IMG-LOGO

2025 මාර්තු මස 17 වන සඳුදා


අසුර රජ හා සටනින් දුර්ගා දෙවඟනට ජය

භාරත දේව සභාව 

 

රම්බා යනු අසුරයෙකි. එසේ වුවද ඔහු දෙවියන් කෙරෙහි භක්තිමත් වූ බැවින් දෙවියෝ ඔහුට ප්‍රිය කළෝය දැහැනට සමවදින රම්බා දෙවියන්ගේ පිහිට ප්‍රාර්ථනා කළ එක දවසක අග්නි දෙවියා රම්බා වෙත පැමිණියේය.   


“ඇස් අරින්න දරුවා” 

 
අග්නි කීවේය   


දෙනෙත් විවර කළ රම්බා, අග්නි දෙස බැලුවේ පුදුමයෙනි.   


මද සිනාවකින් දෙතොල සරසාගත් අග්නි රම්බා ඇමතුවේය.   


“ඔබේ ඉල්ලීම මට ඇහුණා කුමක්ද ඔබේ පැතුම?”   


“උතුමාණනි, මට පුතකු අවශ්‍යයි. නමුත් ඔහු මරණයට පත් කිරීමට කිසිවකුටත් නොහැකි විය යුතුයි. මිනිසකුටවත් දෙවියකුටවත් සතකුටවත්.”   


“ඔබේ පැතුම ඉටුවෙයි” අග්නි පැවසුවේය.


“කෙසේ වෙතත්, ඔබේ පුතා ඒ වෙනුවෙන් බ්‍රහ්ම උතුමාණන්ට යාච්ඥ‌ා කළ යුතුයි. එවිට ඔහු බොහෝ බලගතු වෙයි.”   


රම්බා සතුටින් හිස සැලුවේය. ඒ අතරතුර අග්නි දෙවියා අතුරුදන් වූයේය.   


රම්බා යනු යක්ෂයන්ගේ අධිපතියාය. ඔහු ප්‍රේම සම්බන්ධයක් ඇතිකර ගත්තේ මහිෂි සමඟය. කලකට ඉහත ශ්‍යමලා කුමරියගේ ශාපයට ලක්වීම නිසා මී ගව දෙනෙකුගේ ශරීර ස්වභාවය ඇයට ලැබී තිබිණ කෙසේ හෝ වේවා මහිෂි හා රම්බා ගේ ප්‍රේමයෙහි ප්‍රථිඵලය වූයේ මහීෂසූර නම් වූ පුතණුවන්ය.   


මහීෂසූරගේ මව මී ගව දෙනකු වීම නිසා ඔහුට ඕනෑම මොහොතක මී හරක් වේශය ගැනීමටද හැකිවිය. වෙනත් ඕනෑම සතෙකුගේ වේශයටද පිවිසිය හැකිය. මහීෂ ඉපදී කෙටිකලකට පසුව ඔහුගේ මව් පිය දෙදෙනාම මියගියහ. ඉනික්බිති ඔහුගේ භාරකාරත්වය පැවරුණේ මේ රම්බාගේ ඥාතියකුටය. මහීෂගේ මාමා කෙනෙකු වූ ඔහු මහීෂ ආදරයෙන් බලා කියාගත් අතර ඔහු නිතරම කීවේ කවද‌ා හෝ දවසක මහීෂ ලෝකයේ බලවත් රජකෙනෙකු වන බවය.   


මාමා ගේ මේ වචන කෙරෙහි තදබල විශ්වාසයක් ඇති කරගත් මහීෂ නිබදවම දුටු සිහිනය වූයේද ලොව බලගතුම රජ පදවියයි. 

 
තරුණ වියට පැමිණි මහීෂ දිනක් සිය මාමා වෙත ගොස් කීවේ තමන්ට දෙවියන්ගේද රජු විය යුතු බවය. “ඔබ හැමදාම මට පැවසුවේ මම බලගතු රජකෙනෙකු වන බවයි”   


මාමා තම තරුණ පුතු දෙස බැලුවේ සිනාමුවෙනි.   


“ඔබේ පියාගේ පැතුම වුණේ. කිසිම මිනිසකුටවත් දෙවියකුටවත් සතකුටවත් මරාදැමිය නොහැකි එඩිතර පුත් කුමරෙක්. ඉතින් අග්නි විසින් ඔබේ පියාට ඒ වරම ලබා දුන්නා. ඒ නිසා ඔබ බොහෝ බලවත් පුතණුවනි. නමුත් ඔබ බ්‍රහ්ම වෙත යාච්ඥා කර ඒ බලය තහවුරු කරගත යුතු වෙනවා.   


මහීෂසූර තම මාමාගේ වචන වලට කන් දුන්නේ ආශාවෙනි.   


“එසේ නම් මම බ්‍රහ්මගෙන් ඒ වරය ඉල්ලා සිටින්නම්.”   


වනයට ගිය යොවුන් කොලු ගැටයා බ්‍රහ්ම වෙනුවෙන් යාච්ඥා කරන්නට පටන් ගත්තේය. දිගින් දිගටම කළ මේ යාච්ඥාවට කන්දුන් බ්‍රශ්ම අවසානයේ මහීෂ ඉදිරියේ විද්‍යාමාන වූයේය.   


“ඔබ මගෙන් බලාපොරොත්තු වන වරප්‍රසාදය කුමක්ද මහීෂ?”   


බ්‍රහ්ම විමසුවේය.   


“උතුමාණනි, මා උපන්නේ අග්නි දෙවියන්ගෙන් මගේ පියා කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙසින්. ඒ අනුව අග්නි දෙවියා මගේ ජීවිතයට කිසිවකුට හානි කළ නොහැකි ලෙස වරයක් දී තිබෙනවා. නමුත් එය මා විසිනුත් ඔබෙන් ඉල්ලා සිටිය යුතුයි. මා ඔබෙන් යදින්නේ එයයි. උතුමාණනි, එසේම මෙලොව සියලුම සත්වයන්ට වඩා බලසම්පන්න බවත් මට අවශ්‍යයි”   


මහීෂගේ මේ ඉල්ලීම කිසිසේත්ම බ්‍රහ්මගේ සතුටට හේතු නොවීය. එසේ වුවත් ඔහුට කළ හැකි අන්දෙයක්ද නොවීය.

   
මේ වරය කවද‌ා හෝ දවසක නරක ප්‍රතිඵල දිය හැකි බව බ්‍රහ්ම නොදැන සිටියා නොවේ. එසේ වෙතත් මහීෂ ඉල්ලා සිටින වරයක් දීමට බ්‍රහ්ම පොරොන්දු වී සිටියේය. එබැවින් ඔහු ඉල්ලූ වරය දුන් බ්‍රහ්ම වහාම එතැනින් අතුරුදන් වූයේය.   


මහීෂසූර වනයෙන් එළියටබැස්සේ ආඩම්බරයෙන් හිස කෙළින්කර ගෙනය. එසේම තම රාජ්‍යය පුළුල් කර ගැනීම සඳහා යුද සැලසුමක් සකස් කර ගැනීමටද ඔහු අපේක්ෂා කළේය.   


බ්‍රහ්මගෙන් ලැබුණු වරයේ හේතුවෙන් ඉක්මනින්ම බලවතෙකු වූ මහීෂසූර සමස්ත පෘථිවියේම පාලනය තමන් සතුකර ගන්නට තැත් කළේය.   


ඔහු සියලු රාජධානි විනාශ කර මිනිසුන් අතර ත්‍රස්ත බව අැති කළේය. සමස්ත ලෝකයම මහිෂසූර ගැන බියට පත් වූ අතර මිනිස්සු ඔහු එන එන තැන් අතැර පලායන්නට වූහ. යම් කිසිවකු වචනයකින් හෝ මහීෂසූරට එරෙහි වුවහොත් වහාම ඒ තැනැත්තා මරා දැමීමට යක්ෂයන්ට නියෝග දුන්නේය.   


මේ තත්ත්වයෙන් බියටත් පීඩාවටත් පත් වූ මිනිස්සු මහාදේවියගෙන් පිහිට ඉල්ලා යාච්ඥා කරන්නට වූහ.  මහීෂසූර විසින් පෘථිවිය මත කරනු ලබන විනාශය පිළිබඳව මහාදේවියගේ හිතේද තිබුණේ කලකිරීමකි. පෘථිවියේ බලය අත්පත් කරගත් පසුව ඔහු කරන්නේ දෙව්ලොවටද තම බලය ව්‍යාප්ත කිරීම බව ඇය විශ්වාස කළාය.   


නොබෝ කලෙකින්ම මහා දේවිය සිතු දේ සැබෑ විය. මහීෂසූර විසින් දිව්‍යලෝකය කරා තම යක්ෂ හමුද‌ාවක් එවනු ලැබ තිබිණි. මින් බියට පත් වූ ඉන්ද්‍ර අනෙකුත් දෙවිවරුද පිරිවරාගෙන බ්‍රහ්ම හමුවන්නට ගියේය.   


“උතුමාණනි”   


“බ්‍රහ්මගේ දෙපා මුල වැටුණු ඉන්ද්‍ර කෙදිරීය කරුණාකර අප බේරාගන්න. අප ආරක්ෂා කළ හැකි එකම තැනැත්තා ඔබයි. ඔබ පමණයි.”   


තමා වටකරගෙන සිටින දෙවිවරුන්ගේ මුහුණු බැලූ බ්‍රහ්ම ලොකුම වරදක් සිදු වී ඇති බව වටහා ගත්තේය.   


“උතුමාණනි”   


“වරුණ කීවේය “මහීෂසූර මොහොතින් මොහොත බලවත් වෙනවා. ඔහුට එරෙහිව කිසිවක්ම කරන්නට අපට පුළුවන්කමක් නැහැ”   


“දරුවනි”   


බ්‍රහ්ම සංසුන්ව කතා කළේය. “ඔබ සියලු දෙනාම දන්නවා වර පිළිබඳව. මහීෂසූර මගෙන් ඉල්ලා සිටි වරය මා ඔහුට දුන්නා. ඔහුට දුන් වරය මට ආපසු අරගන්නට පුළුවන්කමක් නැහැ. මන්ද? ඔහුගේ භක්තිය බොහොම බලවත්”   


එසේ කී බ්‍රහ්ම නිහඬ වූයේය. ඔහු කල්පනා කළේ තම වරමින් බලවත් වූ මහීෂසූර එයින් අනවශ්‍ය දේ කිරීම පිළිබඳවය. ඇත්තටම බ්‍රහ්මගේ සිත කෝපයෙන් පිරී ගියේය.   
“දරුවනි” කනගාටු වෙන්න එපා”   


මොහොතකට පසු බ්‍රහ්ම කීවේය.   


“අපි යමු ශිව සහ විෂ්ණු මුණ ගැසීමට ඔවුන් දෙදෙනාම මේ මොහොතේ වෛකුණ්ඨයේ රැඳී සාකච්ඡාවකයි ඉන්​ෙන. අපිත් ඔවුන් දෙදෙනා සමඟ එකතු වෙමු”   


“ඔව්, අපි වෛකුණ්ඨයට යමු”   


සරස්වතී දෙවඟනද කීවාය.   


වෛකුණ්ඨයේ පිහිටි විෂ්ණුගේ නිවෙස දෙවිවරුන්ගෙන් පිරී ගියේය. බරපතළ සාකච්ඡාවක නිරතව සිටි ශිව සහ පාර්වතීත්. විෂ්ණු සහ ලක්ෂ්මියත් කතාව නවතා දෙවිවරු පිළිගත්හ.   
සියලු දෙවිවරුන් වෙනුවෙන් ඉන්ද්‍ර කරුණු කියන්නට පටන් ගත්තේය.   


මහීෂසූරගේ අසීමිත බලය හා එයින් දෙවිවරුන්ට වන කරදර පිළිබඳව විස්තර කියා අවසන් වන විටම වෛකුණ්ඨයෙන් ඇසුණේ මිහිරි හඬකි.   


“දරුවනි” එ් මහාදේවියගේ කටහඬයි.


“බ්‍රහ්ම උතුමාණන්ගේ වරය විසින් මහීෂසූර ආරක්ෂා කරනු ලබනවා. කිසිම මිනිසකුගෙන් දෙවියකුගෙන් හෝ සතකුගෙන් ඔහුට හානියක් වන්නේ නැහැ. එහෙත් ගැහැනියකට හෝ දෙවඟනකට හෝ ඒ වරය බලපාන්නේ නෑ එම නිසා දෙවඟනන්ගේ එකතු වූ විට බලය, මහීෂසූරගේ බලය ඉක්මවනු ඇති.”   


මහා දෙවඟන කීවාය.   


පාර්වති, ලක්ෂ්මී සහ සරස්වතී එක පෙළට සිටගත්හ.   


ඉන්ද්‍ර ඇතුළු දෙවිවරු සතුටින් ප්‍රමුදිත වූහ. තම ගැටලුවට විසඳුමක් ඉදිරිපත්ව තිබේ. දැන් කළ යුත්තේ මහිෂසූර හා සටනට කාන්තා බළකායක් ඉදිරිපත් වීමය.   


එක්වනම නිර්මාණය වූයේ මහා ආලෝකයකි. ඒ ආලෝකයේ බලමහිමයත් සමගම පාදූර්භූත වූයේ අත් දහසකින් යුත් අත්‍යාලංකාර කාන්තාවකි.   


“මමයි මහාදේවි”   


ඇය තමන්වම හඳුන්වා දුන්නාය.   


දේව සභාවේ සියලුදෙනාගේ ඇස් යොමුවූයේ මේ රූබර දෙවඟන වෙතය. ඇගේ ශක්තිමත් බව, සියලු දෙවිවරුන් සසල කරන්නට සමත්විය.   


“මමයි මහාදේවි මමයි කත්‍යානි මමයි දුර්ගා මම පැමිණියේ සියලු යක්ෂන්ගේ බලය බිඳ දැමීමට”   


සියලු දෙවිවරු හිස පහත්කර දුර්ගා ගේ සැපත් වීමට ප්‍රණාමය දැක්වූහ.   


ශිව ඔහුගේ බලගතු අවියගෙන මහාදේවියගේ අතක රැඳවූවේය. ඒ සමඟම විෂ්ණු සිය සුදර්ශන චක්‍රයද, බ්‍රහ්ම ඔහුගේ කකමන්දාලම් ශුද්ධ වූ දියබඳුනද දුර්ගා අත රැඳවූහ.   


දෙවගන වෙත ආ ඉන්ද්‍ර සිය වජ්‍රායුධය පිරිනැමීමත් සමගම සියලු දෙවිවරු පැමිණ තම තමන් සතු අායුධ සියල්ලම දුර්ගා ගේ අත්වල තැබූහ. කඳු දෙවියා ගෙන ආවේ ඔහුගේ නපුරු සිංහයාය.   


අත් දහස විවිධ අායුධ වලින් පුරවාගත් දුර්ගා. නපුරු සිංහයාගේ පිටමත වාඩිවූවාය. ඉනික්බිති මැජික් කඹයක් ගත් ඇය තුන් ලොව එක්කර තදින් ගැට ගැසුවාය. ඒ මොහොතේ මුහුදු රළ මහා ඉහළට නැඟුණු අතර පොළොව දෙදරුම් කෑවේය. අහසද ගිගුම් දුන්නේය.   


ඒ මොහොතේ මහීෂසූරට අාශ්වාස ප්‍රශ්වාස කිරීම අමතක විය. සිය මැදුරෙන් එළියට විසිවුණු ඔහු බිම ඇද වැටිණි. සිදුවූයේ කුමක්දැයි සිතාගනු නොහැකිව අන්දමන්ද වූ ඔහු තදින් අැසිපිය සැලුවේය.   


බිම ඇද වැටීමෙන් පශ්චාත් භාගය බිම වැදී රිදුම් දෙනු ඔහුට දැනිණි.   


ඒ සමගම ඔහු දුටුවේ උමතු සිංහයකු පිට නැගී එන කිසියම් තැනැත්තෙකි. වඩාත් වුවමනාවෙන් ඒ දෙස බලනවිට ඒ රූමත් කාන්තාවක බව මහීෂසූර හදුනාගත්තේය.   


“දෙවගනක්.”   


මහීෂසූර තමන්ටම කියාගත්තේය.   


එකත් එකටම ඇය මේ එන්නේ මා සමඟ සටනකට.”   


වහාම තම අසුර හමුද‌ාව සටනට කැඳවූ මහීෂසූරගේ සිරුර දහදියෙන් තෙමී තිබිණි.   


“අර දෙවඟන සමඟ සටනට සූදානම් වන්න”   


මහිෂසූර තම හමුදාවට අණ කළේය.   


මහීෂසූර ඉදිරියට පැමිණි දුර්ගා නතර වී වටපිට බැලුවාය.   


“උඹ කැමතිද කාන්තාවක් අතින් මැරුම් කන්න”   


දුර්ගා ඇසුවේ වේගවත් ස්වරයෙනි.   


මහීෂසූරගේ සිරුර වෙව්ලන්නට විය. මේ තරම් බයක් මින් පෙර කිසිදවසක තමන්ට නොදැනුණු බව ඔහුට හැඟිණි. පසුපස හැරුණු ඔහු තම සෙබළුන් දෙස බැලුවේය.   


මොකද උඹලා ගල් ගැහිලා ඉන්නෙ. උඹලගෙ රස්සාව මාව ආරක්ෂා කරන එක. මේ ගැහැනියගෙන් මාව රැකගනිව්”   


මහීෂසූර කෑ ගසා කීවේය.   


එහෙත් මහිෂසූරගේ හමුද‌ාවට ​ෙම් දෙවඟනට එරෙහිව සටන් කිරීමට අවි ඔසොවා ගැනීම උගහට විය. ඔවුහු නෙත් විසල් කර ගෙන ඇය දෙස බලා සිටියහ. එහෙත් මහීෂසූරගේ විධානයත් සමගම ඔවුහු කලබල වූහ. තම පාලකයාගේ විධානයට අවනත විය යුතු බැවින් අසුරයෝ, දේවිය සමඟ සටනට සූදානම් වූහ.   


දේවිය වෙත එල්ල කළ සියලු ආයුධ මොහොතකින් විනාශ කර දමන්නට දුර්ගා සමත් වූවාය. ඊළඟ මොහොතේ කසයක් ගත් ඇය එයින් අසුර හමුද‌ාවට පහර දුන්නාය. අසුර හමුද‌ාවෙන් අඩකට වඩා පිරිසක් බිම ඇද වැටුණාහ ඇත්ත වශයෙන්ම දුර්ගා වූ කලී සටන් මැෂිමක් වැනිවිය. ඇගේ ප්‍රහාර වලින් අසුර හමුද‌ාවම මැරී වැටිණි   


තම බලගතු හමුද‌ාවට සිදුවුණු විනාශය දුටු මහිෂසූර බයෙන් වෙවුලන්නට පටන් ගත්තේය. දැන් තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් සටන් වදින්නේ කවුද?  


ඔහු වහාම තම පෞද්ගලික ආරක්ෂක හමුද‌ාවට කතා කළේය. මහීෂසූරගේ ආරක්ෂාව වෙනුවෙන්ම කැපවුණ මේ පෞද්ගලික හමුද‌ාව සමස්ත අසුර හමුද‌ාවටම වඩා දක්ෂය බල සම්පන්නය. ඔවුන් සතු අයුධ මෙලොව අන් කිසි සෙබළෙකු ළඟද නොමැත. එබැවින් ඔවුන් හමුවේ මේ ගැහැනිය පරදිනු ඇතැයි මහීෂසූර විශ්වාස කළේය   


“ඔබ අනෙක් සියලු අසුරයන්ට වඩා නිර්භීතයි. ඔබ ඉදිරියේ සිටින්නේ කාන්තාවක්. කළ යුත්තේ කුමක්දැයි ඔබට සිතාගත හැකියි නේද?”  


මහීෂසූර තම සෙබළුන්ගෙන් විමසුවේය.  


සෙබළු වහාම මහීෂසූර වටකරගෙන ඔහුට ආරක්ෂාව සැපයූහ.  


දුර්ගා උපහාසයෙන් සිනා නැගුවාය.   


ඊළඟ මොහොතේ ඇය සෙබළුන් වෙත ඊතල වරුෂාවක් මුද‌ාහැරියාය. ඒ ඊතල වැදී මහිෂසූරගේ එඩිතර සෙබළුද මැරී වැටුණාහ.  


සිදුවන්නේ කුමක්දැයි සිතාගැනීමට මහීෂසූර අපොහොසත් විය. තම සෙබළුන් අවි ඔසොවන්නටත් කලින් දුර්ගාගේ පැත්තෙන් ඊතල මුද‌ාහැරිණි. දැන් සියලු අසුරයන් සිටින්නේ මළවුන් අතරය   


මෙතෙක් සිදු වූ සටන් වලින් තමන් අසාර්ථකය ඉතින් කළ යුත්තේ එකම එක දෙයකි. ඒ දුර්ගා හා සටනට තමන්ම පිවිසීමය. අග්නිගෙන් හා බ්‍රහ්මගෙන් ලැබුණ වරය අනුව තමන් මරා දමන්නට කිසිවෙකුටත් නොහැකි බව විශ්වාස කළ බැවින් මහීෂසූර මරණයට බයවූයේ නැත. ඔහු තීරණය කළේ තම සැබෑ වේශයෙන් සටන් කරනවාට වඩා මීහරක් වේශයෙන් සටන් කිරීම සුදුසු බවය.  


එබැවින් මීහරක් වේශය මවාගත් මහීෂසූර, සිංහයා වෙත දිවගියේ වියරු වේගයකිනි. තම අං සඟලෙන් සිංහයාට පහර දුන් විගස සිංහයා මීහරකාගේ සිරුර මතට පනින්නට කුරුමානම් ඇල්ලුවේය.  


“සිංහයා සමඟ සටන් කරන්න සුදුසු ඇත් වේශයක්”  


තමන්ටම කියාගත් මහීෂසූර වහා තම වේශය වෙනස්කර ගත්තේය. දැන් සිංහයාට පිට මතට පනින්නට නුපුළුවන. කලින් වතාවේ තිබුණේ අං දෙකකි. එහෙත් දැන් තියුණු සවිමත් දළ දෙකක් තිබේ. එබැවින් මහීෂසූර තම දෙදළින් සිංහයාට පහර දෙන්නට සැරසුණේය. එහෙත් සිංහයා ඉවතට පැන්නේය.  


දුර්ගාට කලින් සිංහයා පැරදවිය යුතු බව සිතු මහීෂසූර ඊළඟ මොහොතේ සිංහ වේශයක් මවාගත්තේය. දැන් සටන පහසුය. සිංහ සටනක් වන බැවිනි.  


එහෙත් දුර්ගාගේ සිංහයාට තුවාලයක් සිදු කිරීමට මහීෂට නොහැකිවිය. ඒ වෙනුවට ඔහුගේ සිරුර පුරා තුවාල තිබිණි. ඒ තුවාලවලින් ලේ ගලනුද පෙනිණි.  


“මේ විදිහ හරියන්නෙ නෑ මම මගේ සැබෑ වේශයෙන්ම දුර්ගා හා සටන් කරනවා” මහීෂසූර අවසානයේදී තීරණය කළේය.  


තම සැබෑ වෙසින් දුර්ගා වෙත ගිය ඔහු ඇය සමඟ සටන් වැදිය යුත්තේ කොයි ලෙසින්දැයි කල්පනා කළේය.   


අසිපතක් ඇදගත් දුර්ගා ​ඉන් මහීෂසුරගේ ගෙල සිඳ දැමුවේ ඒ මොහොතේය.  


අසුරයන් මෙන්ම අසුර පාලක මහීෂසූරද මරාදැමීමෙන් සතුටට පත් වූ දෙවිවරු දුර්ගාවෙත දිව ආවේ ජයඝෝෂා නංවමිනි. දුර්ගා පාමුල දණින් වැටුණ ඔවුහු ඇගේ දෙපා වැන්දහ.  


“ඔබ අපව රැකගත්තා. අද පටන් ඔබ අපේ මව් දෙවගන අද අපව රැකගත් ලෙසින්ම සඳහටම අපේ ආරක්ෂාව විය යුත්තේ ඔබයි මෑණියනි.” දෙවිවරු එක් හඬින් කීහ.   


තම අත් දහසම එක්වර එස වූ දේව මාතාව සියලු දේව දරුවන්ට ආශිර්වාද කළාය.  


එදින පටන් දුර්ගා දේවියට මහීෂ සුරමාදිනී යන අපර නාමයක්ද පට බැඳිණි.  

 

 


ශාන්ත කුමාර විතාන



අදහස් (0)

අසුර රජ හා සටනින් දුර්ගා දෙවඟනට ජය

ඔබේ අදහස් එවන්න

 

සඳැල්ල

“මේ ලෝකයේ සිටින හොඳම අම්මා ඇයයි”
2025 මාර්තු මස 11 54 0

ඉහතින් සඳහන් කළ ඒ ගීත, ඇය ගැයූ අර්ථාන්විත මෙන්ම රසාලිප්ත ගීත ගොනුවේ ඇති ගීත අතරින් කිහිපයක් පමණකි.


කලාවෙන් ඉදිරියට යන්නනම් නිවැරදි හැදෑරීමක් කළ යුතුයි
2025 මාර්තු මස 11 33 0

කලාවේ රූස්ස ගස් සෙවණේ වැඩෙමින් තම කලා ජීවිතය ගොඩ නඟා ගත් ඔහු අද තවත් පරම්පරාවකට එම දායාදයන් රැගෙන යමින් සිටියි.


තිරයේ රිචඩ්ව දකිද්දී මාව ගල් ගැහුණා - රෙහාන් අමරතුංග
2025 මාර්තු මස 06 117 0

ශ්‍රී ලංකාවේ සිටි දක්ෂ කලාකරුවෙකු නිවේදකයෙකු, දක්ෂ මාධ්‍යවේදියෙකු සහ මානව හිමිකම් ක්‍රියාධරයෙකු වූ ’’රිචඩ් ද සොයිසා ’’ 1990 පෙබරවාරි 15 සමුගන්නේ ලොකු හ


ධවල පුෂ්පයේ නපුරු මේට්‍රන් - මැණිකේ අත්තනායක
2025 මාර්තු මස 06 130 0

“මම රඟපෑව කිසිම චරිතයක් මට අමතක වෙන්නෙ නෑ.. ඒත් ධවල පුෂ්පයේ මේට්‍රන් චරිතය මට විශේෂයි...”


මගේ නමේ අරුතට අනුව වැඩ කරන්න මම කැමතියි - අභිලාෂි සන්තුෂ්කි
2025 මාර්තු මස 06 105 0

මේ දිනවල සාමාන්‍ය විදිහට මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. ඒ අතරේ පසුගිය දිනවල ෆිල්ම් දෙකක රංඟනයෙන් දායක වුණා.


පුවත්පත් කලාවෙන් රංගනයට ආ - තිස්ස ගුණතිලක
2025 පෙබරවාරි මස 26 65 0

පත්තර කලාවෙන් තම වෘත්තිය ජීවිතය ආරම්භ කළද, ඉන් අනතුරුව රංගන ශිල්පියෙක් ලෙසත්, සහය අධ්‍යක්ෂකවරයෙක් ලෙසත් කලා ලොව සමඟ සම්බන්ධ වෙන ඔහු නමින් තිස්ස ගුණතිල


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 353 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 817 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 306 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site