• සමස්ත ප්‍රදේශය තුළම ඇත්තේ හිරිගල් සහ හිරිලඹ වේ.   
  • හුණුගල් පොකුණේ දියවර වලවේ ගඟට එකතුවේ. 

 

 

මේ වන විට මුහුණුපොත තුළ ප්‍රබල වශයෙන් ජනප්‍රිය ස්ථානයක් බවට පත්ව ඇති සංචාරක ඉසව්වක් වන බලංගොඩ හුණුගල් පොකුණු පද්ධතිය සොයා පසුගිය දිනක අප ගොඩවැදුණේ හුණුගල් සහ හිරිලඹ පිළිබඳ එම ප්‍රදේශයෙන් තවත් විස්තර සොයාගනු පිණිසය. තවද පාරිසරික වැදගත්කමින් යුතු මෙවැනි ඉසව් නිසි වැඩපිළිවෙළක් යටතේ උචිත ලෙස සමාජගතවීමේ අවශ්‍යතාව වගේම මෙවැනි සුන්දර ඉසව් සංචාරක සන්ධිස්ථාන වශයෙන් නියාමනයන් තුළ පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳවද අපි වැඩිදුරටත් සොයා බැලුවෙමු.  


හුණුගල් යනු අවසාධිත පාෂාණයකි. මේවා ප්‍රධාන වශයෙන් ජලය යට නිර්මාණය වේ. එලෙස නිර්මාණයවීම සඳහා වසර ලක්ෂ ගණනක් පමණ ගතවන අතර තට්ටු අඩි දහස් ගණනක ඝනකමින් යුක්ත වේ. පාෂාණ නිර්මාණය වන ආකාරය අනුව එහි වර්ග ත්‍රිත්වයකි. එනම් ආග්නේය පාෂාණ (Igneous Rocks), අවසාධිත පාෂාණ (Sendimentary Rocks) සහ විපරීත පාෂාණ (Metamorphic Rocks) වේ. 


ශ්‍රී ලංකාවේ 10% ක හුණුගල් තට්ටුවක්ද 90% ක පසද පිහිටා ඇත. හුණුගල් නිර්මාණය වී ඇත්තේ බොහෝවිට කැල්සියම් කාබනේට් හෝ ඩොලමයිට්වලින් වන අතර හුණුගල් පවතින ඉසව්වක නිතැතින්ම ජලය තිබෙන බව නොඅනුමානය. ක්‍රිස්තු පූර්ව යුගවල පටන් විවිධ ශිෂ්ටාචාරවලට පාදක වූ ගොඩනැගිලි සහ විවිධ අලංකරණ නිර්මාණ කිරීමට හුණුගල් යොදාගෙන ඇත. හුණුගල් බදාම ලෙසද පැරණි කුලුණු සහ ගොඩනැගිලි ඉදිකිරීමට යොදාගෙන ඇති අතර ඉවුම් පිහුම් කටයුතු කිරීමට පවා හුණුගල් දරලිප යොදාගෙන ඇත. 


ලංකාවේ හුණුගල් ගුහා බොහෝමයක් පවතින අතර ඒවායින් කිහිපයක් නම් වවුල්පනේ, මාරපන, පන්නිල, සීතාකොටුව, සඳගිරිය, ස්ත්‍රිපුර, නිල්දිය පොකුණ, ඉදල්ගස්හින්න, රොටුපිහිල්ල, යාපනය පෙරියමන්ඩපම්, මාතලේ, ඕපනායක ඇඳිරිලෙන ආදී ඉසව් වේ. ස්වභාවයෙන්ම හුණුගල් යනු ජලය තිබෙන පාෂාණ වන අතර අප මීට පෙර හුණුගල් ගුහා ගවේෂණය කළ සියලුම ඉසව්වල පාහේ ජලය උපදින දිය දහරාවන් පිරුණු භූගත ස්ථාන විය. 


නමුත් සීතාකොටුව, සඳගිරිය සහ වැල්ලවාය පාසි ඇල්ල නම් ඉසව්වන්, යාපනය පෙරියමණ්ඩපම් ගුහා සංකීර්ණත් හුණුගල් අවශෝධනයෙන් නිර්මාණය වූ එළිමහන් ඉසව් කිහිපයක් වේ. මින් හුණුගල් මතින් ඇදහැලෙන පොළොව අභ්‍යන්තරයේ පිහිටි එකම කිවුල් දිය ඇල්ල වවුල්පනේ පිහිටා ඇති අතර පොළොව මතුපිට අපට දැකිය හැකි හුණුගල් දිය ඇළි කිහිපයක් බලංගොඩ, සඳගිරිය, වැල්ලවාය, ගුරුළුපොත ආදී ප්‍රදේශවල දැකගත හැකිය. 


නමුත් අද අප සොයාගෙන යන්නේ විශාල හුණුගල් පොකුණු ලෙස පද්ධතියක් පිහිටි අපූරු ස්ථානයකටයි. මෙය වලවේ ගඟේ නැගෙනහිර දියඇල්ල වන දූවිලි ඇල්ල ආසන්නයේ පවතින අතර එම ඉසව්ව මේ වනවිට දේශීය සංචාරකයින්ගේ ප්‍රධානතම ඉසව්වක් වී ඇත. සමනළ වැව ජල කාන්දුව ගලාගෙන එන මුල්ගම, රජවක ඉසව්වේ මහ වනය මැද වන අලි ගැවසෙන රක්ෂිතය තුළ හුණුගල් වර්ධනය වී ඇති අතර මෙම හුණුගල් පොකුණ පිහිටි ගම්මානය තුළ ස්ථාන රාශියක් අපට හුණුගල් ආශ්‍රිත විවිධ නිර්මාණ දක්නට ලැබුණි. 
කැල්සියම් කාබනේට් කොපමණ දුරට සක්‍රීයද ඒවා කොපමණ වර්ෂ ගණනක් තුළ අවසාදනය වෙමින් මෙවැනි සුන්දර නිර්මාණ බිහිකළ ද යන්න අප දුටුවේ ගමන පටන්ගෙන මඳ දුරක් පැමිණ විට දුටුදෙයිනි. කැලයේ වම් පසින් ඉතා කුඩා දිය පහරක් ගලන අතර එය ගලන්නේ ඊට පමණක් අදාළ වූ හුණුගල් තට්ටුවක් මතිනි. ජලයේ පළලට පමණක් වැසී ඇති එම හුණුගල මතින් දිය දහරාව ගලා යන්නේ විටෙක කොන්ක්‍රීට් බදාමයකින් ගමන් කිරීමට තැනූ කුඩා දියපහරක් මෙනි. එම දියවර කාලය අභ්‍යන්තරයේ උල්පත් මගින් පටන්ගෙන කිලෝමීටර් කිහිපයක් දුරට කුඩා දිය පහරක්සේ හුණුගල් තට්ටුව මතින් ගලාගෙන යයි. 


මෙම රක්ෂිතය වන අලි රජදහනක් වන අතර බොහෝවිට උඩවලව හරහා සංක්‍රමණය වන අලි මෙම රක්ෂිතය තුළත් රක්ෂිතයෙන් බැහැර කොස්ලන්ද හා හල්දුම්මුල්ල ප්‍රදේශවලින් ගමන් කරනු ලබයි. අප යතුරුපැදි මගින් ගමන් කළ කුඩා මාර්ගය අවසන් වූයේ ගුණසිංහ මාමාගේ නිවස අසලිනි. ඒ මොහොතේම අප පිළිගැනීමට මෙන් මොණරකු පාර හරහා ගමන් කරනු ලැබීය. ගුණසිංහ මාමාගේ නිවස අසල යතුරුපැදි නවතා මාමා සමග රක්ෂිතය දෙසට යන අඩි මාර්ගයේ අපි පියමැන්නෙමු. මෙම මාර්ගය අඩි 5 ක් පමණ පළලින් යුක්ත ට්‍රැක්ටර් හා ටිපර් රථ ධාවනය කරන මඩ ගොහොරු පිරි දුෂ්කර එරෙන මාර්ගයකි. මාන පඳුරු යාය පසුකළ විසල් තුරු වියන යටට සේන්දු වී හුණුගල් පොකුණ දක්වා යා යුතු කිලෝමීටර් එකහමාරක පමණ දුර අප යාමට පටන් ගත්තේ පරිසරය හොඳින් නිර්මාණය කරමිනි. 


විවිධ දැවැන්ත ශාක මෙන්ම ඖෂධීය පැළෑටි සහ අතරින් පතර සිඳීගිය ජල මූලාශ්‍ර ද අපගේ නෙත ගැටුණු අතර මඩ ගොහොරු මාර්ගය මෙපමණ දුෂ්කරව තිබුණේ පෙර දින හොඳ වැස්සක් වැටුණු නිසාවෙන් බව මාමා අපට පවසන ලදී. ක්‍රමයෙන් ඉදිරියටම ගමන් කරන විට අප දුටුවේ වම් පස වන පියස තුළින් ගලාගෙන එන අඩියක් පමණ පළළින් යුත් හුණුගල් තට්ටුවක් මතින් ගලාගෙන එන සුන්දර දිය දහරාවකි. එය දුටු සැණින් අප විමතියට පත්වූයේ පස් කොළ රොඩු පිරුණු වන පියස මත කොන්ක්‍රීට්වලින් කුඩා ඇළක් ලෙස මෙය සාදා ඇති බවය. නමුත් එය අසලට ගොස් හොඳින් නිරීක්ෂණය කළ පසු අප දුටුවේ ස්වභාවයෙන්ම ගලාගෙන යන දියවර යටින් සැදුණු හුණුගල් බදාමයක් බවය. එය කොතරම් නිර්මාණශීලීද කිවහොත් හුණුගල් තට්ටුව තිබුණේ එම දියවර මැදිකරගෙන පහළට ගලාගෙන යාමට උචිත ලෙසයි. දුඹුරු සහ කොළ පැහැති වන රොද තුළ ළා සුදු පැහැයෙන් වර්ණිත වූ මෙම දියවර හා හුණුගල් තට්ටුව අතිශය අලංකාර විය. 


එය බොහෝදුරක් මාර්ගයට මීටර් කිහිපයක් දුරින් වනපියස හරහා පහළට ගලාගෙන යන අතර එම දියවරද රක්ෂිතය තුළ උපදින උල්පත් බව මාමා අපට පවසන ලදී. ඉන්පසු අප සේන්දු වූයේ අපූරු ස්ථානයකටයි. මාර්ගයේ දකුණු පසින් වනරොද හරහා අඩි පාරක් නොතිබූ ඉසව්වක මාමා අපව රැගෙන ගියේ හුණුගල් දියඇළි යුගලය පෙන්වීමටයි. එය අතිශය අලංකාර වූවකි. මන්ද ප්‍රධාන හුණුගල් ඇල්ල මීටර් 40ක් පමණ උස්වූ අතර එය වැටෙන ඉසව්වේ පාසි බැඳී තවත් සුන්දරත්වය වැඩි කරන්නට විය. එලෙසම හුණුගල් තට්ටු හා හිරිලඹ මතින් ඇල්ල වැටෙන අතර ඇල්ල පිහිටි බිත්තිය මුළුමනින්ම හුණුගලින් නිර්මාණය වූ මීටර් 150 ක් පමණ පළලින් යුතු කුඩා කඳු ගැටයක් වැනිවිය. ඒ අවට තිබූ දැවැන්ත ගල්කුට්ටි සියල්ලම හුණුගල් විය. මෙම ඇල්ල හරහා වැටෙන දියවර මීටර් කිහිපයක් ගලාගෙන ගොස් නැවත හුණුගල් තට්ටුවක් මතින් තවත් කුඩා දියඇල්ලක් සාදයි. මෙම ප්‍රදේශය එකම හුණුගල් නිධියක් වූ අතර කාලයාගේ අවෑමෙන් ඇතැම් ස්ථානවල හුණුගල් ප්‍රදේශවාසීන් විවිධ හේතු මත කඩාගෙන ගිය බවද මාමා අපට පැවසීය. මෙම ඇල්ල දුටු විටම අපට සිහියට නැගුණේ වැල්ලවායේ පිහිටි පාසි ඇල්ලයි. එයත් මෙවැනිම වූ ලෙස පාසි බැඳුණු පළල් හුණුගල් බිත්තියක් මතින් කඩා වැටෙන්නක් විය. 


ඇල්ලට වම් පසින් ඇල්ල මුදුනේ පිහිටි ගස්වල මුල් වැඩී තිබුණු අතර අප එම මුල් දිගේ අඩි 40ක පමණ උස නැගගත්තේ අවදානමක් සමඟිනි. ඇල්ල වඩා සුන්දර වන්නේ මහ වැසි සමයට වන අතර ඇල්ල ඉහළ සිට තවත් ගල්තලා හරහා ඇනිකට් එකක් හමුවනතුරු ගිය පසු මාමාගේ ඉඩම අපට හමුවුණි. 


කෙසේ හෝ නැවතත් අපි ගමනේ ප්‍රධාන මංසන්ධිය වන හුණුගල් පොකුණ බැලීමට පෙර ගමන්ගත් මාර්ගයටම පැමිණ ඉදිරියටම ඇදුණෙමු. අවසාදිත පාෂාණයක් වන හුණුගල් විපරීතකරණයට ලක්වීම හේතුවෙන් කිරිගරුඬ පාෂාණය නිර්මාණය විය හැක. මෙලෙස හුණුගල් බහුලවම ඇති ඉසව් යනු හලාවත, පුත්තලම, මන්නාරම, යාපනය, වයඹ සහ උතුරු වෙරළ බිම් වේ. එලෙසම ස්ඵටිකමය හුණුගල්, අවසාදිත හුණුගල්, කොරල් හුණුගල් සහ කවච හුණුගල් ලෙස නිධි 4 ක් ලංකාවේ දක්නට ලැබේ. යාපනය සිට පුත්තලම දක්වා වෙරළ තීරය තුළ මයෝසීන යුගයට අයත් සුසංගිත අවසාදිත හුණුගල් ඇති අතර ඒවායේ ඇති කැල්සියම් කාබනේට් ප්‍රමාණය ශුන්‍යයේ සිට සියයට අනූපහ තෙක් වේ. ලංකාවේ ක්‍රියාත්මක එකම හුණුගල් කොරිය පුත්තලමට කිලෝමීටර් 20ක් ඈතින් පිහිටි අරුවක්කාරු ප්‍රදේශයේ පිහිටා අති අතරය එය සිමෙන්ති කළුගල සඳහා අමුද්‍රව්‍ය ලබාගැනීමට විවෘත කැනීමකි. 


අලිවැට යටින් යාන්තමට රිංගා අප පුද්ගලික ඉඩමක් මතින් ගමන්කොට දිය දහරාව වෙත අවතීර්ණ වූ අතර එම ස්ථානයේ සිට මෙම දියවර වලවේ ගඟට එකතුවන ස්ථානය දක්වා ජලය ගලාගෙන යන්නේ විශාල හුණුගල් මතින් බව අපි දුටුවෙමු. වසර ලක්ෂ ගණනක් මුළුල්ලේ මෙලෙස අධි සාන්ද්‍රික කැල්සියම් කාබනේට් මතින් හටගත් හුණුගල් මෙම දියවරේ දක්නට ඇත්තේ මෙම ඉසව්වේ පමණි. මෙම ඉසව්ව නිතැතින්ම හුණුගල් නිධියකි. මන්ද දිය දහරට පසෙකින් පවා පිහිටියේ දැවැන්ත හුණුගල් කුට්ටි හා පර්වතය. ඒ තුළින් ජලය විදින අතර හුණුගල් කූරු දිගේ දියවර අපූරුවට ගලන බව අපට දක්නට ලැබුණි. 


මෙයට හුණුගල් පොකුණ කියා හඳුන්වන්නේ ස්වභාවිකවම හුණුගල් ඛාදනය වී පොකුණු මෙන් වටවුණු කුඩා තඩාග බොහෝමයක් නිර්මාණය වී ඇති හෙයිනි. මෙම හුණුගල් පතුල කොන්ක්‍රීට් බදාමයක් දැමුවාක් මෙන් නැතහොත් පිහිනුම් තඩාගයක පතුල මෙන් විනිවිද භාවයෙන් යුක්ත වූ අතර එ්වා කිසිලෙසකත් කැලතී හෝ අපවිත්‍ර වී නොතිබුණි. 
මෙහි ඇති හුණුගල්වල අපි විශේෂත්වයක් දුටුවෙමු. එනම් මෙම හුණුගල් ජලය ගලායන දිශාවට අනුවර්තනය වී තිබීමය. එනම් පොකුණු තුළ ඇති තට්ටු සියල්ලෙම බැම්ම සෑදී ඇත්තේ මෙම හුණුගල් වලිනි. එම බැම්ම තනි හුණුගලින් තිබුණ ද එය ජලය වැටෙන දිශාවට කූරු මෙම නිර්මාණය වී තිබේ එලෙස වී ඇත්තේ වසර ගණනාවක් පුරාවට ජලය කඩා වැටීමේ රටාවට අනුවර්තනය වී හුණුගල් වැටීම මගිනි. එම නිසාම පොකුණු සියල්ලෙම තට්ටු වෙන් වෙන බැව් පහළ ඉතා අලංකාර ලෙස හුණුගල් පහළට වැටෙන ලෙස පිහිටා තිබුනේ ගුහා අභ්‍යන්තරයේ පිහිටා ඇති හිරිලඹ පරිද්දෙනි. මෙහි ආසන්න වශයෙන් දුසිමකට අධික කුඩා පොකුණු ප්‍රමාණයක් පවතින අතර අපි ඉතා ප්‍රවේශමෙන් තට්ටු එකක් දෙකක් හරහා ගොස් අපට අවශ්‍ය හුණුගල් නිර්මාණ කිහිපයක් ඡායාරූප ගත කළෙමු. මන්ද වසර මිලියන ගණනක් පුරාවට වැඩුණු මෙම හුණුගල් පද්ධතිය කැඩීමක් සිදු නොවිය යුතු හෙයිනි. තවද බොහෝ පිරිසක් නිරතුරුව මෙම හුණුගල් තට්ටු මතින් ගමන් කිරීමේදී හා බොහෝදුරට බර රඳවාගැනීමේ ප්‍රමාණය ඉක්මවා ගියවිට මෙම හුණුගල් තට්ටු කැඩී යා හැක. එබැවින් නිතරම හුණුගල් මත ගමන් නොකර ඉවුරු දෙපසින් ගමන් කර එහි සුන්දරත්වය විඳීම අගනේය. 


මෙම හුණුගල් තුළ වැටුනු විවිධ කුඩා ජලජ ශාක සේම දිය පහර මැද හුණුගල් මධ්‍යයේ වැඩුණු සුවිසල් ගස් දක්නට ලැබේ. විටෙක මෙහි යම් ස්ථාන නිරීක්ෂණය කළවිට මුහුදු පත්ලේ පිහිටි කොරල්පරවල ආකාරයෙන්ම ජලය යට දැකගත හැකිය. අධි කැල්සියම් සහිත මෙවැනි ස්ථානයකින් ජල ස්නානය උචිත නොවන අතර එමඟින් හුණුගල් විනාශවීම සිදුවිය හැක. කාලාන්තරයක් මුළුල්ලේ පරිසරයට උචිත ලෙස ආවරණය වූ බැවින් මෙම ඉසව්වේ සමතුලිතතාව බිඳීමකට ලක්විය හැක. 


පොකුණු දුසිම පිහිටි ඉසව්වෙන් වෙන්වුණු අපි, ජලය ගලායන මාර්ගය දිගේ තවත් කිලෝමීටරයකට ආසන්න දුරින් ගමන්කළ පසු එය වලවේ ගඟට එකතුවන ස්ථානයට ළඟා වුණෙමු. ඒ දක්වා තවත් විස්සකට අධික පොකුණු දැකගැනීමට හැකිවූ අතර එහි ගැඹුර සීමිත විය. යෝධ පුස්වැල් හා ජලය මතුපිට වැඩුණු රූස්ස ගස් සෙවණ යට හුණුගල් පිරුණු ප්‍රදේශය තුළ ගමන් කරනවිට සිසිලසක් දැනුණු අතර වලවේ ගඟ ප්‍රචණ්ඩව ගලාගෙන යන බාධකයක් මේ අවට දක්නට ලැබුණි. කෙසේ හෝ සොබාදහමේ අපූරු නිර්මාණයක් බලා පමණක් සැනසුණු අප ඔබෙන් ඉල්ලන්නේ මෙම පරිසරය සුරකින ලෙසත් ජල ස්නානය කිරීමෙන් හා අවට විනෝදාස්වක පරිසරයක් ලෙස පත් කිරීමෙන් වළකින ලෙසත්ය. 

 


සංචාරක සටහන හා ඡායාරූප 
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු