ක්‍රියාදාම චාරිකා

කැලණි ගං මෝය

 

 

කැලණි ගඟ නැතහොත් කල්‍යාණ නදිය (Kelani River) යනු ලංකාවේ බොහෝ ප්‍රසිද්ධ සහ සිව් වැනියට දිගම ගංගාව වේ. කොළඹ මට්ටක්කුලියේ පිහිටි කදිරාන පාලම යටින් ගොස් මහ සයුර සිපගන්නා කැලණි ගඟේ උපත සොයා කැලණි ගඟ ආශ්‍රිත ජන ජීවිතය සහ ජන සමාජය බැඳී තිබෙන අපූර්වත්වය සමග එහි උපත සොයා උඩුගම් බලා යන ගමන අපි මෙසේ දිග හරිමු. කාලයේ වැලි තලාවෙන් යට වුණු බොහෝ ජන දිවි සරි කෙරුණ මෙම සුවිසල් ගංගාවට සමාන්තරව කි​ෙලා්‍ මීටර් 160 ක පමණ දුර යතුරු පැදියෙන් ගිය කැලණි නදී වත අපි මෙලෙස ගෙන එන්නෙමු.   


කිලෝ මීටර් 335 ක් දිගැති මහවැලි නදිය කොත්මලේ ජලාශය ආශ්‍රයෙන් සහ මහ එළියේ උල්පත් මගින් උපත ලබා මහනුවර සිට රන්දෙණිගල වික්ටෝරියා රන්ටැඹේ ආදි හෙල මහවැලි ව්‍යාපාරය සන්නද්ධ කරමින් සමස්ත නකල්ස් වන පෙතේම ජල කඳ රැගෙන මහියංගණය හරහා උතුරු මැද පළාත ඔස්සේ ​ෙගා​ස් ත්‍රීකුණාමලයෙන් මුහුදට වැටෙන්නේ ලංකාවේ දිගම ගඟ ලෙසිනි. එලෙසම දඹුල්​ෙලන් පටන් ගෙන මන්නාරම් ඉසව්වෙන් මුහුදට වැටෙන මල්වතු ඔය දෙවන දිගම ගඟ වන්නේ කිලෝ මීටර් 164 කට උරුමකම් කියමිනි.   
තෙවන ස්ථානය හිමි වන්නේ ද දඹුල්ලෙන් පටන් ගෙන විල්පත්තු කැලය මැදින් ගොස් දියඹ සිඹගන්නා කි​ෙලා් මීටර් 148 ක් පමණ දිගැති කලා ඔයටය. ඉන් පසු සිව් වන ස්ථානය හිමි වන්නේ කිලෝ මීටර් 145 ක දුරක් හිමි කැලණි නදියටය. නමුත් අප මෙම ගිය ගමනේදී කැලණි නදියේ සැබෑ උපත පිහිටි ස්ථානයේ සිට මට්ටක්කුලියට දුර ලෙස ගණනය කළේ වෙනත් අගයකි.   


උපත ලබන ස්ථානයේ සිට ගංගාවක් ආරම්භ වන්නේ නම් ගඟේ දිග එහි සිට තීරණය කළ යුතුය. නමුත් කැලණි නදිය උපත ලබන ස්ථානය පොල්පිටිය ප්‍රදේශය ද නැතහොත් හෝර්ටන්තැන්නේ කිරිගල්පොත්ත කඳු බෑවුම අසලින් ද යන වග අපට තිරණය කළ නොහැක. මන්ද පොල්පිටියේ දී කෙ​ෙසල්ගමු ඔය සහ මස්කෙළිය ඔය එකට එකතු එකතුවීම කැලණි නදිය ලෙස ගඟ පහළට ගලා යයි. නමුත් කෙසෙල් ගමු ඔය උපත ලබන්නේ හෝර්ටන්තැන්නෙනි. මස්කෙළිය ඔය උපත ලබන්නේ ගවරවිල කඳු වැටිය සහ සමනල කන්දේ දිය දහරාවන් තුළිනි. එවිට බලන විට මට්ටක්කුලියේ සිට හෝර්ටන්තැන්නේ අදාළ ඉසව්ව තෙක් ඇති දුර කිලෝ මීටර් 165 කට වැඩිවෙයි. නමුත් පොල්පිටියේ සිට මට්ටක්කුලියට ඇති දුර වන්නේ කිලෝ මීටර් 120 ක් පමණි. කෙසේ නමුත් ප්‍රධාන ලෙස ගංගාවක් නිර්මාණය වන්නේ විවිධ ඔය සහ දිය පහරවල්වල එකතු වෙනි. එලෙස බැලූ කල කැලණි නදිය පෝෂණය කරන ප්‍රධාන ඔය යුගලයෙන් ඈතින්ම පටන් ගන්නා කෙසෙල්ගමු ඔය කැලණි ගඟේ සැබෑ උපත නේදැයි අපට සිතුණි.   

 

 

හැමිල්ටන් ඇල කැළණි ගඟට

ගං මෝය අවට ඇති නිවාස

කාක දූපතේ පිවිසුම

 

 


එලෙස මූලිකව ගූගල් සිතියම් (Google Maps) සහ මිනින්දෝරු සිතියම් අධ්‍යයන කර ගඟට සමාන්තරව යන මාර්ගය ද සටහන් කරගෙන ජීපීඑස් සහය ද සමගින් අප ගමන ආරම්භ කළේ කොළොංතොට සිපගන්නා ඉන්දියන් සයුරත් කැලණි ගඟත් එකතු වන මෝය කට අසලිනි. හිමිදිරියෙම අප පැමිණියේ කදිරාන පාලම මතට සිරිපා කන්ද දර්ශනය වන හෙයින් එය දැක බලා ගැනීමටයි. නැගෙනහිරින් මෝදු වන හිරු කිරණ කඳ සමනොළ කඳු යාය මතට වැදෙන විට කඳු පන්තිය හරිම අපූරුවට දිවයිනේ බොහෝ ප්‍රදේශවලට දැක ගත හැකිය. කෙසේ හෝ උදෑසන 6 පමණ වන විට අප ද යන්තමින් සිරිපා කන්ද දුටුවේ ගුවනත සරණ වලාකුළු ඈත් මෑත් වූ විටකදීය.   


පසුව අප කාක දූපත පිහිටි ප්‍රදේශයට ගිය අතර ව්‍යායාම කරනු වස් එහි පැමිණ සිටි පිරිස බොහෝමයකි. කාක දූපත අතීතයේ මෙන් කාක්කන් පිරුණු දූපතක් මෙන් නොව ළමා උද්‍යාන සමගින් ක්‍රමවත් ලෙස සංවර්ධනය වී තිබේ. කාක දූපත උද්‍යානයට දකුණු පසින් පිහිටි කුඩා මාර්ගය දිගේ ඉදිරියටම ගමන් කළ අප දුටුවේ මාර්ගය නාවික හමුදා උප කඳවුරකින් නිමා වී ඇති බවයි. කැලණි ගං මෝය අසලට යාමට නම් අපට කඳවුරු භූමිය හරහා යා යුතුමය. එම නිසාම අපි අදාළ නිලධාරීන් සමග කතිකා කර අවසරය ලබාගෙන කඳවුරේ කෙළවරට ගොස් වෙරළට පිය මැන්නෙමු. කුඩා වෙරළ තීරයක් සහිත බිම් ඉදිරියෙන් කැලණි ගඟ සහ ඉන්දියන් සාගරය එකිනෙක හමුවේ. අප සිටින ස්ථානය මේ ඉවුර කොළඹ දිස්ත්‍රික්කය වුවද ග​ඟේ අනෙක් පස මහා ඉවුර ගම්පහ දිස්ත්‍රික්කයට අයත් විය. මෙම ස්ථානයේ පවා ගඟ අවම වශයෙන් මීටර් 120 කට වඩා පළල විය. මෝය කට අසල ගල් වැටියේ සිට බිලි පිති ආධාරයෙන් මාළු බාන පිරිසක් සිටින අතර ගඟට මුහුදට දැමූ දිරාපත් නොවන අපද්‍රව්‍ය රාශියක් වෙරළට ගොඩ ගසා ඇති බව ද අපි දුටුවෙමු. දකුණු පසින් කැලණි ගං කොමළිය බොහෝ දුර ගෙවාගෙන කඳු හෙල් මැදින් සොඳුරු ජන ජීවිත එකලු කරමින් ගාම්භීර ලෙස ගලා එන්නේ සමස්ත ගඟ තුළ හමුවන අවසාන පාලම වන මට්ටක්කුලිය කදිරාන පාලම යටිනි.   


පාලම ද හරි අපූරුවට මෙම ස්ථානයට දැක ගත හැකි විය. මෙම ඉවුරු දෙක අවට සිටින ජනයා කැලණි ගඟ ආශ්‍රිතව මිරිදිය මත්ස්‍ය කර්මාන්තයෙන් යැපෙන අතර පාරු සහ බෝට්ටු ආධාරයෙන් ගඟට පැමිණ දියඹට ඇදී යයි. මෙම ස්ථානයේ තවත් විශේෂත්වයක් වනුයේ මීගමුව කළපුවට යන හැමිල්ටන් ඇළේ ආරම්භය ද කදිරාන පාලම අසල තිබීමයි. වත්තල ඇළකන්ද මත්ස්‍ය වෙළෙඳපොළට මසුන් රැගෙන එන බෝට්ටු සියල්ල දියඹට යන්නේ කැලණි ගඟ හරහාය. තවද හැමිල්ටන් ඇළ දිගේ පමුණුගම සේදවත්ත ප්‍රදේශයෙන් මීගමුව කළපුවට එකතු වන්නේ ද කැලණි ගඟේ ජලකඳමය. එක යායට බෝට්ටු සමූහයක් ඇති හැමිල්ටන් ඇළ යනු කුණු සහ අපද්‍රව්‍ය පිරුණු ස්ථානයක් විය. 

 
මෝය කට පිහිටීම හේතුවෙන් කොපමණ ගංවතුරක් පැමිණිය ද මෙම ප්‍රදේශ ජලයෙන් යටවීමක් සිදු නොවෙයි. කදිරාන පාලම අවට පිහිටි මහල් නිවාසවල ජීවත් වන පිරිස පවා පැවසුවේ ගංවතුර කාලයට ගඟ ඉතා වේගයෙන් මුහුදට ඇදී යන බවත් ඉවුර සමීපය ගඟට යට වන නමුත් නිවාසවලට ගංවතුර නොපැමිණෙන බවයි. නමුත් ගංවතුර සමග පිරෙන හැමිල්ටන් ඇළේ ඇතැම් පහත් බිම්වල තිබෙන මාර්ග ජලයට යට වේ. එනම් ඇළ කන්ද මාර්ගයේ එක්තරා කොටසක් ජලයෙන් යටවන බව අත්දැකීමෙන් අප දැක තිබේ.   
කැලණි ගඟේ කිඹුලන් ගැවසෙන නමුත් මේ වන විට කිඹුල් ගහණය මඳක් අඩුව තිබේ. මන්ද අතීතයේ කැලණි ගඟ පිටාරතැන්නේ පිහිටි මුතුරාජවෙල යනු කැලණි ගඟේ එක්තරා අතුරු ප්‍රතිඵලයක් බඳුය. මන්ද වත්තල සිට ජා ඇළ හරහා මීගමු කළපුව දක්වා ප්‍රදේශය වගුරු බිම් වී තිබුණේ ඇතැම් විට කැලණි ගඟේ බලපෑමක් නිසාවෙන් විය හැක. මන්ද ජා ඇළ ප්‍රදේශවල වගුරුබිම් තුළ තවමත් ගැට කිඹුලා වාසය කරයි. විවිධ කුඩා ඇළ මාර්ග ඔස්සේ හැමිල්ටන් ඇළට හෝ පැමිණ කිඹුලන් කැලණි ගඟට පැමිණීම සිදු විය හැක්කක් බැවිනි.   

 

 

අතීතයේ හැමිල්ටන් ඇළ

අතීතයේ තිබූ පහුරු

 

 


කැලණි ගඟ මෝය පිහිටි ප්‍රදේශ තුළ ජන ජීවිතය තරමක සංකීර්ණ බවකින් යුතු ප්‍රදේශ වන අතර ඇතැම් ප්‍රදේශවල විවිධ නීති විරෝධී ජාවාරම් කරනුයේ සාගරය සහ ගංගාව එකතුවීමේ ස්ථානයේ පිහිටීම ඵලදායක හෙයිනි. අතීතයෙ​් බත්තල් සහ පාලම් පාරු යොදාගෙන භාණ්ඩ ප්‍රවාහනය සිදු කළ අතර හැමිල්ටන් ඇළ යනු මිනිසා විසින් තනන ලද්දකි.   
කිලෝමීටර් 14.5 ක් පමණ දිගින් යුත් මෙම හැමිල්ටන් ඇළ වර්ෂ 1804 දී බ්‍රිතාන්‍යයන් විසින් ගොඩනගන ලද්දකි. කොළඹ සහ මීගමුව යා කරන මෙම ඇළ මාර්ගය මුතුරාජවෙල වගුරු බිමේ ලුණු ජලය පිටවුමක් ලෙස නිම විය. බ්‍රිතාන්‍ය ජාතික ගෙවින් හැමිල්ටන් (Gavin Hamilton) ගේ නාමය මෙම ඇළට යෙදවීය.   


පෘතුගීසි සහ ලන්දේසීන් විසින් විවිධ කාලවකවානුවල මෙම ඇළ මාර්ගය විවිධ ආකාරයෙන් නිර්මාණයට දායක විය. මන්ද මෙම ඇළ මාර්ගය මීගමුව පමණක් නොව පුත්තලම දක්වා යාවෙන ඇළක් ලෙස සකස්වීමයි. වර්තමානය වන විට සමස්ත ඇළ මාර්ගය දෙසට කබොක් ගල් අතුරා ක්‍රමවත් ලෙස ඉවුරු උස් කර බැඳ තිබේ. මන් ද මෙම ඇළ මාර්ගය සමීපවම හේකිත්ත සිට බෝපිටිය දක්වා අතුරු මාර්ගයක් දිව යන හෙයිනි. තවද ඇළ මාර්ගය දෙපස ජනාවාස වී ඇති බැවින් ගංවතුර තත්ත්වයක දී අවම හානියක් ගෙන එන ලෙස හැමිල්ටන් ඇළ සකස් වී ඇත.   


කැලණි නදියෙන් ඇළ පටන් ගන්නා ස්ථානයේ බෞද්ධ ජනතාව සංකේතවත් කරනු වස් බුද්ධ ප්‍රතිමාවක් ද කිතුනු ජනතාව සංකේතවත් කරනු වස් සා.අන්තෝනි මුනි ප්‍රතිමාවක් ද ස්ථාපනය කර ඇත. තවද එම ස්ථානය අවට බංකු අතුරා විවේකීව ගත කිරීමට සුදුසු ස්ථානයක් ලෙස සකසා තිබේ. තවද එම ස්ථානයේ අලංකාරවත් ගුවන් පාලමක් ඇළ මතින් තනා ඇති අතර සමස්තයක් ලෙස ඇළ හරහා කුඩා පාලම් දහයක් පමණ තනා තිබේ. මහ මුහුදට ගොස් රළ සමග හැප්පී මසුන් අල්ලාගෙන එන ධීවරයින් කැලණි ගං මෝය දිගේ හැමිල්ටන් ඇළට ඇතුළු වෙයි. හේකිත්ත නගරයේ ප්‍රධාන මංසන්ධිය මසුන් අලෙවි කරන ප්‍රධානතම ස්ථානය වේ.   


පසෙකින් වත්තල ප්‍රදේශයත් පෑලිය​ගොඩ ප්‍රදේශයත් අතරින් ගලන කැලණි නදියට අවට පිහිටි නිවාසවලින් එක් කරන අපජලය සහ අපද්‍රව්‍ය නම් බොහෝය. මන්ද අප දුටු ආකාරයට බොහෝ ස්ථානවල ඉවුර අසල කුණු සහ අපද්‍රව්‍ය රැස් වී තිබුණි. කැලණි ගඟ අතීතයේ පාලම්පාරු මගින්ද, බත්තල් මගින්ද වර්තමානයේ දැවැන්ත පාලම් හරහා ද ලක්ෂ ගණනින් කොළඹට පැමිණෙන ජනතාවට උපකාරි වූවා සේම ගුවන් තලයට යාමට ද කැලණි ගඟ උදව් වන්නේය.   


එනම් පෑලියගොඩින් ගුවන් ගත මුහුදු ගුවන් යානා (Sea Planes) තිබීමයි. මෙම මුහුදු ගුවන් සේවය පුද්ගලික හෝටල් අංශයට හිමි වූවක් වන අතර කැලණි නදියේ බොහෝ ඉඩ කඩ පිහිටි දිගු ප්‍රදේශයක මෙම කටයුත්ත සිදු කෙරේ. මෙහිදී ගුවන් ගත වන කුඩා ගුවන් යානා දිවයිනේ විවිධ ප්‍රදේශවලට පියාසර කරනුයේ දෙස් විදෙස් සංචාරකයින් රැගෙනය. කැලණි නදින මෙලෙස ගුවන් ගමන්වලට ද බෙහෙවින් උපකාරී වන්නකි. මහ වැලි නදිය ලංකාවේ කෘෂි කර්මාන්තයට බොහෝ ලෙස උපකාරි වනවා සේම කැලණි නදිය ලංකාවේ වැඩියෙන්ම වාණිජ කටයුතු සඳහා උපකාරී වෙයි.   


​ෙකසේ හෝ තවත් දිනයක අපට අපූරු අවස්ථාවක් හිමි වූයේ කැලණි ගං මෝය සිට තොටළඟ ආසන්නයට බෝට්ටුවකින් ගමන් කිරීමටයි. එහිදී අප දුටු පරිදි බොහෝ වාණිජ ව්‍යාපාර කටයුතු සඳහා ගඟ උපකාරි වනවා සේම ගංගාව ආශ්‍රිතව දිවි ගෙවන ජනතාවගේ රෙදි සේදීම, ජල ස්ථානයට පවා ගංගාව උපකාරි කර ගන්නා බව පෙනිණ. කඳු වළලු මැදින් ඉපිද බොහෝ දුරකතර ගෙවා ගෙන විවිධ හැලහැප්පීම්වලට ලක් වෙමින් විවිධාකාරයෙන් ජල දූෂණයට ලක්වෙමින් මුහුදට එකතු වන ස්ථානය ආසන්නයේ ජල ස්නානය පවා කිරීමේ කටයුත්තේ ඵලදායි බව ඒ මොහොතේ අපට සිතුණි.   


ඊළඟට අප පිවිසියේ කාක දූපතේ සිට කදිරාන පාලම වෙත පැමිණ හැඳල ආසන්නයේ සැරිසරා පසුව ගංගාවට සමාන්තරව මාර්ග ඔස්සේ ඉදිරියට යාමටයි. කදිරාන පාලම යනු සිය දිවි හානි කර ගැනීම් රැසකට බඳුන් වූ ස්ථානයක් බව අවට පිහිටි නිවැසියන්ගෙන් දැනගැනීමට ලැබුණි. හිරු බැස යන සන්ධ්‍යාවක අප මෙහි සුන්දරත්වය දැකීමට පැමිණි අතර ධීවර රැකියාවට යනෙන බෝට්ටුවල අලංකාරය හිරු බසින සමයේ අපි දුටුවෙමු. තවද සඳ බටහිර මුහුදට පෙනෙන සමනොළ කන්ද අලුයම් වරුවක අපි දැකගත්තෙමු. කැලණි ගඟේ දිගේ ඉදිරියට යාමට අප පර්ගියුෂන් පාරේ සිට පිටත් වූයේ තොටළඟ වෙතය.   

 

කැලණි ගඟ සහ මුහුද එකතු ​ෙවන ස්ථානය

ගං මෝයට පෙනෙන කොළඹ නගරය

කැලණි ගං මෝය අසල මුහුද

 

 


ලබන සතියේ ගංවතුරෙන් බැට කන කැලණි ගං පිටාර තැන්න දිගේ   

 


සංචාරක සටහන හා ඡායාරූප   
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු