදුනත් මැද කොළඹ නැති බැරි දුප්පත් ජනතාවගෙන් පිරී පැවැති එම ජනහමුව හැඟුම්බර විය. එහිදී නෙතග පිරුණු කඳුළු අතරින් ප්‍රේමදාස මහතා අසල සිටි සිරිසේන කුරේට මෙසෙ කීය. පේනව ​නේද දුප්පත් වුණත් අවංක මිනිස්සු. සිරිසේන මම නැතිවුණත් මැද කොළඹ දුප්පත් මිනිස්සු කවදාවත් අමතක කරන්න එපා. එය ඔහුගේ අවසන් සුසුම් පිට කෙරෙන තුරුම ඔහු සිතෙහි රැඳී තිබුණු හැඟීමක් බවට සමීපතමයෝ සාක්ෂි දරති.  

 

 

 

 


රඛිත හේමවර්ධන