මළවුන්ගේ 
     අනාවරණ

ග්ලේන්බර්ග් වතුයායේ සේවය කළ සෙල්වරාණි සිවනේෂන් සිය සිව්වෙනි දරුවා ප්‍රසූත කළත් දරුවාත් මවත් දෙදෙනාම වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ල නිසා මිය ගොස් ඇතැයි ලැබුණ ආරංචිය නිසා වතුයායේ කම්කරු ජනතාව මහත් සේ කැළඹිල්ලට පත්වූහ. ඔවුහු සිය ගණනක් පැමිණ රෝහල වටකර ගත්හ. කෑ කෝ ගසමින් ඔවුහු වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු රෝහල් කාර්යමණ්ඩලයට චෝදනා කළහ.  

 
මේ ප්‍රශ්නය නිරාකරණය කිරීමට ඔවුන්ට කරුණු පැහැදිලි කරදීම පහසු කටයුත්තක් නොවූයෙන් පොලිසිය කැඳවා පිරිස විසුරුවා හැරීමට රෝහල් බලධාරීන්ට සිදුවිය. සාමාන්‍ය මාතෘ මරණයකදී වුවද පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සාමාන්‍යයෙන් සිදුකෙරෙන්නක් ​ෙවන අතර මෙය විශේෂ ප්‍රශ්නයක් ද ඇති කළ මරණයක් බැවින් ඒ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීම අනිවාර්යයෙන් කළ යුත්තකි. එහෙත් එය රෝහලේ අධිකරණ වෛද්‍යවරයාගෙන් සිදුකිරීම විශ්වාසනීයත්වයට හානියක් ​ෙවන නිසාම පේරාදෙණිය අධිකරණ වෛද්‍ය විශේෂඥ සරත්චන්ද්‍ර කොඩිකාර මහතාට පරීක්ෂණ කටයුතු භාරකෙරිණ.   


වෛද්‍යවරයා පළමු පියවර ආරම්භ කරමින් මෘත ශරීරයේ බාහිර පරීක්ෂාව සිදුකළේය. එහෙත් ඇගේ සිරුරේ බාහිරින් සැලකිය යුතු වෙනසක් දක්නට ලැබුණේ නැත. බාහිර තුවාල කිසිවක් නැත. රුධිරය වහනය වීම නිසා යම් සුදුමැලි ගතියක් දක්නට ලැබුණත් ඇයට රෝහලෙන් ලේ ලබාදී තිබූ නිසා ඒ සුදුමැලි ගතිය ද එතරම් සැලකිල්ලට ගතයුතු මට්ටමේ එකක් නොවිණ.   


වෛද්‍ය වාර්තා අනුව දරු ප්‍රසූතියෙන් ඇය බිහිකර තිබුණේ මළ දරුවෙකි. ඇය රෝහලට ඇතුළත් කරන විටත් යෝනි මාර්ගයෙන් අධික ලෙස රුධිරය වහනය වී ඇත. දරු ප්‍රසූතියේදී රුධිර වහනයක් සිදුවීම සාමාන්‍ය තත්ත්වයකි. එහෙත් මෙහි එක් ගැටලුවක් තිබිණ. ඒ දරුවා ප්‍රසූත කිරීමට වෛද්‍යවරුන් ලබාදී තිබූ දින යෙදී තිබෙන්නේ තවත් මසකට පසුවය. අඩු දිනවලින් දරුවන් බිහිවීමද සාමාන්‍ය තත්ත්වයක් ​ෙවන නිසා වෛද්‍යවරු ඒ සම්බන්ධයෙන්ද අනවශ්‍ය ලෙස කලබල වූයේ නැත. එහෙත් ඇගේ අධික රුධිර වහනය නිසා හිමෝග්ලොබින් ප්‍රමාණය අඩුවී තිබූ හෙයින් ඇයට අවශ්‍ය බී පොසිටිව් වර්ගයේ රුධිර කාණ්ඩයෙන් බාහිරින් රුධිරය ලබාදීමට පියවර ගෙන ඇත. පසුව ඇය දරුවා බිහි කළත් එය මළදරු උපතකි. දරු ප්‍රසූතියෙන් පැය කීපයකට පසු සෙල්වරාණි ද මිය ගියාය. මේ කිසිවක අධිකරණ වෛද්‍යවරයාට දකින්නට තරම් ගැටලුවක් නොවිණ.   


අනතුරුව දෙවැනි පියවර වශයෙන් පවුලේ සාමාජිකයන්ගෙන් මූලික තොරතුරු විමසා බැලුවේය. ඒ රෝග ඉතිහාසය පිළිබඳව සවිස්තරාත්මකව දැනගැනීමේ අවශ්‍යතාව ඇතිවය. සෙල්වරාණිගේ සැමියා වූ සෙල්ලමුත්තු කුමාර් පැවසූ තොරතුරුවලට අනුව සෙල්වරාණි තිදරු මවකි. මේ ඇගේ සිව්වැනි දරුවාය. ඔවුන් අවුරුදු හය, පහ සහ දෙක වයස්වල පසුවේ. කුමාර් පවසන පරිදි සෙල්වරාණි දරු ප්‍රසූතියට දින කීපයකට පෙර සිට ඇඟේ පතේ අමාරු ගැන කී අතර අවසන් දිනයේ ඇගෙන් රුධිරය වහනය වන්නට වූ නිසා රෝහල් ගත කර ඇත. ඒ හැරුණු කොට ඇයට වෙනත් කිසිම රෝගී තත්ත්වයක් තිබී නැත. පවුලේ අනෙකුත් සාමාජිකයන්ගෙන් ලබාගත් තොරතුරුවලින් ද ඊට වඩා වැඩි යමක් දැනගත නොහැකි විය.   


අනතුරුව වෛද්‍යවරයා සෙල්වරාණිගේ සායනික සටහන් ද පරීක්ෂා කර බැලුවේය. ඇය නියමිත පරිදි සායනවලට සහභාගී වී නැති බව එහිදි හෙළිදරව් විය. එය සාමාන්‍යයෙන් මෙවැනි වතුයායක ජීවත්වන නූගත් අයගෙන් සිදුවන අතපසුවීමක් බැවින් එයින්ද සැලකිල්ලට ගතයුතු මට්ටමේ ගැටලුවක් සොයාගත නොහැකි විය.   


දැන් තෙවැනි පියවර ගැනීමට වෛද්‍යවරයාට සිදුව තිබේ. ඒ ඇගේ ශරීර අභ්‍යන්තරය පරීක්ෂා කිරීමයි. සිරුර කපා පරීක්ෂා කිරීමේදී දරුවකු පිළිසිඳ ගැනීම හා ප්‍රසූතිය නිසා සිදුවූ වෙනස්කම් හැර වෙනස් කිසිවක් බැලූ බැල්මට දක්නට තිබුණේ නැත. ඒ නිසා වෛද්‍යවරයා ඇගේ සිරුරේ අභ්‍යන්තර අවයවවල ඉන්ද්‍රීය කොටස්වල පටක කීපයක් අන්වීක්ෂීය පරීක්ෂණ සඳහා ලබාගත්තේය. හෘදය වස්තුව, අක්මාව, වකුගඩු, ප්ලීහාව, කළලය, ගර්භාෂය. වැදෑමහ සහ යෝනි මාර්ගය ආදියෙන් එසේ පටක කොටස් හා රුධිර සාම්පල් ලබාගත්තේය. රුධිර සාම්පල් ලබාගත්තේ ක්ෂුද්‍රජීවි පරීක්ෂාවක් සඳහාය. මේ සියල්ල ලබාගැනීමෙන් අනතුරුව සිරුර අවසන් කටයුතු සඳහා නිකුත් කෙරිණ.   


සෙල්වරානි බිහිකළ දරුවාගේ කළලයත් ගර්භාෂයත් ශීතකරණයේ තැන්පත් කර තැබූ අතර පළමුව කළලය අධිකරණ වෛද්‍යවරයාගේ පරීක්ෂණයට භාජනය කෙරිණ. එහි සම ගැලවී තිබූ අතර අත්පා අසාමාන්‍ය ලෙස මෘදුවී තිබිණ. හිස පැතැලිය. හිස්කබලේ අස්ථි එක මත එක අතිපිහිත වී තිබේ. එසේම එම සිරුරෙන් විශේෂිත ගන්ධයක් ද නිකුත් විය. එයින් පෙන්නුම් කළේ කළලය බිහිවීමට දින කීපයකට පෙර මියගොස් තිබූ බවයි. එසේ සිදුවූයේ කෙසේද?   


දින කීපයකට පසු අන්වික්ෂීය පටක පරීක්ෂණය සිදුකෙරිණ. එයට දින කීපයක් ගතවූයේ රසායකින ද්‍රාවණයක ගල්වා එම පටක කොටස් දින කීපයක් තැබීමට සිදුවූ නිසාය. අන්වික්ෂීය පරීක්ෂණයේදී හෘදය වස්තුවේ පටක තුළ විශේෂිත ආකාරයේ සෛල වර්ගයක විසිරීමක් දැකිය හැකිවිය. ඒ නියුට්‍රොපිල නමැති සෛල වර්ගයයි. ඒවා නිසා හෘදය වස්තුවේ පටක සෛල විනාශ වී ඇති අයුරුදු දැකිය හැකිවිය. මෙවැනි තත්ත්වයක් දැකිය හැක්කේ හෘදයාබාධයක් වැළඳුන විටදී හෝ හෘදය වස්තුවේ බැක්ටීරියා ආසාදනයක් ඇතිවූ විටකදී පමණි.   

 

වෛද්‍ය වාර්තා අනුව දරු ප්‍රසූතියෙන් ඇය බිහිකර තිබුණේ මළ දරුවෙකි. ඇය රෝහලට ඇතුළත් කරන විටත් යෝනි මාර්ගයෙන් අධික ලෙස රුධිරය වහනය වී ඇත. දරු ප්‍රසූතියේදී රුධිර වහනයක් සිදුවීම සාමාන්‍ය තත්ත්වයකි. එහෙත් මෙහි එක් ගැටලුවක් තිබිණ. ඒ දරුවා ප්‍රසූත කිරීමට වෛද්‍යවරුන් ලබාදී තිබූ දින යෙදී තිබෙන්නේ තවත් මසකට පසුවය. අඩු දිනවලින් දරුවන් බිහිවීමද සාමාන්‍ය තත්ත්වයක් ​ෙවන නිසා වෛද්‍යවරු ඒ සම්බන්ධයෙන්ද අනවශ්‍ය ලෙස කලබල වූයේ නැත. එහෙත් ඇගේ අධික රුධිර වහනය නිසා හිමෝග්ලොබින් ප්‍රමාණය අඩුවී තිබූ හෙයින් ඇයට අවශ්‍ය බී පොසිටිව් වර්ගයේ රුධිර කාණ්ඩයෙන් බාහිරින් රුධිරය ලබාදීමට පියවර ගෙන ඇත. පසුව ඇය දරුවා බිහි කළත් එය මළදරු උපතකි. දරු ප්‍රසූතියෙන් පැය කීපයකට පසු සෙල්වරාණි ද මිය ගියාය. මේ කිසිවක අධිකරණ වෛද්‍යවරයාට දකින්නට තරම් ගැටලුවක් නොවිණ.   

 


හෘදයාබාධයකදී මේ තත්ත්වය ඇතිවී නම් එය සිදුවිය යුත්තේ හෘදයට රුධිරය ගෙන යන කිරීටක ධමනි අවහිර වීමෙන් නිසා මේ ලක්ෂණ දැකිය යුත්තේ එම ධමනියෙන් රුධිරය සපයනු ලබන ප්‍රදේශවල පමණි. එහෙත් මේ තත්ත්වය හෘදය වස්තුවේ සියලු ප්‍රදේශවල දක්නට ලැබිණ. ඒ අනුව මෙය හෘදයාබාධයකින් ඇතිවූවක් නොවන බව පැහැදිලි විය. එසේම සෙල්වරාණිගේ මිය යාමට පෙර තිබූ අසනීප තත්ත්වයන්, රුධිර වහනයන් හා කළලය මියයාම හෘදයාබාධයක් සමඟ සැසඳෙන්නේ ද නැති බව වෛද්‍යවරයා දැන සිටියේය.   


දෙවැනි උපකල්පනය ගැන වෛද්‍යවරයාගේ මීළඟ අවධානය යොමු විය. එනම් හෘදය වස්තුවට බැක්ටීරියාවක් ඇතුලු වීමෙන් එහි මාංශ පේශි ආසාදනය වූවාද යන්න සොයා බැලීමය. මෙවැනි තත්ත්වයක් හඳුන්වන්නේ මයෝකාඩයිටිස් ලෙසය. බැක්ටීරියාව හෘදය වස්තුවට ඇතුලු විය යුත්තේ රුධිරය හරහාය. ඒ නිසා එය රුධිරයේ ද තිබිය යුතුය. ඒ ගැන සොයාබැලීමට රුධිර සාම්පලයක් හා පෙර ලබාගත් අනෙකුත් පටක කොටස් ද අන්වික්ෂීය පරීක්ෂණයකට ලක් කරනු ලැබිණ.   


රුධිරයේ ස්ට්‍රෙප්ටොකොකස් පයෝජන්ස් නමැති බැක්ටීරියාවන් සිටින බව හඳුනාගත් අතර එම ජීවීන් රසායනාගාර තත්ත්ව යටතේ කෘතිමව වගාකළේය. ඉන්පසුව සෙල්වරාණිගේ අක්මාව, වකුගඩු හා ප්ලීහාවේ පටක අන්වීක්ෂිය පරීක්ෂාවට ලක්කළේය. එහිදී මේ සියල්ල ක්ෂුද්‍ර ජීවි ආසාදනයට ලක්ව ඇති බව දැකිය හැකි වූ අතර ඇයගේ රුධිරයේ මාරාන්තික ප්‍රමාණවලින් මෙම ක්ෂුද්‍රජීවින් සිටින බව හඳුනාගත හැකිවිය. එසේම ප්ලීහාවේ මෙම බැක්ටීරියා වර්ගය වැඩි වශයෙන් සාන්ද්‍රගත වී තිබිණ.   


මරණයට හේතුව ක්ෂුද්‍රජීවි ආසාදනයෙන් ඇතිවන මයෝකාඩයිටිස් නමැති රෝගී තත්ත්වය බව හඳුනාගැනීම දැන් අධිකරණ වෛද්‍ය විශේෂඥවරයාට අපහසුවක් නොවේ. එහෙත් ඒ ක්ෂ්ද්‍රජීවියා ඇගේ සිරුරට ඇතුලු වුණේ කෙසේද?   


වෛද්‍යවරයා මීළඟට ශීතකරණයේ තැන්පත් කර තිබූ සෙල්වරාණිගේ ගර්භාෂයෙන් යෝනි මාර්ගයෙන් හා කළලයෙන් ලබාගත් පටක හා රුධිර කොටස් ක්ෂුද්‍රජීවි පරීක්ෂාවට ලක් කළේය. එහිද පෙර කී තත්ත්වය දැකිය හැකිවිය. ඒ අනුව මෙම බැක්ටීරියාව යෝනි මාර්ගයෙන් ඇතුල්වන්නට ඇති බවට නිගමනය කළ හැකිවිය. එහෙත් ඒ කෙසේද?   


අධිකරණ වෛද්‍ය විශේෂඥවරයාගේ අවධානය වෙනතකට යොමුවූයේ මේ තත්ත්වය හමුවේය. ඔහු ශීතකරණයේ තැන්පත් කර තිබූ සෙල්වරාණිගේ ගර්භාෂය එළියට ගත්තේය. ගර්භාෂය කොටස් කීපයකි. ගර්භාෂ මුදුණ, ගෙල හා පැලෝපීය නාළ එම කොටස් ය. දරුවකු පිළිසිඳ ගත් විට ගර්භාෂ ශරීරයේ තැන්පත් ​ෙවන අතර ස්වභාවික දරු උපතකදී කළලය ගර්භාෂ ගෙල හරහා යෝනි මාර්ගය ඔස්සේ පිටතට පැමිණේ. එහිදී ගර්භාෂ ගෙල හා යෝනි මාර්ගය විස්තාරණය වන බැවින් එහි පටක ඉරීයාමට හැකිය.   


සෙල්වරාණිගේ ගර්භාෂ ගෙල ද යම් ඉරීමකට ලක්ව තිබිණ. ඇය මළ දරුවකු ප්‍රසූත කිරීම එයට හේතුව විය හැකිය. එහෙත් ඇගේ ගර්භාෂ ගෙලෙහි තුවාල අන්වික්ෂීය පරීක්ෂාවට ලක්කරමින් එහි වයස නිර්ණය කිරීමට වෛද්‍යවරයා උත්සාහ කළේය. ඒ අනුව මෙම තුවාලවලින් ලාක්ෂණික සෛල වර්ගයක් දක්නට ලැබිණ. ඒ අනුව මේ තුවාල සුවවෙමින් පැවති බව නිගමනය කළ හැකිය. එහෙත් දරුවා ප්‍රසූත කිරීමේදී මේ තුවාල ඇති වූයේ නම් ඉන් පැය කීපයකට පසු මිය ගිය සෙල්වරාණිගේ තුවාල සුවවීමට කාලයක් නැත. එසේ නම් මේ තුවාල ඇය මියයාමට දින තුනකට හෝ හතරකට පෙර ඇතිවූ ඒවා විය යුතුය. එසේ නම් ඒවා සිදුවිය යුත්තේ දරු ප්‍රසූතියට පෙර නිවසේදීය.   


නිවසේදී මෙවැනි තුවාල ඇති විය හැක්කේ ගබ්සාවක් සිදුකළහොත් පමණි. ඒ නිසා අධිකරණ වෛද්‍යවරයා සිය නිගමනය පැහැදිලිව ලියා තැබුවේය. ඒ සෙල්වරාණි මිය යාමට දින කීපයකට පෙර ආසන්න වශයෙන් දින තුනකට හෝ ඊටත් පෙර සිදුකළ ගබ්සාවක් හේතුවෙන් ස්ට්‍රෙප්ටොකොකස් පයෝජන්ස් නමැති බැක්ටීරියාව ආසාදනය වීමෙන් ඇතිවූ මයෝකාඩයිටීස් රෝගී තත්ත්වයෙන් හෘදය වස්තුව ආසාදනය වීම නිසා මියගිය බවය.   


මේ ප්‍රකාශයට අනුව සෙල්ලමුත්තු කුමාර් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඇය මිය යාමට දින පහකට පෙර සාපරාධී ගබ්සාවක් සිදුකළ බවට ඔහු පිළිගත්තේය. දරුවන් තිදෙනෙක් සිටින පවුලට තවත් දරුවෙක් වැඩිවීම ආර්ථික වශයෙන් දරාගත නොහැකිවීම නිසා ඔවුන් දරුවා නැති කිරීමට තීරණය කර ඇති බව ද දැනගන්නට ලැබිණ. හේතු මොනවා දැක්වුවද එය නීතියට පටහැනිය. ඒ නිසා පොලිසිය මෙම නීති විරෝධී ගබ්සාව සිදුකළ වෛද්‍යවරයා ද ඔහු සතු වෛද්‍ය උපකරණ ද අත්අඩංගුවට ගෙන මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරනු ලැබිණ. අධිකරණයේදී සාක්ෂි තහවුරු කළ හැකි වූයෙන් ඔවුන්ට වසර දහයක සිරදඬුවම් නියම විය. රෝහල් කාර්යමණ්ඩලය සියලු චෝදනාවලින් නිදහස් විය.   

 


(මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න)   

 


මුදිතා දයානන්ද