තරු පිරි අහස

 

විශ්වය විවිධත්වයෙන් ගහණ තැනකි. එහි බොහෝ තරු අපේ තරුව වන හිරු මෙන් නොවෙයි. ඇතැම් තරු නපුරුයි; දරුණුයි. මාරකයි. චිලි රටේ පිහිටුවා ඇති යෝධ දුරේක්ෂය යොදා ගෙන ජගත් තාරකා විද්‍යාඥයන් කණ්ඩායමක්, තරු ගැන නව අධ්‍යයනයක් කර තිබේ. ඔවුන්ගේ අධ්‍යයනයට පාදක වී ඇත්තේ ‘ඕ’ වර්ගයේ තරුය. මෙම තරු උෂ්ණත්වයෙන්, ස්කන්ධයෙන් හා දීප්තියෙන් වැඩිය.

‘ඕ’ වර්ගයේ තරුවලට ඇත්තේ අඩු ආයු කාලයක් යැයි විද්‍යාඥයෝ පැහැදිලි කරති. ඒ වගේ ම ඒවා ප්‍රචණ්ඩකාරීය. මන්දාකිණි හෙවත් ගැලැක්සි පරිණාමය වීමේ දී මේ තරු විශේෂ කාර්යයක් ඉටු කරන බව පැවැසෙයි. එපමණක් නොව, මේවා අතිශය බිහිසුණු සංසිද්ධියකටත් සම්බන්ධය. 


ඒ නිසාම මෙම තරු ‘වැම්පයර් තරු’ යන නමින් ද නම් කර තිබේ. වැම්පයර් තරු යනුවෙන් ද මෙම තරු හැඳින්වෙන්නේ මේවා තමන් ආසන්නයේ ඇති අනෙක් ලොකු තරුවලින් ශක්තිය උරා ගන්නා නිසාය. වෙනත් වචනවලින් කීවොත් මෙම වැම්පයර් තරු අනෙක් තරු ගිලගන්නවා යැයි තාරකා විද්‍යාඥයෝ වැඩි දුරටත් කියා සිටිති.


“මේ තරු ඇත්තෙන්ම ප්‍රබන්ධ සාහිත්‍යයේ එන වැම්පයර් පිසාචයින් වගේ. වැම්පයරයන් ලේ උරා බී තව කෙනකුගේ ශක්තිය උරා ගන්නවා. මේ තරු ඒ වගේ දෙයක් තමා කරන්නේ.” යැයි නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩම් විශ්ව විද්‍යාලයේ ආචාර්ය හියුගස් සානා පැහැදිලි කරයි. ‘ඕ’ වර්ගයේ තාරකාවලට ‘වැම්පයර් තරු’ යන නම පට බැඳිනු ලැබ ඇත්තේ ද ආචාර්ය හියුගස් විසිනි. නව අධ්‍යනය සිදු කර ඇත්තේ ද ආචාර්ය හියුගස්ගේ නායකත්වයෙනි.


“මේ තරුවලට අපේ හිරු වගේ 15 ගුණයක් වැඩි ස්කන්ධයක් තියෙනවා. ඒ වගේම ඇප් හිරු මෙන් මිලියන වාරයක් දීප්තියෙන් වැඩියි. මේ තරු කොයි තරම් උෂ්ණත්වයෙන් වැඩි ද කීවොත් ඒවා බැබලෙන්නේ දීප්තිමත් නිල් හා සුදු පැහැයෙන්. ඒවායේ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් 30,000ක් විතර වෙනවා.” යැයි හියුගස් පෙන්වා දෙයි.


‘ඕ‘ වර්ගයේ තනි තරු 71 ක හා යුගල තරු හයක නියැදියක් තාරකා විද්‍යාඥයන් අධ්‍යයනය කර තිබේ. ඒවා ක්ෂීර පථයේ අපට ආසන්න තරුණ තරු පොකුරුවලින් තෝරා ගත් ඒවාය. ඔවුන්ගේ අධ්‍යයනයේ බොහොමයක් නිරීක්ෂණ ලබා ගත්තේ චිලි රටේ ඇති යෝධ දුරේක්ෂය ඇතුළු යුරෝපයේ රටවල් එක්ව පිහිටුවා ගත් දක්ෂිණ නිරීක්ෂාගාර දුරේක්ෂවලිනි.


මේ තෝරා ගත් තරුවලින් නිකුත් වන ආලෝකය මෙතෙක් නොකළ ආකාරයෙන් ඉතා සවිස්තර විශ්ලේෂණයට භාජනය කෙරුණි. එහිදී, සියලුම ඕ වර්ගයේ තරුවලින් සියයට 75ක් ම මේ යුගල තරු පද්ධති අතර ඇති බව එම කණ්ඩායමට සොයා ගැනීමට හැකි විය. මෙය කලින් සිතා සිටියට වඩා ඉතා වැඩි අනුපාතයක් යැයි පැවැසෙයි. මේ සම්බන්ධව කළ ප්‍රථම ගණනය කිරීම මෙය යැයි ද පැවැසෙයි.
මෙහි දී වඩා වැදගත් වන්නේ මේවායින් වැඩි ප්‍රමාණයක් යුගල තරු, අන්තර් ක්‍රියාවලියක් ඇති වීමට තරම් සමීපව පිහිටා ඇති බව සොයා ගැනීමය. මෙය අන්තරීක්ෂව එක් වීමකට හෝ තරු ගිලින තරුවකට ස්කන්ධයන් උකහා ගැනීමට හෝ තරම් ළංව පිහිටීමකි. මෙය මෙතෙක් සිතා සිටියාට වඩා විශාල වැඩි බව පැහැදිලි වූවා පමණක් නොව ගැලක්සියක (මන්දාකිණියක) පරිණාමය පිළිබඳව අපේ අවබෝධය වැඩි කිරීමට ද මෙය බොහෝ සේ ඉවහල් විය.


විශ්වය හා සලකන විට මේ ඕ වර්ගයේ තරු ඇත්තේ ඉතාමත් කුඩා ප්‍රතිශතයක් වුවත්, මේ තරුවල ඇති ප්‍රචණ්ඩ ස්වභාවය නිසා ඒවා සාපේක්ෂව ඉතා වැඩි බලපෑමක් ඒවා අවට පරිසරයට ඇති කරන බව පැවැසෙයි.


මේ තරුවලින් විහිදෙන සූර්ය සුළංවලට හා කම්පනයන්ට අලුත් තරු නිර්මාණය වීම ඇති කරන්නත් නවතා දමන්නත් පුළුවන් යැයි ද පැවැසෙයි. ඒවායේ විකිරණ ශක්තීන්වලින් නීහරිකාවල දීප්තිය වැඩි කරලයි. ඒවායේ සුපර්නෝවාවලින් හෙවත් අධිනවතාරාවන්වලින් මන්දාකිණිවල ජීවය බිහිවීමට ප්‍රධාන වන බර මූල ද්‍රව්‍යවලින් සරුසාර කෙරේ. ඒවායේ ඇති වන පිපිරීම්වලින් ගැමා කිරණ නිකුත් වෙයි. ඒවා විශ්වයේ ප්‍රබල ශක්තියක් ජනනය කරන සංසිද්ධියක් ලෙස සැලකෙයි. එම නිසා ඕ-වර්ගයේ තරුවලින් මන්දාකිණිවල පරිණාමය ඇති වීමට බලපාන බොහෝ යාන්ත්‍රණවලට බලපෑම් ඇති කෙරේ.


“තාරකාවක ජීවිතයට විශාල බලපෑමක් එල්ල වෙනවා, ඒ තාරකාව ආසන්නයේ තවත් තරුවක් පැවතියහොත්” යැයි ආචාර්ය සෙල්මා ද මින්ක් පෙන්වා දෙයි. ඇය ද මේ අධ්‍යයනයේ එක් හවුල්කාරියකි. ඇය ඇමරිකාවේ අභ්‍යවකාශ දුරේක්ෂ ආයතනයේ භෞතික විද්‍යාඥවරියකි. “තරු දෙකක කක්ෂ වඩාත් ළංව පිහිටි විට ඒවා කාලයාගේ ඇවෑමෙන් එකට එක් වීමට ඉඩ තියෙනවා. එහෙම නොවුනොත් එක් තරුවක් අනෙක් අසල්වැසි තරුවේ මතුපිට ඇති පදාර්ථ උකහා ගන්න ඉඩ තියෙනවා.” යැයි ඇය කියා සිටී.
මේ අධ්‍යයන කණ්ඩායම කියන විදියට ඕ-වර්ගයේ තරු අතරින් සියයට 20ත් 30ත් අතර ගණනක් මේ ආකාරයේ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට මුහුණපායි. සාපේක්ෂව එතරම් ප්‍රචණ්ඩකාරී නොවුනත් මේ වැම්පයර් තරු අතරින් තවත් සියයට 40ත් 50ත් අතර ගණනක් මේ තරු බිහිවීමට සැලකිය යුතු ආකාරයක බලපෑමක් කෙරේ. මේ වන තෙක්, තාරකා විද්‍යාඥයන් වැඩි දෙනකු ළං වූ කක්ෂවල ගමන් කරන යෝධ යුගල තාරකාවන් එතරම් වැදගත් කොට සැලකුවේ නැත. ඔවුහු ඒවා එක්ස් කිරණ නිකුත් කරන යුගල තරු හා කළුකුහර යුගල තරු ආදී වශයෙන් හැඳින්වීමට පමණක් යොදා ගත්හ.


විශ්වය නිසි ලෙස අර්ථ දැක්වීමේ දී ඒ යුගල තරුවල කාර්යභාරයත් විශේෂයෙන් සැලකිල්ලට ගැනීම අවශ්‍ය බව මෙම නව අධ්‍යයනයෙන් පෙන්වා දෙයි.  මේ අධිබර යුගල තරු සාමාන්‍ය තරු මෙන් නොව ඒවායේ ස්වභාවයන් සාමාන්‍ය තරුවලට වඩා මූලික වශයෙන් වෙනස් බව ද පැවැසෙයි.


නිදසුනක් ලෙස වැම්පයර් තරුවලදී, ප්‍රමාණයෙන් කුඩා වූ හා අඩු ස්කන්ධයක් ඇති තරුවක් එහි යුගල සගයාගෙන් අලුතින් හයිඩ්‍රජන් උකහා ගනිමින් නව පණක් ලබයි. එවිට එහි ස්කන්ධය විශාල වශයෙන් වැඩි වෙයි. ඒ නිසා ම එම ප්‍රමාණයේ ම ස්කන්ධයක් ඇති සාමාන්‍ය තනි තරුවකට වඩා ඉතා වැඩි කලක් එම තරුව පවතී. 


ඒ අතර වැම්පයර් තරුව විසින් පිට ස්තරය උකහා ගත්තාට පසුව එහි යුගල සගයාට දීප්තිමත් රතු යෝධයකුට වීමට ඇති අවස්ථාව අහිමි වෙයි. ඒ වෙනුවට, එහි රත් වූ නිල් හරය පිටතට පෙනෙන්න පටන් ගැනෙයි. එහි ප්‍රතිඵලය වන්නේ දුර ඇති ගැලැක්සියක තරු ගහණය එය පවතින තත්වයට වඩා අඩු වයසකින් යුක්ත ඒවා සේ පෙනෙන්නට ඉඩ තිබේ. අලුත් වූ වැම්පයර් තරුවත් ඊට ගොදුරු වූ තරුවත් යන දෙකම තාපයෙන් වැඩි නිල් පැහැයෙන් දිලෙන්න පටන් ගන්නේ අලුත සෑදුණු තරු වගේ යැයි විද්‍යාඥයෝ කියති.


ඒ නිසා දුර ඇති මන්දාකිණිවල සත්‍ය ස්වභාවය තේරුම් ගැනීමට නම්, අන්තර්ක්‍රියා කළ හැකි යුගල තරුවල ගහණය නිවැරදිව දැන ගැනීම අවශ්‍ය වෙයි. දුර ඇති මනිදාකිණි ගැන තොරතුරු දැන ගැනීමට තාරකා විද්‍යාඥයන්ට ඇති එකම මඟ ඒවායේ ඇති තරුවලින් අපේ දුරේක්ෂවලට ලැබෙන ආලෝකයයි. ‘මෙසේ ලැබෙන ආලෝකවල වෙනස් කම් ඇති කරවන හේතු ගැන අනුමානයන් නොකොට අපට ඒ මන්දාකිණි ගැන තීන්දු තීරණවලට, ඒවා කෙතරම් විශාලද නැතිනම් ඒවා කෙතරම් තරුණද කියා නිගමනවලට එන්න පුළුවන් කමක් නැහැ.’ යැයි ද විද්‍යාඥයෝ වැඩි දුරටත් කියා සිටිති.


 “ඒ නිසා මේ තනි තරු බවට පත් වූ අලුත පණ පෙවුණු වැම්පයර් තරුවල ආලෝකය දෙස බලා ඒවා ගැන කරන නිගමන බොහෝ විට වැරදී යා හැකියි.” හියුගස් අවසාන වශයෙන් පැහැදිලි කරයි. මෙවැනි වෙනස් කම් කෙතරම් විශාලද කෙතරම් ප්‍රමාණයකින් සිදු වෙනවාද ආදිය තේරුම් ගැනීම ඔස්සේ තමයි, අපට මන්දාකිණි ඇති වීම පිළිබඳව අපේ දැක්ම සකස් කර ගත හැක්කේ. මේ යුගල තාරකා ගැන විමසුම් කිරීම අති සංකීර්ණ දෙයක්. ඒ නිසා තවත් කලක් ගත වේවි මන්දාකිණි නිර්මාණයේ දී මේවා කෙතරම් බලපෑමක් කරන්නේ ද යන්න ගැන නිශ්චිත නිගමනයකට එන්නට.’ යැයි හෙතෙම කියා සිටී.

 

 

 

 

ලුසිත ජයමාන්න