IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


ඔ​ෙබි විවාහය හා කේන්ද්‍රය

 

විවාහය පුද්ගලයෙකුගේ ජීවිතයේ වැදගත් සංධිස්ථානයක් බව ඕනෑම කෙනෙකු හොඳින් දන්නා කරුණකි. විශේෂයෙන්ම පෙරදිග රටවල විවාහයට ඉතාම ගෞරවාන්විත තැනක් දී සිදුකරන චාරිත්‍රයකි. ලාංකික සමාජයේ ද පැරණි කාලයේ සිටම විවාහය ඉතා වැදගත් චාරිත්‍රයක් වශයෙන් සලකා එය සිදුකරනු ලබයි. අද සමාජයේ සමහර අය යෝජිත විවාහ මගින් විවාහ ජීවිතයට පිවිසෙන අතර සමහරු ප්‍රේම සම්බන්ධතා මගින් විවාහ ජීවිතයට ඇතුළු වේ. යෝජිත විවාහ මගින් විවාහ ජීවිතයට ඇතුළු වන බොහෝ දෙනෙකු දෙමව්පියන් විසින් සහකරු ​හෝ සහකාරිය තම දුවට හෝ පුතාට සොයා දෙන අතර එම විවාහ කේන්ද්‍ර ගැළපීමෙන් බොහෝදුරට සිදුකරනු ලබයි.
   
ප්‍රේම සම්බන්ධතා මගින් විවාහ ජීවිතයට ඇතුළු වන අය ප්‍රේම සම්බන්ධතා ඇතිකරගත් පසුව කේන්ද්‍ර ගැළපෙන්නේ දැයි බැලීමට යන අවස්ථා ඇත. නමුත් එය එතරම් සුදුසු දෙයක් නොවන බව සඳහන් කළ යුතුය. එයට හේතුව නම් ජ්‍යොතිෂ්‍යවේදියා විසින් කේන්ද්‍ර දෙක නොගැළපෙන බව පැවසූ විට ඔවුනට එය මානසික වශයෙන් බලපෑම් ඇතිකළ හැකි බැවිනි.   


අද සමාජයේ ඉහත සඳහන් ක්‍රම දෙකෙන්ම විවාහ ජීවිතයට ඇතුළුවූ අයගේ විවාහ වැඩි කලක් යාමට පෙර අසාර්ථක වූ අවස්ථා ඕනෑ තරම් දක්නට ලැබේ. එයට හේතුව නම් දෙදෙනාගේ කේන්ද්‍රවල ඇති විවාහ ජීවිතයට අයහපත් ග්‍රහ පිහිටීම්ය. කේන්ද්‍ර ගැළපීමෙන් පවා විවාහ ජීවිතයට ඇතුළු වූ අයගේ විවාහ අසාර්ථක වූ අවස්ථා ඕනෑ තරම් දක්නට ලැබේ. එයට හේතුව නම් බොහෝ අය දන්නා පරිදි පොරොන්දම් විස්ස පමණක් ගලපා විවාහය සිදුකිරීමය. පොරොන්දම් විස්ස ගැළපීම ද සිදුකළ යුතු දෙයක් වන අතර ඊටත් වඩා දෙදෙනාගේ කේන්ද්‍රවල ඇති ග්‍රහ පිහිටීම්වල ඇති යහපත් හෝ අයහපත් බව හොඳින් ගළපා විවාහය සිදුකළ යුතුය. එසේ නොමැතිව පොරොන්දම් විස්ස පමණක් ගළපා විවාහය සිදුකළ විට විවාහය අසාර්ථක වේ.   


​ෙක්න්ද්‍රවල ඇති විවාහ ජීවිතයට අහිතකර ග්‍රහ පිහිටීම් කිහිපයක් සහ ඒවායින් විවාහ ජීවිතයට ඇති කළ හැකි බලපෑම් මොනවාදැයි පාඨකයන්ගේ දැනගැනීම පිණිස සඳහන් කිරීමට කැමැත්තෙමි.

   
කේන්ද්‍රයක හත්වැන්න විවාහය සඳහා බලපාන ප්‍රධාන ස්ථානය වශයෙන් සඳහන් කළ හැකිය. තවද හත්වැන්නට වැටෙන ග්‍රහ දෘෂ්ටි ද හත්වැන්න අධිපතිගේ පිහිටීම ද වැදගත් වේ. තවද අටවැන්න ද විවාහයට කෙලින්ම සම්බන්ධ ස්ථානයක් වශයෙන් සඳහන් කළ හැකිය. 

 
යම් ස්ත්‍රියකගේ හෝ පුරුෂයෙකුගේ කේන්ද්‍රයක අටවැන්නාධිපති හත්වැන්නේ සිටීම හෝ හත්වැන්නාධිපති අටවැන්නේ සිටීම, හත්වැන්නාධිපති හයවැන්නේ සිටීම හෝ හයවැන්නාධිපති හත්වැන්නේ සිටීම ප්‍රබල විවාහ දෝෂයක් වශයෙන් දැක්විය හැකිය. එසේ වූ විට දෙදෙනා අතර නිතර ආරවුල් අැතිවීම දෙදෙනාට දෙදෙනා සතුරුවීම සහකරු හෝ සහකාරිය බරපතළ ලෙස රෝගී වීම අකාලයේ මිය යාම දෙදෙනාට විවාහයෙන් වෙන්වීමට සිදුවීම වැනි දේවල් ඇතිවිය හැකිය.   


තවද විවාහ ජීවිත අසාර්ථක වීමට ප්‍රධාන හේතුවක් වශයෙන් සඳහන් කළ හැක්කේ අති ධාවන කාම යෝග පැවතීමය. හත්වැන්නේ සිකුරු ප්‍රමාණයට වඩා බලවත්ව පිහිටීම, හත්වැන්නේ කුජ-සිකුරු සඳු-සිකුරු රාහු-සිකුරු සහ රවි-සිකුරු යෝග පැවතීම අති ධාවන කාම යෝග වශයෙන් හැඳින්විය හැකිය. මෙවැනි අති ධාවන කාම යෝග තිබෙන අයට ගැළපෙන්නේ අනෙක් කේන්ද්‍රයේ ද කාම ශක්තිය බලවත් වූ අය වේ. එසේ නොමැති වූ විට ලිංගික ජීවිතයේ නොගැළපීම් හේතුවෙන් විවාහය දෙදරායාම හෝ අනියම් සම්බන්ධතාවලට යොමුවිය හැකිය. විශේෂයෙන්ම කුජ-සිකුරු යෝගය ඇති අයට ගැළපෙන්නේ කේන්ද්‍රයේ කොතැනක හෝ එවැනිම යෝගයක් ඇති අය වේ.   


ලග්නයේ පිහිටි පාප ග්‍රහයන්ගේ දෘෂ්ටිය හත්වැන්න වෙත එල්ල වීමෙන් ද විවාහ ජීවිතයේ නොයෙකුත් ගැටලුකාරී තත්ත්වයන් ඇතිවිය හැකිය. රවි ලග්නයේ තැන්පත් වීම ශනි ලග්නයේ තැන්පත් වීම කුජ ලග්නයේ තැන්පත් වීම සඳහන් කළ හැකිය.   


එසේම හත්වැන්නේ සිටින පාප ග්‍රහයන් හේතුවෙන් ද විවාහ ජීවිතවලට නොයෙකුත් ගැටලු ඇතිවිය හැකිය. කුජ හත්වැන්නේ සිටීම, රවි හත්වැන්නේ සිටීම, ශනි හත්වැන්නේ සිටීම ද සඳහන් කළ හැකිය. එවැනි අයට ගැළපෙන්නේ අනෙක් කේන්ද්‍රයේ ද එවැනිම ග්‍රහ පිහිටීම් ඇති අය වේ. ගුරු හත්වැන්නේ සිටීම ද විවාහයේ මුල් අවධියේ දී ගැටලු ඇති නොවුවත් පසු කාලයේ දී විවාහය අසාර්ථක කරන පිහිටීමකි. එවැනි අයට ගුරු හත්වැන්නේම පිහිටි කේන්ද්‍රයක් ගැළපීමෙන් එම දෝෂය මගහැර ගත හැකිය. රාහු ලග්නයේ කේතු හත්වැන්නේ ද කේතු ලග්නයේ රාහු හත්වැන්නේ පිහිටීම ද විවාහයට අහිතකර බලපෑම් ඇති කළ හැකි පිහිටීමකි. එවැනි අයට ද ගැළපෙන්නේ එවැනිම පිහිටීමක් ඇති කේන්ද්‍ර වේ. එවිට දෙදෙනාගේම දෝෂ ඇති බැවින් එකිනෙකට දෝෂ භංග වේ. එමෙන්ම කුජ-ශනි යෝගය හෙවත් ශනිමංගල යෝගය ද විවාහයට අහිතකර යෝගයක් වශයෙන් හැඳින්විය හැකිය. විශේෂයෙන්ම කුජ-ශනි යෝගය විවාහයට කෙලින්ම සම්බන්ධ ස්ථානවල ලග්නයේ හත්වැන්නේ හෝ අටවැන්නේ පිහිටීම ඉතා අශුභ විය හැකිය. එවැනි අයට ද ගැළපෙන්නේ එවැනිම යෝගයක් කේන්ද්‍රයේ කොතැනක හෝ ඇති අය වේ.   


තවත් විවාහයට අහිතකර බලපෑම් ඇති කළ හැකි පිහිටීමක් වශයෙන් හත්වැන්න පාපකර්තරී වීම සහ සිකුරු පාපකර්තරී වීම ද සඳහන් කළ හැකිය. මේ නිසා දෙදෙනා අතර ගැටලු ඇතිවීම සහ සහකරු හෝ සහකාරිය අකාලයේ මියයාම ද විවාහ ජීවිතය කරදර මැද ගෙනයාමට සිදුවීම හෝ කුමන හෝ ක්‍රමයකින් විවාහය දෙදරායාම සිදුවිය හැකිය.   


හත්වැන්නේ අශුභ ග්‍රහ පිහිටීම් මෙන්ම අටවැන්නේ අශුභ ග්‍රහ පිහිටීම් ද විවාහ ජීවිතයට අහිතකර බලපෑම් ඇති කළ හැකිය. විශේෂයෙන්ම කුජ අටවැන්නේ සිටීම, ශනි අටවැන්නේ සිටීම සහ රාහු අටවැන්නේ සිටීම ද සඳහන් කළ හැකිය.   


බොහෝ දෙනෙකු දන්නා පරිදි විවාහයට අහිතකර පිහිටීමක් වශයෙන් භෞම දෝෂය හෙවත් කුජ දෝෂය හැඳින්විය හැකිය. භෞම දෝෂය වශයෙන් සැලකෙන්නේ යම්කිසි කේන්ද්‍රයක කුජ ග්‍රහයා 1, 2, 4, 7, 8, 12 තැන්පත් වීමයි. ඉහත සඳහන් කළ ස්ථානවල කුජ තැන්පත්ව සිටින අය ඕනෑ තරම් දක්නට ලැබේ. එහෙත් ඒ හැම පුද්ගලයෙකුගේම විවාහය අසාර්ථක වී නොමැත. එයට හේතුව නම් භෞම දෝෂය පැවතිය ද එම දෝෂය භංග වන ක්‍රම බොහෝ ගණනක් පැවතීමයි. සමහර ලග්නවලට ඉහත සඳහන් කළ ස්ථානවල කුජ සිටීමෙන් භෞම දෝෂය පවතින අතර සමහර ලග්නවලට එය සුළු වශයෙන් පැවතීම හෝ මුළුමනින්ම අ​ෙහා්සිවීම සිදුවේ.   


තවද ඉහත ස්ථානවල කුජ සිටිය ද වෙනත් ග්‍රහයන් සමග සංයෝග වීමෙන් භෞම දෝෂය භංග වන අවස්ථා ඇත. ජ්‍යොතිර්වේදියාගේ වගකීම විය යුත්තේ ඉහත ස්ථානවල කුජ සිටී නම් එම කේන්ද්‍රය ඉවත දැමීම නොව භෞම දෝෂය භංග වන ක්‍රම ඇත්නම් ඒවා නිවැරදිව සොයාගෙන හොඳින් කේන්ද්‍ර ගළපා විවාහයට සුදුසු දැයි තීරණය කිරීමය.   


විවාහ ජීවිතය අසාර්ථක කරන ග්‍රහ පිහිටීම් බොහෝ ප්‍රමාණයක් මෙතෙක් සඳහන් කරන ලදී. අයහපත් ග්‍රහ පිහිටීම් හේතුවෙන් විවාහය අසාර්ථක වූ අය මෙන්ම විවාහය බොහෝ කලක් ප්‍රමාදවීම හෝ විවාහ වීමට නොහැකිවීම හේතුවෙන් අසහනයට පත්වූ අය ද සිටිති. එසේ වීමට කේන්ද්‍රවල ඇති අයහපත් ග්‍රහ පිහිටීම් බලපාන බව සඳහන් කළ යුතුය.   


විවාහ ප්‍රමාදයට ප්‍රධාන වශයෙන් බලපාන ග්‍රහ පිහිටීම් වශයෙන් ශනි, කේතු, ගුරු හෝ රවි හත්වැන්නේ තැන්පත්වීම, හත්වැන්න පාපකර්තරී වීම හත්වැන්න අධිපති නීච වීම සිකුරු පාපකර්තරී වීම, හැත්වැන්න අධිපති ශනිගේ නැකතක සිටීම හත්වැන්න අධිපති ශනි සමග සංයෝගවීම හත්වැන්න පාප ග්‍රහයන් කිහිපදෙනෙකුගේ දෘෂ්ටියට ලක්වීම සහ පාප ග්‍රහයන්ගේ මහ දශාවන් පැවතීම ද සඳහන් කළ හැකිය. ඉහත සඳහන් කළ ග්‍රහ පිහිටීම් විවාහ ප්‍රමාදයේ සිට විවාහයක් සිද්ධ නොවීමට වුවද හේතු වශයෙන් දැක්විය හැකිය.   


මෙතෙක් සඳහන් කළ විවාහයට බලපාන ග්‍රහ පිහිටීම්වලට අමතරව තවත් බොහෝ අහිතකර ග්‍රහ පිහිටීම් මෙන්ම ග්‍රහ සංයෝග ද කේන්ද්‍රවල පවතින බව කිව යුතුය.   


ජ්‍යොතිෂවේදියෙකු වශයෙන් මා විසින් සඳහන් කළ යුතු දෙය නම් දෙමව්පියන් වශයෙන් තමන්ගේ දරුවන්ගේ කේන්ද්‍ර ඔවුන් වැඩිවියට පැමිණීමත් සමගම පළපුරුදු ජ්‍යොතිෂවේදියෙකු ලවා හොඳින් කේන්ද්‍රය පරික්ෂා කරවාගෙන අහිතකර ග්‍රහ පිහිටීම් පවතී නම් ඒවාට කල්වේලා ඇතිව නිසි පියවර ගෙන දරුවන්ගේ අනාගතය සකස්කර දීමය. එසේම ජ්‍යොතිෂවේදියාගේ වගකීම නම් තමන් වෙත විවාහ ගැළපීම සඳහා රැගෙන එන කේන්ද්‍ර ඉතා හොඳින් සියුම්ව පරික්ෂා කොට එහි තිබෙන තත්ත්වය නිවැරදිව සේවාදායකයාට පැහැදිලි කරදී හොඳින් කේන්ද්‍ර ගලපා දීමය.   

 

 

 

 


ජ්‍යොතිෂවේදී   
ඉඳුනිල් හපුආරච්චිගේ   
170/2 ශ්‍රී ආරියවංශ මාවත, මොල්ලිගොඩ, වාද්දුව. 



අදහස් (0)

ඔ​ෙබි විවාහය හා කේන්ද්‍රය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1917 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1528 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site