න්‍යෂ්ටික බලය සහ න්‍යෂ්ටික අවි සොයා ගැනුණේ විසිවැනි සියවසේදී බවට බොහෝ දෙනා විශ්වාස කරති. එහෙත් ඒවා බොහෝ ඈත අතීත කාලයක නිර්මාණය වූ බවට විශ්වාස කරන පිරිසක් ද සිටිති. ඔවුහු එය සනාථ කිරීම සඳහා ඇතැම් සාධක ද ඉදිරිපත් කරති. මොහෙන්ජොදාරෝ හරප්පා ශිෂ්ටාචාරය පැවැති පුරාණ නගර අනාවරණ කර ගැනුණේ 1920දී පමණ වර්තමාන පාකිස්තානය ලෙසින් සැලකෙන භූමි ප්‍රදේශයෙනි. ඉන්දු නිම්නයේ පැවැති මහා නගර පිළිබඳව පුරාණ ලේඛන හා පාඨ ග්‍රන්ථයන්හි සඳහන්ව තිබූ ඇතැම් කරුණු මෙම අනාවරණ මගින් තහවුරු වී තිබේ. ඉන්දු ශිෂ්ටාචාරය මෙන්ම ඊජිප්තු හා මෙසපොතේමියානු ශිෂ්ටාචාරය ද අභිරහස් ලෙස වැනසී ගියේය.


මෙම ශිෂ්ටාචාරවලට අයත් නගර මනාව සැලසුම් කර තිබූ අතර නූතන පහසුකම්වලින් සපිරුණු බැව් පැවැසේ. එහි නිවෙස්වල ගඩොල්වලින් ඉදිකෙරුණු නාන තටාක සහ වැසිකිළි දැකිය හැකි වූ අතර පල්දොරු ක්‍රම සහ ජලාපවහන ක්‍රම ද නවීනත්වයට නෑකම් කියන බැව් පුරාවිද්‍යාඥයෝ පවසති. එකල ඉතා දියුණු පොදු පානීය ජල පද්ධතියක් ද පැවැති බැව් පැවැසේ.


මොහෙන්ජොදාරෝ සහ හරප්පා ශිෂ්ටාචාරය පිළිබඳ අනාවරණයෙන් හෙළිදරව් වූ වැදගත්ම සාධකයක් වූයේ එක්තරා වීදියක විසිරී තිබූ 44ක් වූ මිනිස් ඇටසැකිලි සමූහයයි. ඒවා නිරීක්ෂණය කිරීමේදී හෙළිවූයේ ඔවුන් සියලු දෙනා කිසියම් සාහසික හා වේදනා සහගත ඉරණමකට ගොදුරුව එක්වරම මරණයට පත්ව ඇති බවකි.


බි්‍රතාන්‍ය පර්යේෂකයකු හා ලේඛකයකු වන ඬේවිඞ් ඩෙවන්පෝට් දසක දෙකකට අධික කාලයක් මොහෙන්ජොදාරෝවෙන් හමු වූ මෙම ඇටසැකිලි සම්බන්ධයෙන් පර්යේෂණවල නිරත විය. ඒ ඇසුරින් ඔහු ග්‍රන්ථයක් ද රචනා කර තිබූ අතර එය නම් කර තිබුණේ “ක්‍රි. පූර්ව 2000 සිදුවූ න්‍යෂ්ටික විනාශය” නමිනි. ඔහු එම කෘතිය තුළින් අපූරු මතයක් ඉදිරිපත් කර තිබිණි. එම විනාශය සිදු වී ඇත්තේ න්‍යෂ්ටික පිපිරීමකට සමාන සිදුවීමකින් බවට ඔහු මතයක් ගොඩනඟයි.


මහාභාරතයේ සඳහන් පාඨ ඇසුරින් තම මතය තහවුරු කිරීමට උත්සාහ කරන ඔහු, මෙම නගර මහා භාරතයේ ද්‍රෝන පාර්ව කොටසේ සඳහන් වන පරිදි ‘අග්නේය’ නම් අවියකින් සිදුවන්නට ඇතැයි විශ්වාසය පළ කරයි. ඒ සඳහා ඔහු පහත සඳහන් පාඨ ඉදිරිපත් කරයි.


“සූර්යයා මෙන් දහස් ගුණයකටත් වඩා දීප්තිමත් දුමාරයක් අනන්තය තෙක් විහිද ගිය අතර නගරය දුහුවිලි ගොඩක් බවට පත්ව තිබිණි. ජලය පැසෙන්නට වූ අතර අශ්වයන් හා යුද රථ දහස් ගණනක් දැවෙන්නට විය. මියගිය සිරුරු අධික උෂ්ණත්වය හේතුවෙන් කැබලිවලට කැඩී ගොස් තිබූ අතර ඒවා මිනිස් සිරුරු බවට හඳුනා ගැනීමට ද නොහැකි විය.” (මහාභාරත කෘතිය)
මෙම විනාශය සිදු කර ඇත්තේ කිසියම් ඝන ද්‍රව්‍යයක් යොදා ගනිමින් බැව් පෙන්වා දෙන ඩෙවන්පෝට් එම ද්‍රව්‍ය සෙල්සියස් අංශක 1500කට අධික උෂ්ණත්වයක පැවැති බවටත් ඒවා ක්ෂණයකින් සිසිල් වීමකට ලක් වී ඇති බවටත් නිගමනය කරයි. ස්ඵටිකකරණය හා උෂ්ණත්වය අනුව පිපිරුමේ අපකේන්ද්‍රය පිළිබඳව සාධක සොයාගත හැකි බැව් පෙන්වා දෙන ඔහු ඒ අනුව මෙය න්‍යෂ්ටික පිපිරුමකින් සිදු වූ බවට නිගමනය කරයි. ඩෙවන්පෝට්ට අනුව පර්යේෂණයට බඳුන් කළ ඇටසැකිල්ලක අධික විකිරණශීලීත්වයක් පැවැති අතර එය දෙවැනි ලෝක යුද සමයේ ජපානයේ නාගසාකි නගරයට හෙළන ලද පරමාණු බෝම්බයට සමාන බැව් ඔහු පවසයි. මොහෙන්ජොදාරෝ විනාශය ස්වාභාවික සිදුවීමකින් නොවන්නේ යැයි ඩෙවන්පෝට්ගේ මතයට සහාය පළකරන ඉතාලියානු අභ්‍යවකාශ ඉංජිනේරුවකු වන මහාචාර්ය අන්තෝනියෝ කැස්ටලානි ද සඳහන් කර තිබේ.


පුරාණ ග්‍රන්ථවලට අනුව කරන ලද හැදෑරීම් මත මොහෙන්ජොදාරෝ ආර්යයන් හා මොන්ගෝලියානුවන් අතර පැවැති යුද්ධයකින් විනාශ වන්නට ඇතැයි ඩෙවන්පෝට් අනුමාන කරයි. පිටසක්වළ ජීවීන් ඛනිජ සහ වෙනත් ස්වාභාවික සම්පත් කැනීමට යොදාගත් ප්‍රදේශ ආර්යයන් විසින් පාලනය කර තිබිණි. මොහෙන්ජොදාරෝ මොන්ගෝලියානුවන්ට අයත් නගරයක් වූ අතර ආර්යයන්ට සහාය පළ කිරීම සඳහා එය විනාශ කිරීමට පිටසක්වළ ජීවීන් ක්‍රියාකරන්නට ඇතැයි ඩෙවන්පෝට් අනුමාන කරයි. පාඨ ග්‍රන්ථවලට අනුව නගරයේ වාසය කළ 30,000ක ජනයාට දින හතක් තුළ නගරයෙන් පිටවන ලෙසට දැනුම් දී තිබේ. බොහෝ පිරිස් ප්‍රදේශය හැරගොස් තිබූ අතර පිරිසක් නගරය හැර නොගොස් එහිම රැඳී සිට ඇත. මිනිස් ඇටසැකිලි 44ක් හමුවූයේ එම නගරය අනාවරණ කරගෙන වසර කිහිපයකට පසු එනම් 1927දීය. සියලු ඇටසැකිලි පොළොවට පැතලි වන සේ තැන්පත්ව තිබිණි. ඒ අතර එක ළඟ තිබූ පියා මව සහ දරුවකුගේ ඇටසැකිලි ද හමුවිය. ඔවුන්ගේ මුහුණු පොළොව දෙසට හැරී තිබූ අතර එකිනෙකා අතිනත අල්ලාගෙන සිටින අයුරු දිස්විය.


ඩෙවන්පෝට් ඉදිරිපත් කරන මතය සත්‍යයක් නම් පුරාණ ශිෂ්ටාචාර කෙතරම් දියුණු මට්ටමක පැවතියේ ද යන පැනය මතුවෙයි. මෙම විනාශය ස්වාභාවික සිදුවීමක් මත සිදු නොවූයේ නම්, එවක මෙවැනි අවියක්  තිබුණේ නම්, එවැනි අවියක් නිර්මාණය කළෝ කවරහු ද? කුමක් සඳහා ද? ඔවුනට එම තාක්ෂණය ලැබුණේ කෙසේ ද? යන කරුණුවලට පිළිතුරු සෙවීමට සිදුවනු ඇත.
මේ හා සමාන සිදුවීමක් පිළිබඳව බයිබලයේ ද සඳහන්ය. සොදොම් සහ ගොමෝරා නමැති නගර එහි වැසියන්ගේ ලිංගික දුරාචාරය හේතුවෙන් දෙවියන් වහන්සේ විසින් විනාශ කිරීම එම පුවතය.

 


උත්පත්ති කථාවේ සඳහන් වන පරිදි එම නගර වැසියෝ අධික ලෙස දුරාචාරයට හා සමලිංගික සේවනයට යොමු වී සිටි පිරිසක් වූහ. දිනක් දේවදූතයෝ දෙදෙනෙක් සොදොම් නගරයට පැමිණ ලොත් නම් පුද්ගලයකු හමු වූහ. ලොත් ඔවුන් දෙදෙනා තම නිවෙසට කැඳවාගෙන ගොස් ආහාර පාන ලබා දී රාත්‍රිය ගත කිරීමට ඉඩ සලසා දුනි. ඔවුන් නින්දට යෑමට පෙර සොදොම් නගරයේ සියලු පුරුෂයෝ එම නිවෙස වටකොට නිවෙසට පැමිණි අමුත්තන් සමඟ සමලිංගික සේවනයේ යෙදීමට අවශ්‍ය බැව් ලොත්ට පැවැසූහ. අවශ්‍ය නම් කන්‍යාවන් වන තම දියණියන් සමඟ ලිංගිකව එක්වන  ලෙසත්, තම නිවෙසේ සිටින අමුත්තන්ට හිරිහැර නොකරන ලෙසත් ලොත් ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය. එහෙත් අමුත්තන් ඉල්ලා පිරිස බල කිරීමට පටන් ගත් අතර ලොත්ගේ නිවෙස කඩා හෝ තම අරමුණ ඉටු කර ගැනීමට ඔවුහු උත්සාහ කළහ. එහිදී දේවදූතයෝ ලොත් නිවෙස තුළට ඇදගෙන එළිමහනේ සිටි සියලු පුද්ගලයන්ගේ දෙනෙත් අන්ධ කළහ. ලොත් සහ ඔහුගේ පවුලට සොදොම් නගරයෙන් පිටවී යන ලෙසත් දෙවියන් වහන්සේ එම නගරය විනාශ කරන බවත් දේවදූතයෝ ලොත්ට පැවැසූහ. දෙවියන් වහන්සේ සල්ෆර් වර්ෂාවක් සොදොම් සහ ගොමෝරා නගරවලට පතිත කර එම නගරවල ජීවී අජීවී සියල්ල විනාශ කර දැමීය.

 


බයිබලයේ සඳහන් වන මෙම සිදුවීම න්‍යෂ්ටික ප්‍රහාරයකින් සිදුවූවක් ද? එම නගර විනාශ කිරීමට හේතු වූයේ සමලිංගික සේවනය හා වෙනත් දුරාචාර ද? දේවදූතයන් දෙදෙනා සොදොම්හි ජනයාගේ දෙනෙත් අන්ධ කිරීම සඳහා යොදා ගත් උපාංගය නූතන තාක්ෂණික උපකරණයක් ද? මොහෙන්ජොදාරෝ විනාශය සම්බන්ධයෙන් ඩෙවන්පෝට්ගේ මතයේ කිසියම් සත්‍යයක් තිබේ නම් ඒ හා සමාන සත්‍යයක් බයිබලයේ සඳහන් සොදොම් ගොමෝරා සම්බන්ධයෙන් ද තිබිය හැකිය.


මෙහිදී පරමාණු බෝම්බයේ පියා වශයෙන් සැලකෙන ඔපන්හයිමර්ගේ ප්‍රකාශයක් පිළිබඳව අපගේ අවධානය යොමු විය යුතුය. පුරාතන හින්දු සහ වේද පාඨ පිළිබඳ අධ්‍යයනයක යෙදුණු පුද්ගලයකු වූ ඔහුගෙන් පළමු න්‍යෂ්ටික බෝම්බය පුපුරා ගිය අවස්ථාවේ එය පළමු න්‍යෂ්ටික බෝම්බය දැයි විමසූ කල්හි ඔහුගේ පිළිතුර වූයේ “ඔව් එය නූතන යුගයේ පළමු න්‍යෂ්ටික බෝම්බය” යනුවෙනි.


අන්තර්ජාලය ඇසුරිනි


ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා