​මෙම සිදුවීම 2006 වසරේ රටම හොල්ලන්නට සමත්විය. ​ෙහණ හඬටත් වඩා මහ හඬක් නංවමින් පිපිරීමක් දිගම්පතහ ප්‍රදේශයේ සිදුවූයේ සීගිරි පර්වතයද හෙල්ලුම් කවමින්ය.  


එ්තරමට ඒ පිපිරීම බලගතුය.  


ත්‍රිකුණාමලය නාවික හමුද‌ා කඳවුරේ සිට රාජකාරි නිමවා නිවෙස් බලා යාමට නාවික බස් රථවලින් සීගිරිය පොලිස් වසමේ පිහිටි දිගම්පතහ ප්‍රදේශයට ආවේ එතැන් සිට නාවික හමුදාවට අයත් වෙනත් බස්රථවලින් ගම්බිම් බලා යාමටය.  


නිවාඩු අවසන් වූ නාවික භටයින් කණ්ඩායමක් නාවික බස් රථවලින් දිගම්පතහ ප්‍රදේශයට පැමිණ තිබුණේ එහි සිට නාවික හමුද‌ාවේම බස් රථවලින් තම තමන් රාජකාරි කරන කඳවුරු බලායාමේ අපේක්ෂාවෙනි.  


මෙය කාලයක පටන් සිදුවන ක්‍රියාවලියකි. 
 
ත්‍රිකුණාමලය කඳවුරේ සිට පැමිණ සිටි නාවික හමුද‌ාවේ ප්‍රධාන සුළු නිලධාරි ආනන්ද ගුණරත්න මහතා තවත් නාවික භටයන් කිහිප දෙනෙක් එක්ක තේ බීමට පාරෙන් එහා පැත්තේ වූ තේ කඩයකට යනවාත් එක්කම මහා පිපිරීම සිදුවූයේ මුළු ප්‍රදේශයම දෙදරුම් කවමින්ය.  


තේ බීම පසෙක තැබූ ආනන්ද ඇතුළු ඔහුත් එක්ක තේ බොන්න ගිය නාවික භට​ෙයක් දිව එද්දී වෙන්න තිබූ සියල්ලම සිදුවී හමාරය.  


ආනන්දලාට දැක ගැනීමට හැකි වූයේ තැනින් තැන විසිරි තිබූ සහෝදර නාවිකයින්ගේ සිරුරුය.  


සමහරුන්ගේ අත්පා නොමැත. තවත් සමහරුන්ගේ සිරුරු සම්පූර්ණයෙන්ම පාහේ කැබලිවලට කැඩී  දසඅත විසිර ගොස්ය.  


බස් එකෙන් බැස්ස මොහොතේම වාගේ ආනන්ද ඇතුළු නාවික භටයන් පිරිසක් තේ බොන්න කඩයකට ගිය නිසා ඔවුන්ගේ ජීවිත බේරී තිබිණි.   


බරපතළ තුවාල ලැබූ තවත් සමහරක් නගන කෙදිරිලි හඬින් වේදනාත්මක හඬින් දිගම්පතහ ප්‍රදේශය පුරා රැව්පිළිරැව් දුන්නේය.  


එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන කළු කොටි ත්‍රස්තවාදියකු විසින් පදවාගෙන ආ අධි බලැති බෝම්බයක් අටවාගත් ලොරි රථයක් දිගම්පතහ ප්‍රදේශයේ රැඳී සිටි නාවික හමුද‌ා භට පිරිස් ඉලක්ක කරගනිමින් පුපුරුවා හැරීම නිසා නාවික හමුද‌ා සෙබළුන් 126 දෙනෙක් මියගොස් නාවික හමුද‌ා සෙබළුන් 300 කට අධික පිරිසකට බරපතළ තුවාල සිදුවී තිබිණි.  
මුළු රටම කම්පා කළ රටම එකම මළගෙයක් බවට පත්කළ ඒ මහා ඛේදවාචකය සිදුවූයේ මීට වසර 09 කට පමණ පෙරය.  


එනම් 2006 වසර ඔක්තෝබර් මාසයේ 16 වැනිදාය.  


මෙතැන් සිට දිගහැරෙන්නේ රණවිරුවන් 126 දෙනෙකු එක්වර ඝාතනය කර තවත් රණවිරුවන් පිරිසකට බරපතළ තුවාල සිදු කිරීමට සම්බන්ධ වූ ම්ලේච්ඡ ත්‍රස්තවාදීන් සොයා ගොස් ඔවුන් අල්ලා ගැනීමේ කතාවය.  


මෙතෙක් කාලයක් හෙළිදරව් නොවූ කතාද මීට ඇතුළත්ය.  


ඒ කතාව කියන්නට ඉදිරිපත් වන්නේ මධ්‍යම පළාත් ත්‍රස්තවාදී විමර්ශන මෙහෙයුම් කාර්යාංශයේ ස්ථානාධිපති ලෙස කාලයක් සේවය කර මේ වන විට විශ්‍රාම ලබා සිටින සුනිල් යටවර මහතාය.  


විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයා සොයා අප කටුගස්තොට ප්‍රදේශයට ගියේ මේ බිහිසුණු සිද්ධිය ගැන තොරතුරු අසා දැනගැනීමටය.  


මේ විශ්‍රාමික පොලිස් පරීක්ෂක යටවර මහතා කියන කතාවයි.  


මධ්‍යම පළාත බාරව එවකට සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න මහත්තයාගේ උපදෙස් මත නාවික සෙබළුන් 126 දෙනකු ඝාතනය කර තවත් නාවික සෙබළුන් 300 කට බරපතළ තුවාල සිදුකිරීමේ දිගම්පතහ සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ත්‍රස්තවාදී විමර්ශන කාර්යාංශය පරීක්ෂණ ආරම්භ කළා.   


අප කළ විමර්ශනවලදී හෙළිවූ කරුණු මත මරාගෙන මැරෙන කළු කොටියෙක් වූ ශිවනන්දන් යන අය මුලින්ම අත්අඩංගුවට ගත්තා. මොහුගෙන් ප්‍රශ්න කිරීමේදී මේ සිද්ධියට සම්බන්ධ වූ වසන්ත කුමාර හා තවත් කළු කොටි ත්‍රස්තවාදියෙක් වූ කළු යන අය ගැන ද තොරතුරු හෙළිකර ගත්තා.  


මේ අපරාධය සිදුකිරීමට මාතලේ උකුවෙල රත්වත්ත ප්‍රදේශයේ විසූ රාජ් කුමාර් හෙවත් කන්නා නමැති කොටි සාමාජිකයෙක් ගැන ද තොරතුරු අනාවරණය වුණා. මේ රාජ් කුමාර් කියන කොටි ත්‍රස්තවාදියා අපරාධය සිදු කළාට පස්සේ රටින් පලා ගොස් ඇති බව දැනගත්තා. අපරාධයට මොහුගේ බිරිඳ චන්ද්‍රා නමැත්තිය උදව් උපකාර කර ඇති බව පරීක්ෂණවලදී තහවුරු වූ නිසා ඇයද අපි අත්අඩංගුවට ගනු ලැබුවා. දිගම්පතහ බෝම්බ පිපිරීමේ සිද්ධියේ ප්‍රධානියා වසන්ත කුමාර් හෙවත් දයාලන් බවත් ඔහු රාමනාදන්පුරම් ප්‍රදේශයේ පදිංචි අයෙක්. මොහුට මේ අපරාධය සිදු කිරීමට ඍජුවම සහාය වූ වවුනියාවේ පදිංචි සින්නයියා ප්‍රව්න්ද්‍රන්, මුරුක්කන් පදිංචි ජෙයශීලන්, දිගම්පතහ කිඹිස්සේ පදිංචි සංගරපිල්ලෙයි සන්දරකුමාර්, දඹුල්ල විහාර හන්දිය නවපාදෙණියේ පදිංචි රවිචන්ද්‍රන් හෙවත් ජම්බො මුදලාලි නමැත්තා ගැනත් තොරතුරු අනාවරණය කර ගත්තා.  


ජම්බෝ මුදලාලි අල්ලන්න සොයමින් ඉන්න අතරවාරයේ ඔහුව නාඳුන කණ්ඩායමක් විසින් වෙඩිතබා මරා දමා තිබුණා. සන්දර කුමාර් නමැත්තා මේ අපරාධය සිදු කළාට පස්සේ අතුරුදන්ව සිටින බවත් අපට දැන ගැනීමට ලැබුණා.  
එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ නියෝග අනුව පරමදේවා යන නායකයකුගේ මෙහෙයවීම යටතේ දිගම්පතහ බෝම්බ පිපිරවීම එම සංවිධානයේ සන්නද්ධ අංශයේ නායකයකු වන නඩරාජා වසන්ත කුමාර් හෙවත් දයාලන් විසින් සිදුකරන ලද්දක් බවට පොලිසිය විසින් පරීක්ෂණ පවත්වා කරුණු හෙළිකර ගෙන ඇත.  


මේ අපරාධය සිදුකළ ආකාරය ගැන තවදුරටත් කරුණු කාරණා හෙළිකරමින් විශ්‍රාමික පොලිස් පරීක්ෂක සුනිල් යටවර මහතා මෙසේ ද කීය.

දිගම්පතහ බෝම්බ පිපිරවීමේ සිද්ධියෙන් පසු වසන්ත කුමාර් කිළිනොච්චියට පලා ගොස් තිබුණා. පසුව ඔහු ප්‍රභාකරන් හමුවීමට ගොස් තිබෙනවා. බෝම්බ පිපිරවීම සාර්ථක ලෙස සිදුකළ නිසා වසන්ත කුමාර් මල්ලාවි කොටි කඳවුරු නායකයා ලෙස පත්කර .22 වර්ගයේ පිස්තෝලයක් හා රුපියල් 60,000 ක් වටිනා ඔරලෝසුවක්ද පල්සර් වර්ගයේ අලුත්ම යතුරුපැදියක්ද ප්‍රභාකරන් අතින්ම වසන්ත කුමාර්ට පරිත්‍යාග කර තිබෙනවා. අප මේ තොරතුරු හෙළිකර ගත්තේ මේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් කොටි ත්‍රස්තවාදී සිරකරුවන් ගෙන් ප්‍රශ්න කරලයි.  


දිගම්පතහ අතරමැදි කඳවුරේදී පුපුරුවා හැරිය ලොරි රථය කැන්ටර් වර්ගයේ එකක් බවත් එය කඩවත ප්‍රදේශයේ වාහන සේල් එකකින් 2006 ජුනි මාසයේ 06 වැනිද‌ා මිලදී ගත් බවත් හෙළිවුණා. එම බෝම්බ අටවා පුපුරුවා හැරීමට යොදාගෙන තිබුණේ 226-5525 අංකය දරන ලොරි රථයයි. ලොරියේ ලේඛන ඔහුගේ නමට සකස්කර ගෙන තිබුණා.  
ඊට පස්​ෙස් ඔහු වවුනියාවේ සිට හබරණ දක්වා කාලයක් එළවළු ප්‍රවාහනය කිරීමට ලොරි රථය යොද‌ාගෙන තිබෙනවා. එහෙම කරලා තිබෙන්නේ මොකටවත් නොවේ. මේ ප්‍රදේශවලට ලොරිය හොඳට හුරු කරන්න ඕන නිසයි. එහෙම කළාම ලොරිය ගැන කිසිම කෙනෙකුට සැකයක් ඇති වෙන්නේ නැහැ. මෙය එල්.ටී.ටී.ඊය යෙදූ උපක්‍රමයක් යැයි විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයා කීය.  


දිගම්පතහ බෝම්බ පිපිරවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ත්‍රස්තවාදී විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගත් මයිල්වානගම් යෝගේෂ්වරම් නමැත්තා පොලිසියට පාපොච්චාරණය කරමින් මෙසේ පවසා ඇත.  


මගේ පදිංචිය කිලිනොච්චිය, වට්ටකච්චිය. මම 2004 වසරේ ජුනි මාසයේ 25 වැනිදා එල්.ටී.ටී.ඊ සංවිධානයට බැඳී බුද්ධි අංශ සාමාජිකයෙක් ලෙස පුහුණුවීම් ලැබුවා. 2006 වසරේ කපිල් අම්මින් කියන කොටි නායකයා කිලිනොච්චිය ගනේෂපුරම් ප්‍රදේශයේ නීලවන් බේස් කියන නමින් කඳවුරක් පවත්වාගෙන ගියා. කපිල් අම්මාන් කියන්නේ බුද්ධි අංශ නායකයෙක්.  


නීලවන් බේස් එකේම කොටසක ගරාජ් එකක් තිබුණා. මේ ගරාජ් එකේ තමා දකුණේ පිපිරවීම් සිදුකිරීමට යන වාහනවලට අධි බලැති පුපුරණ ද්‍රව්‍ය සකස් කරන්නේ. පුපුරණ ද්‍රව්‍ය වාහනවලට සවිකරන්නේ නීලවන් කියන කොටි පුපුරණ ද්‍රව්‍ය විශේෂඥයා තමා. වාහනවල බෝම්බ සවිකලාට පස්සේ ටින්කරින් වැඩ වගේම වාහනවලට තීන්න ආලේප කරන්නේ බාලචන්ද්‍රන් හෙවත් බාලා යන අයයි.  


2006 වසරේ ජූලි මාසයේ දිනක වසන්ත කුමාර් හෙවත් දයාලන් සුදු පැහැති කැන්ටර් ලොරි රථයක් නීලවන් බේස් එකේ ගරාජයට අරගෙන ආවා. දවස් දහයක් ලොරිය ගරාජයේ තබාගෙන සිටියා. ඒ කාලය තුළ ලොරියේ දොරවල් දෙක ඉවත් කර ඒ වෙනුවට අධි බලැති පුපුරණ ද්‍රව්‍ය ඇතුළට යොද‌ා සකස්කරන ලද දොරවල් දෙකක් කැන්ටර් රථයට සවිකළා.  


ඉන් පස්සේ ඒ ලොරියට තීන්ත ගෑවා. සෑම දවසකම පරමදේවා කියන කොටි නායකයා පැමිණ මේ කටයුත්ත ගැන සොයා බැලුවා. වැරදි අඩුපාඩු සොයා බලා ඒවා ​ෙපන්නා දුන්නා. දිගම්පතහ ප්‍රදේශයේදී නාවික හමුදාවේ 126 දෙනෙක් මිය ගිහින් නාවික හමුද‌ාවේ තවත් 300 ක් විතර තුවාල ලැබුවේ නීලවන් ​ෙබ්ස් එකේදී බෝම්බ අටවපු ලොරිය පුපුරුවා හැරීමෙන් බව මම දැනගත්තා.  


නාවික හමුද‌ාවේ රාජකාරි කර විශ්‍රාම ලැබූ චිත්‍රවේල් හෙවත් මලයඅරසන් යන අය ඔහුත් සමග එකට වැඩකළ නාවික හමුදා නිලධාරියෙකු මගින් මෙම අපරාධය සිදුකිරීම සඳහා නාවික හමුදා නිලධාරීන් සම්බන්ධව තොරතුරු ලබාගත් බවත්  මයිල්වාගනම් යෝගේෂවරම් නමැති කොටි ත්‍රස්තවාදියා පොලිසියට පාපොච්චාරණය කරමින් පැවසූ බවද විශ්‍රාමික පොලිස් පරීක්ෂක යටවර මහතා කීය.  


අධිබලැති බෝම්බයක් සවිකර තිබියදීම 226-5525 අංක දරන මෙම ලොරි රථය දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිට එළවළු පටවාගෙන ගොස් විකිණීම ද කාලයක් සිදුකරගෙන ගොස් ඇති බවත් එවැන්නක් කර පොලිස් මාර්ග බාධකවල රාජකාරියේ නිරතව සිටින පොලිස් නිලධාරීන්ට සැකයක් ඇති නොවී ඔවුන්ට මෙය නිතර දකින සැක සහිත ලොරියක් නොවන බවට ඒත්තු ගැන්වීමට බවත් අත්අඩංගුවට ගත් සැකකරුවන් ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය කර ගැනීමට හැකිවූ බවත් විශ්‍රාමික පොලිස් පරීක්ෂක යටවර මහතා කීය.  


සිංහල ජාතික තරුණයෙක්ද මෙම ලොරියේ රියදුරු වශයෙන් සේවය කර ඇති අතර ඔහුද පොලිස් අත්අඩංගුවට ගෙන ඔහු රථයේ බෝම්බ අටවා තිබූ බවක් නොදැන සිටීම නිසා පසුව මුදාහැර ඇත.  
ඔහු දඹුල්ල තිත්තවැල්ගොල්ලේ පදිංචි අයෙකි.  


දිගම්පතහ ප්‍රදේශයේදී නාවික හමුද‌ා සෙබළුන් ඉලක්ක කරගනිමින් ලොරි බෝම්බය පුපුරවා හැර ඇත්තේ මරාගෙන මැරෙන කළු කොටියෙක් වූ කවි තිරවාඩන් හෙවත් වෙල්ලයන් යන අය බව පරීක්ෂණවලින් හෙළිවී ති​ෙබ්.  
මේ බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් අපට අත්අඩංගුවට ගන්න ලැබුණේ මේ සඳහා ආධාර අනුබල දුන් අය පමණයි. මේ බෝම්බ පිපිරීමට කෙලින්ම සම්බන්ධ වූ කොටි ප්‍රබලයන් රැසක්ම කොටි පාලන ප්‍ර​ෙද්ශවල පදිංචිව සිටි නිසා අත්අඩංගුවට ගැනීමට නොහැකි වුනා යැයි විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයා කීය.  


අත්අඩංගුවට ගත් සැකකරුවන්ට එරෙහිව මහනුවර මහාධිකරණයේ නඩු අසා දඬුවම් ලබා දුන්නු බවද ඔහු පවසයි.  
කිලිනොච්චියේ පදිංචිව සිටි නඩරාජා වසන්ත කුමාර්, මාතලේ උකුවෙල පදිංචිව සිටි මුත්තු සාමි රාජ් කුමාර් සුරේෂ්, මන්නාරම, මුරුකන් පදිංචි දේවදාස් නිර්මාල් ජයශීලන්, කිලිනොච්චියේ පදිංචි වේලුපිල්ලේ ප්‍රභාකරන් (එල්.ටී.ටී.ඊ නායක), කිලිනොච්චියේ පදිංචි කපිල් අම්මාන්, කිලිනොච්චියේ පදිංචි එරීළන් හෙවත් සෙව්වන්, කිලිනොච්චියේ පදිංචිකරුවන් වූ කපිලන්, මදී, බාලචන්ද්‍රන් හෙවත් බාලා, නීලවන් චිත්‍රවේල් හෙවත් මලයඅරසන් යන අය දිගම්පතහ බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ සැකකරු​ෙවා් වෙති.   


එවකට මහනුවර කොට්ඨාසය බාරව සිටි පසුව නියෝජ්‍ය පොලිස්පති නිලයට උසස්වීම් ලැබූ ජයන්ත ගම්මන්පිල මහතා විසින් දිගම්පතහ බෝම්බ පිපිරවීම පිළිබඳ පරීක්ෂණය කිරීමට පත්කරනු ලැබූ විශේෂ පොලිස් කණ්ඩායමේ නායකයා ලෙස පත්කරනු ලැබුවේ පොලිස් පරීක්ෂක සුනිල් යටවර මහතාය.  


පොලිස් පරීක්ෂක යටවර මහතා මධ්‍යම පළාතේ එවකට ක්‍රියාත්මක වූ එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමට හා ඔවුන් සතු අවිආයුධ සොයා ගැනීමට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් දක්ෂ නිලධාරියෙක් බව පරීක්ෂණ මෙහෙයවූ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ජයන්ත ගම්මන්පිල මහතා පැවසීය.  


ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් මැඩලීමට සුවිශේෂ ද‌ායකත්වයක් සපයා ඇති සහකාර පොලිස් අධිකාරි කේ.එම්.එච්. බෝවල මහතා ද දිගම්පතහ බෝම්බ පිපිරවීමේ සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ලොකු සහායක් දැක්වූ බවද විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.   


මෙම පරීක්ෂණ කටයුතු මුලසිටම සිදුකෙරුණේ එවකට මධ්‍යම පළාත බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති වත්මන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේය.  


එවකට සහකාර පොලිස් අධිකාරි නිලයේ සිටි මේ වන විට විශ්‍රාම ලබා සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිර වීරකෝන්, එච්.එම්.එච්.බී.ජේ. මොහොට්ටිගෙදර (මියගොස් ඇත), යන මහත්වරුන් ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්.ඒ.එච්. කරුණසේකර, පොලිස් පරීක්ෂක නිශාන්ත රත්නසිරි, උපපොලිස් පරික්ෂකවරුන් වන රණවීර, සහ තෙන්නකෝන්, පොලිස් සැරයන්වරුන් වන නන්දසිරි (1148), තෙන්නකෝන් (32520), වීරසූරිය බණ්ඩාර (47005), බණ්ඩාර (57422) සහ විජේරත්න (47319), කාන්තා පොලිස් කොස්තාපල්වරියන් වන නදීකා (7735), පද්මිනී (4735) සහ ශ්‍රියානි විරසේකර යන මහත්ම මහත්මීන් ද මෙම පරික්ෂණවලට හමුවී ඇත.  

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය