රටම හොල්ලන මධූෂ්ගේ පාතාලය-2

මාකඳුරේ මධුෂ්, කඹුරුපිටියේ මධුෂ්, මාතර මධුෂ් මේ කොයි නමෙන් ඇමතුවත් ඔහු සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිතමය. හෙට දවසේ ඔහු ඩුබායි මධුෂ් වීමට ද ඉඩ ඇත. ඒ ඒ තරමටම කලක් ඔහු ඩුබායිවල ජීවත්වීම නිසා මෙන්ම ඩුබායිවල සිටිමින්ද පාතාල කටයුතු අතහැර නැති අතර සිය මත්ද්‍රව්‍ය ජාවාරම ඔහු වඩාත් හොඳින් ක‍්‍රියාත්මක කරන්නේ එරට සිට බැවිනි. දැන් එය ඔහුගේ රට මෙන් පෙනෙන බැවිනි.
   
අප මීට පෙර ලිපියෙන්ද සාකච්ඡා කළ පරිදි පාතාලය හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හෝ නීතියේ රැහැනින් ගැලවී බොහෝ කාලයක් සැඟවී සිටින්නේ නම් ඒ පිටුපස දේශපාලන හස්තයක් පැවතීම අනිවාර්යයකි. ගමක චණ්ඩියෙක් බිහිවූ වහාම එවැනි අයෙක් තමන් වෙත ළංකර ගැනීමට ප‍්‍රාදේශීය දේශපාලනඥයින් පවා කැමතිය. තමන් සිටින්නේ අහවල් දේශපාලනඥයා සමඟ බව කීමට එවැනි චණ්ඩින්ද කැමතිය. ගමේ චණ්ඩියා පාතාල නායකයෙක් වෙන්නේ ඒ සබඳතාවයේ අවසන් ප‍්‍රතිඵලයක් ලෙසය. මාකඳුරේ මධුෂ් ද ඔහුට සෙවණ සදන දේශපාලනඥයින්ගෙන් වෙන්කොට අවි ආයුධ බිම තැබූ පසු තවත් එක් තරුණයෙක් පමණකි.   


මධුෂ් සමාජයේ පොරක් වෙන්නේ දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපති ඩැනී හිත්තැටිය මහතාගේ ඝාතනයෙන් පසුවය. එහෙත් එයට ප‍්‍රථම ද ඔහු අතින් ඝාතන කීපයක් සිදුවූ බවට චෝදනා එල්ලවී තිබිණ.   


ඔහුට නැගුණ පළමු චෝදනාව නම් 2002 වසරේ නොවැම්බර් 29 වැනිදා මාතර මාවරල ප‍්‍රදේශයේදී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමය. ඒ අබේසිංහ නමැති අයෙකි. ඉන් පසුව 2004 වසරේ ජුලි 17 වැනිදා නැවතත් මාවරල ප‍්‍රදේශයේදී තවත් මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල විය. එලෙස ඝාතනය වී තිබුණේ ගමගේ විජේතුංග නමැති අයෙකි. මධුෂ් අතින් ඝාතනයට ලක්වූ බව කියන මේ දෙදෙනාම ව්‍යාපාරිකයන්ය.   


මධූෂ් තමන්ගේ ලී ඉරණ රස්සාව අවසන් කරන්නේ බස්වලින් හා වෙළෙඳ ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගැනීම අරඹමිනි. ඒ සඳහා ඔහුට සහයට කණ්ඩායමක්ද සිටියහ. කප්පම් නොදෙන අයට ඔහු පළමුව තර්ජනය කළේය. පසුව එය පහරදීමක් නැත්නම් ඝාතනයක් දක්වා ගෙන ගියේය. ඒ වනවිට ඔහුට අවුරුදු විසිපහක් පමණ වෙන්නට ඇත. ශරීර ප‍්‍රමාණයෙන්ද ඔහු එතරම් හැඩිදැඩි පුද්ගලයෙක් නොවේ. එහෙත් ඕනෑම පුද්ගලයෙක් ගිනි අවියට බියක් දක්වයි. ඒ ගිනි අවියට මෙන්ම ඒවා භාවිත කරන නීතිවිරෝධී කල්ලි කණ්ඩායම්වලට ද හිතක් පපුවක් නැති බව ඔවුන් දන්නා නිසාය. ඒ නිසා ජීවිතයට ආදරය කරන මිනිස්සු ඔහු ඉල්ලන කප්පම් මුදල් ලබාදෙති. නමුත් සිදුවෙන අසාධාරණය ඉවසා සිටිය නොහැකි අවස්ථාවල ඇතැමෙක් මේ තර්ජන ගර්ජනවලට එරෙහිව යති. එයින් සමහර දෙනෙක් ජීවිතය රැකගන්නා අතර ඇතැමෙකුට වෙඩි උණ්ඩයක් හමුවේ ජීවිතය අහිමි කර ගන්නට සිදුවේ. අබේසිංහ හා ගමගේ විජේතුංග දෙදෙනාට ද සිදුවූයේ එයයි. මේ ඝාතන සම්බන්ධයෙන් මධුෂ්ට චෝදනා එල්ල වුවද බොහෝ කලක් රක්ෂිත බන්ධනාගාරගතව සිට ප‍්‍රමාණවත් සාක්ෂි නොමැතිකමින් ඔහු එම නඩුවලින් නිදහස් විය.   


 සාක්ෂි නැති වුණාද සාක්ෂි නැති කළාද යන ප‍්‍රශ්නයක් ද ඒ සමඟ තිබේ. මධුෂ්ගෙන් මරණ වරෙන්තු ලබාගැනීමට අකමැත්තන් ඔහුට එරෙහිව සාක්ෂි ලබාදීමට සූදානම් නැත. කොහේවත් යන ප‍්‍රශ්නයකට පැටලී මොකට ජීවිතේ අනතුරේ හෙළනවාදැයි ඔවුන් සිතනවා වෙන්නට ඇත. මධුෂ්ද සාක්ෂිකරුවන්ට පාඩුවේ ඉන්නට නොදෙනු ඇත. ‘‘සාක්ෂි දුන්නොත් මරණවා’’ යැයි ඔහුගෙන් තර්ජනාත්මක දුරකථන ඇමතුම් ලැබෙනවාද ඇත. කෙසේ හෝ මෙතෙක් මධුෂ්ට එරෙහිව පැවරූ නඩු කීපයක් තවමත් විභාග වෙමින් පවතින නමුත් ඝාතන නඩු දෙකක්ම අවසන්ව ඇත. මධුෂ් ඒවායින් නිදහස් වෙන්නේ ප‍්‍රමාණවත් සාක්ෂි නැතිකමිනි. එහෙත් ඒ ඝාතන සිදුකළේ මධුෂ් නොවේ නම් වගකිවයුත්තා කවුදැයි සොයාගත යුතුය. එහෙත් එවැන්නෙක්ද පොලිසියට හමුවී නැත.   


මධුෂ් මාතරින් නැවතුණේ නැත. සිය මංකොල්ල ඔහු මීගමුව දෙසටද ව්‍යාප්ත කළේය. ඒ සඳහා ඔහු මීගමුව ප‍්‍රදේශයෙන් නැගී එන තවත් චණ්ඩියෙක් තමන් වෙත නම්මවා ගත්තේය. මේ සහයෝගයත් ඇතිව මධුෂ් 2005 මැයි 11 වැනිදා මීගමුවේ ලීසිං සමාගමක් කොල්ල කෑවේය. එය සාර්ථක කරගත් ඔහු ඒ මාසයේම 30 වැනිදා මීගමුවේ තවත් පුද්ගලික ආයතනයක් කොල්ල කෑවේය. මේ කොල්ලකෑම් දෙකෙන් පසුව පොලිසිය කරන ලද විමර්ශනවලදී මධුෂ් සම්බන්ධ බවට ලැබුණ සාක්ෂි මත අත්අඩංගුවට ගනු ලැබිණ.   

 

ඩැනී හිත්තැටිය ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටියදී මධුෂ්ගෙන් උදව් ඉල්ලා සිටි අයෙකුගේ මාර්ගයෙන් ඔහුට එල්ටීටීඊ සබඳකම්ද ඇති විය. අපරාධකරුවෙක් බන්ධනාගාර ගත කිරීමෙන් අදහස් කරන්නේ දඬුවමක් ලබාදී නැවත එවැනි වැරදි කිරීමෙන් නිදහස් කරගැනීම වුවත් අපේ රටේ බන්ධනාගාර ගත වන පුද්ගලයින් නැවත එළියට එන්නේ තව තවත් වරදටම යොමු වූවන් ලෙසය. හිරගෙදර ඔවුන්ට වැරදි කිරීමට නිදහස් පරිසරයක් නිර්මාණය කරන තැනක් බවට පත්ව තිබේ. ඒ සඳහා ඔවුන්ට බන්ධනාගාර නිලධාරීන්ගේද සහය ලැබේ.  


දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපති ඩැනී හිත්තැටිය මහතා නාඳුනන තුවක්කුකරුවෙකු විසින් ඝාතනය කරනු ලබන්නේ මේ කාලයේදීය. ඩැනී හිත්තැටිය මහතා දේශපාලනයට පිවිසෙන්නේ 1988 දකුණු පළාත් සභා මැතිවරණයත් සමඟය. එකල ඔහු කොමියුනිස්ට් පාක්ෂිකයෙකි. ඉන්පසුව පැවති සෑම පළාත් සභා මැතිවරණයකටම තරග වැදුණ ඔහු ජයග‍්‍රහණයද කළේය. එහෙත් 2006 පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් නොවූ ඔහුට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් දක්ෂිණ සංවර්ධන අධිකාරියේ සභාපතිකම පිරිනැමිණ.   


2006 ජුනි 11 වැනිදා ඔහු තමන්ගේ මාකඳුරේ පිහිටි නිවස අසල වෙළෙඳසැලකට ගොඩවී පුවත්පතක් බලමින් සිටියේය. එකවරම යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් ඔහුට වෙඩි තබා පලා ගියහ. පොලිසිය වහා ක‍්‍රියාත්මක වී මාර්ග බාධක යොදා සැකකරුවන් අල්ලා ගැනීමට උත්සාහ කළත් එය ව්‍යර්ථ විය. ඩැනී හිත්තැටිය මහතාගේ ක‍්‍රියාකලාපය සම්බන්ධයෙන් මාතර ජනතාව අතර විවේචන තිබිණ. එහෙත් ඔහු ඝාතනය කිරීමට තරම් ප‍්‍රබල හේතුවක් ඒ විවේචන අතර නොතිබිණ. ඒ නිසා මෙය දේශපාලන ප‍්‍රතිවාදීන්ගේ උවමනාවන් මත කුලී මැරයින්ට ලබාදුන් කොන්ත‍්‍රාත්තුවක් අනුව සිදුකළ එකක් සේ පොලිසිය මුලින් කල්පනා කරනු ලැබිණ.   


එහෙත් එයට ප‍්‍රමාණවත් සාක්ෂි ලැබුණේ නැත. පොලිසිය බුද්ධි අංශය යොදාගනිමින් කළ විමර්ශනවලදී මාකඳුරේම විසූ මධුෂ් සමඟ ඩැනී හිත්තැටිය මහතාට තිබූ අමනාපකම් ගැන හෝඩුවාවල් අසන්නට ලැබිණ. හර්ෂගේ පවුලේ ඥාතියෙකු හා ඩැනී හිත්තැටිය මහතාගේ පවුලේ ඥාතියෙකු අතර ඇති වූ වචන හුවමාරුවක් දුරදිග යාමෙන් දෙපාර්ශ්වය නයි මුගටි වෛරයකින් පෙළෙන්නට පටන්ගෙන ඇති අතර මධුෂ් මැදිහත්වීමෙන් දුරදිග ගිය මේ ආරවුල කෙළවර නොවන තත්ත්වයට පැමිණි පසු ඔහු මරාදමන බවට ඩැනී හිත්තැටිය මහතා තර්ජනය කර ඇති බවට ද පැවසේ. ඩැනී ඉස්සරවීමට පෙර මධුෂ් ඉස්සර වූ බව බොහෝ දෙනාගේ අදහස විය.   
එසේම තවත් විරසකයක් ගැන ද කියැවේ. එනම් කඹුරුපිටිය නගරයේ පොදු වෙළෙඳ සංකීර්ණයේ මධුෂ්ගේ මල්ලීට අයත්ව තිබූ මාළු වෙළඳසැල ඩැනී හිත්තැටියගේ බලපෑම් මත එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගැනීමය. මෙයද පෙර කී විරසකයේ අතුරු ප‍්‍රතිඵලයක් විය හැකිය. කෙසේ වෙතත් මේ සියලු විරසකයන්ගේ අවසානය වූයේ ඩැනී හිත්තැටිය ඝාතනය සම්බන්ධයෙන් මධුෂ්ට චෝදනා ගොනු වීමය.   


මෙම ඝාතනයේ ප‍්‍රධාන සැකකරු මධුෂ් වෙනවිට දෙවැනි සැකකරු බවට පත්වූයේ ඔහුගේ සමීපතමයෙක් වූ හර්ෂ යසස්ය. ඒ වෙනවිට මධුෂ් හිටියේ රක්ෂිත බන්ධානාගාර ගතවය. එම නඩුවලින් ඇප ලැබුවද මධුෂ් යළි ඩැනී හිත්තැටිය ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් විය. හර්ෂ යසස් ද අත්අඩංගුවට පත්විය. ඒ සම්බන්ධයෙන් කඹුරුපිටිය පොලිසිය කරනු ලැබූ පරීක්ෂණවලට අනුව මාතර මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවලට අනුව කොළඹ මහාධිකරණයේ තවත් නඩුවක් විභාග විය.   


ඩැනී හිත්තැටිය ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටියදී මධුෂ්ගෙන් උදව් ඉල්ලා සිටි අයෙකුගේ මාර්ගයෙන් ඔහුට එල්ටීටීඊ සබඳකම්ද ඇති විය. අපරාධකරුවෙක් බන්ධනාගාර ගත කිරීමෙන් අදහස් කරන්නේ දඬුවමක් ලබාදී නැවත එවැනි වැරදි කිරීමෙන් නිදහස් කරගැනීම වුවත් අපේ රටේ බන්ධනාගාර ගත වන පුද්ගලයින් නැවත එළියට එන්නේ තව තවත් වරදටම යොමු වූවෙකු ලෙසය. හිරගෙදර ඔවුන්ට වැරදි කිරීමට නිදහස් පරිසරයක් නිර්මාණය කරන තැනක් බවට පත්ව තිබේ. ඒ සඳහා ඔවුන්ට බන්ධනාගාර නිලධාරීන්ගේද සහය ලැබේ.   


මධුෂ් ඔසවා තබන්නේ මාධ්‍ය විසින් බවට ඇතැම්හු චෝදනා කරති. එහෙත් සැබවින්ම මධුෂ්ලා තනන්නේ කවුද? ඔවුන්ට රැකවරණය දෙන්නේ කවුද යන්න විමසා බැලීම වටින්නේය. මධුෂ් දැන් භාවිත කරමින් සිටින්නේ තමන්ට සමාජයෙන් හදා දුන් නමය. මුළුමහත් සමාජයක් විසින් දැවැන්තයෙක් ලෙස හදා දුන් පාතාලයේ නමය. ඒ නම භාවිත කරමින් ඔහු ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගනිමින් සිටී.   

 

මාකඳුරේ මධුෂ් යනු මංකොල්ල කෑම, කප්පම් ගැනීම, කුලියට මිනී මැරීම හා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම සිය ජීවන වෘත්තිය කරගත් අයෙකි. ඒ සඳහා ඔහුට උදව් කළ දේශපාලනඥයින් කීප දෙනෙක්ද වේ. මේ අතර කලකට පෙර එක් පක්ෂයක් නියෝජනය කළද අද වෙනවිට රටේ ප‍්‍රධානතම පක්ෂ දෙක නියෝජනය කරන ප‍්‍රබල දේශපාලනඥයින් දෙදෙනෙක්ද වේ. මධුෂ්ට රටින් පැන ගැනීමට මේ දේශපාලනඥයින් උදව් කර ඇති බවටද තොරතුරු තිබේ. එසේම මධුෂ්ගේ මුදල්වලින් ඔවුන් මැතිවරණ කාලයන්හිදී ප‍්‍රචාරක වියදම් දැරූ බවටද මාතර ජනතාව අතර මතයක් පවතී.   

 

ඩැනි හිත්තැටිය මහතා ඝාතනයට ලක්වු ස්ථානය පොලිස් නිලධාරින් විසින් පරීක්ෂාවට ලක්කරන අයුරු


පසුගියදා අලුත්කඩේ අධිකරණය ආසන්නයේදී ඝාතනයට ලක්වූ මොහොමඩ් රිස්වාන් මධුෂ්ගේ සමීපතමයෙක් බව හෙළිව ඇත. කලක් හෙරොයින් ජාවාරමේ නිරතව සිට සිරදඬුවම් විඳ නිදහස් වූ අයෙක් වන රිස්වාන් පසුව තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගත්තේය. ඒ කුලී රථ සේවයකි. එහි ශාඛාවක් ඔහු කොළඹට ආසන්න ප‍්‍රදේශයක ආරම්භ කරන්නේ මධුෂ් යෙදවූ කෝටි හතක මුදලින් බවද කියැවේ. ඒ කුලී රථ සේවා ආයතනය විවෘත කරනු ලැබූවේ රටේ ප‍්‍රබලතම දේශපාලනඥයෙකුගේ සුරතිනි. මේ දේශපාලනඥයා රිස්වාන් කවුදැයි නොදන්නවා වෙන්නටද ඇත. එහෙත් ඔහු එයට සහභාගී වන්නේ තමන්ගේ පක්ෂයේ ප‍්‍රබලයෙකුගේ ඉල්ලීමට වන්නටද පුළුවන. එසේ නොවන්නේ නම් එවැනි ආයතනයක් විවෘත කිරීමට එවැනි නායකයෙකු යා නොහැකිය.   


කරුණු එසේ නම් තවමත් මධුෂ්ලා නඩත්තු කරන්නේ කවුරුන්ද? මධුෂ්ලාගේ ඕනෑ එපාකම් ඉටු කරන්නේ කවුරුන්ද? මධුෂ්ලා සුරකින්නේ කවුරුන්ද? තමන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් මධුෂ්ලා රැකගන්නා ඔවුන් නොවන්නට ඉතිහාසය පුරා විටින්විට මෙරට රජකළ සොත්ති උපාලිලා, කඩුවෙල වසන්තලා, වම්බෝටලා ගිය ගමන මධුෂ්ටද යාමට සිදුවෙනු ඇත. එසේත් නැත්නම් බන්ධනාගාර ගතව දඬුවම් විඳිනු ඇත.   


එල්ටීටීඊ නායකයෙකුගේ උවමනාව මත දකුණේ තරුණයෙක් මධුෂ් හමුවී එවකට ඉහළ දේශපාලන ප්‍රබලයකු ඝාතනයට කොන්ත‍්‍රාත්තුවක් ලබාදෙන්නේද ඔහු සිරගතව සිටියදීය. ඒ අනුව මධුෂ් එම තැනැත්තා ඝාතනය කරන්නට සැලසුම් කරමින් සිටි බවට චෝදනා එල්ල වෙන්නේ 2009 වසරේදීය. ඔහු එය සැලසුම් කළේ කෙසේද යන්න අපි ලබන සතියේ විමසා බලමු.   

 

 

 

 


මුදිතා දයානන්ද