පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් ගිනියම් වූ මෙරට දේශපාලන පොරපිටිය මේ වනතුරුත් සිසිල් වී නැත. තවත් මාස 18කින් පමණ පැවැත්විමට නියමිත ජනාධිපතිවරණයටද පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය බලපෑම් කරන ආකාරයක් මේ වනවිට පෙන්නුම් කරමින් තිබේ.   


වර්තමානයේදී ආණ්ඩු කරනු ලබන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම එක්සත් ජාතික පක්ෂය ද ඉදිරි ජනාධිපතිවරණයට සුදුසු අපේක්ෂකයන් සොයා දැනටමත් දිගුදුර මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ. ඒ නිසාවෙන් එම දේශපාලන පක්ෂ අභ්‍යන්තරයේ යම් යම් අර්බුද මතුව තිබේ.   


 අනපේක්ෂිත ආකාරයෙන් පොහොට්ටුව ලැබූ ජයග්‍රහණයෙන් ශ්‍රීලනිපයත්, එජාපයත් තවමත් සිටින්නේ තුෂ්ණිම්භූතවය. රට වෙනුවෙන් වූ දේශපලන න්‍යාය පත්‍රය පසෙකලා ඔවුනොවුන් මේ මොහොතේදී තම තමන්ගේ න්‍යාය පත්‍ර අනුව කටයුතු කරති.   


 වත්මන් රජයේ ප්‍රායෝගික දේශපාලනික නොහැකියාව පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් මනාව පෙන්නුම් කළේය. මේ මොහොතේදීත් රට තුළ ඇතිවී තිබෙන බොහෝ ප්‍රශ්නවලට විසඳුම් දීමට වත්මන් රජයට හැකියවක් නැති තත්ත්වයක් පෙන්නුම් කරමින් තිබේ.   


රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සිදුකරමින් යහපාලනය ස්ථාපිත කිරීමට බලයට පැමිණි වත්මන් රජයේ ජනප්‍රියතාව සීග්‍රයෙන් පල්ලම් බසිමින් තිබේ.   


මෙම තත්ත්වය තුළ ඉදිරි පළාත් පාලන මැතිවරණයට මුහුණදීම සම්බන්ධයෙන් හා ජාතික රජයේ අනාගතය සම්බන්ධයෙන්  ශ්‍රීලනිපය හා එජාපය දැඩි අවදානමකට මුහුණ දී සිටී.   


මින් වැඩිම අවදානමකට මුහුණ දී සිටින්නේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. මේ මොහොතේදි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයෙන් මෙන්ම බිම් මට්ටමේ ශ්‍රීලනිප පාක්ෂිකයන්ගෙන්ද ජනාපතිවරයා ප්‍රමුඛ පාර්ශ්වයට එල්ලවන පීඩනය දැඩිය.   


 බො​ෙහා්විට මෙම වසර අවසන් වනවිට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නියමිතය. ඊට අමතරව ආණ්ඩු වෙනසක් සඳහා ජාතික මැතිවරණයක් ඉල්ලා සටනට පිවිසීමට පොදු විපක්ෂය සූදානම් වේ. ඒ කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය සැලකිල්ලට ගැනීමේදී ඉදිරි මැතිවරණවලදී ශ්‍රීලනිපයට හා එජාපයට අත්වන ඉරණම පැහැදිලිය. 

 
 ඒ අවාසනාවන්ත ඉරණම වෙනස්කර ගැනීමට නම් ශ්‍රීලනිපය මෙන්ම එජාපයට ජනතාව අතර ජනප්‍රිය නායකයන් සොයාගත යුතුය. එසේ නොවන්නේ නම් දෙපාර්ශ්වයේම ඡන්ද පදනම තව තවත් නායයනු ඇත.   
 පළාත් පාලන මැතිවරණයට පොදුජන පෙරමුණ මෙහෙය වූයේ හිටපු ජනාධිපතිවරයායි නමුදු ඉදිරි ජනාධිපතිවරණයට පොදුජන පෙරමුණෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා ඉදිරිපත් වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.   


මහින්ද රාජපක්ෂ ජනපතිධුරය දැරූ සමයේදී හිටපු ආරක්ෂක ලේකම්වරයා පරිපාලන කටයුතුවලට අමතරව තිරය පිටුපස නොනිලව දේශපාලනය කළ බව නොරහසකි. එබැවින් ඔහුට දේශපාලනය අමුතු අත්දැකීමක් නොවනු ඇත.   


 2015 අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුවේ සම්මත වූ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව දෙවරක් ජනාධිපති ධුරය දැරූ මහින්ද රාජපක්ෂ නැවත ජනපති ධුරයට පත්වීම වළක්වා තිබේ. ඒ අනුව මහින්ද රාජපක්ෂ හැරුණ විට රාජපක්ෂ කඳවුරෙන් පොදු සමාජයට වැඩිම බලපෑමක් කළ හැකි තැනැත්තා ගෝඨාභය රාජපක්ෂය. එබැවින් රාජපක්ෂ හිතවාදීන් මෙන්ම ජාතික ආණ්ඩුවට අකමැති ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් එක්ව බිහිකළ පොදුජන පෙරමුණෙන් ඉදිරි ජනපති අපේක්ෂකත්වයට ගෝඨාභය රාජපක්ෂ පත්වනු ඇතැයි උපකල්පනය කළ හැකිය.   


 ඒ සඳහා වන වැඩපිළිවෙළක් දැනටමත් සකස්ව තිබේ. දේශපාලන පක්ෂ නියෝජතයන්, සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්, වෘත්තීයවේදින් මෙන්ම ප්‍රබල භික්ෂුන් වහන්සේලා කිහිප නමක් ද ඒ වැඩපිළිවෙළ සම්පූර්ණ කරමින් සිටී.   


ගෝඨාභය ජනපති කරමු මැයෙන් වූ පෝස්ටරයක් ද පසුගිය ජනවාරි මාසයේදී කොළඹ නගරයේ ප්‍රදර්ශනය වුණි. එමෙන්ම ‘වියත්මග’ වැනි සංවිධානද බිහිවී තිබේ.   


මීළඟ ජනාධිපතිවරණයට පොදු විපක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වනු ඇතැයි මීට මාස තුනකට පෙර පුද්ගලික ගුවන්විදුලි නාළිකාවක දේශපාලන වැඩසටහනකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉඟි පළ කළේය.  


2020 ජනපතිවරණ සටනට එක්සත් ජාතික පක්ෂයෙන් වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන බවත් ඔහු හා තරගයට අනෙක් පාර්ශ්වයෙන් හොඳම සුදුස්සා බවට හිටපු ආරක්ෂක ලේකම්වරයා යැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.  


විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් ද දැනටමත් ගෝඨාභය රාජපක්ෂට ප්‍රසිද්ධියේම සහාය පළ කරයි.  


 වත්මන් රජයද තම ප්‍රබලතම ප්‍රතිවාදියා ලෙස ගෝඨාභය රාජපක්ෂ හඳුනාගෙන ඇත. සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද ඒ බව නොයෙක් වර ප්‍රකාශ කර තිබේ.  


 පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයට ඇහුම්කන් නොදී තවදුරටත් දේශපාලනය කරන්නේ නම් ශ්‍රීලනිපය බෙදී යෑම වැළැක්විය නොහැකිවනු ඇත. තමන් නැවතත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවන බව පොදු අපේක්ෂකයා ලෙස ජනපති සටනට පිවිසෙමින් මෛත්‍රිපාල සිරිසේන මහතා ශපථ කළේය.  


 දේශපාලනයේදී පුද්ගල තීරණ පිළිබඳව කල් තියා අනාවැකි කිව නොහැකි වුවත් වත්මන් ජනාධිපතිවරයා තම ‘වචනය’ ඒ ආකාරයෙන්ම සුරකින්නේ නම් ශ්‍රීලනිපය තවත් අර්බුදයට පත්වනු ඇත. එසේ වුවහොත් ශ්‍රීලනිපයට නව අපේක්ෂකයකු සොයා ගැනීමට සිදුවනු ඇත. පක්ෂය තුළ මේ මොහොත වනවිට ජනතා ආකර්ශනය දිනාගත හැකි නායකයකු පෙනෙන තෙක් මානයක නැත.  


 2010 දී හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට හා 2015 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා වූ මෛත්‍රිපාල සිරිසේන වෙනුවෙන් ජනාධිපතිවරණයේ සහාය පළ කළ ජනතා විමුක්ති පෙරමුණද 2020 දී පොදු අපේක්ෂකයාට සහාය පළ කරනු ඇතැයි සිතිය නොහැකිය. එක්සත් ජාතික පක්ෂයටද මේ වනවිට ‘පොදු අපේක්ෂකයා’ යන වචනය ද තිත්ත වී තිබේ. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමට එක් වූ කණ්ඩායම නැවතත් එකට එක්​ නොවන තත්ත්වයක් පෙන්නුම් කරමින් ති​ෙබ්.  


 එබැවින් 1999 වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් පසුව පැවැති කිසිම ජනාධිපතිවරණයකට තරග නොකළ ජනතා විමුක්ති පෙරමුණ හා 2005 වසරේ පැවැති ජනාධිපතිවරණයෙන් පසුව පැවැති ජනාධිපතිවරණ දෙකටම පොදු අපේක්ෂකයන් ඉදිරිපත් කළ එක්සත් ජාතික පක්ෂයත් නියත වශයෙන්ම 2020 ජනාධිපතිවරණයට තරග කරනු ඇත. කී වචනය එලෙසින්ම සුරකිමින් මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට නැවත ඉදිරිපත් නොවන්නේ නම් ශ්‍රීලනිපයට ජනපතිවරණ අපේක්ෂකයකු ආනයනය කිරීමට සිදුවනු ඇත.  


 මේ මොහෙතේදී ශ්‍රීලනිපයට සිටින හොඳම ජනාධිපතිවරණ අපේක්ෂකයා ගෝඨාභය මිස අනෙකකු නොවේ.  


විශේෂයෙන්ම මෛත්‍රිපාල සිරිසේන මහතා ද ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් යම් පැහැදීමකින් සිටින බවක් දැනගන්නට ඇත. පොදු අපේක්ෂක ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ජය ගත්තද මෛත්‍රිපාල සිරිසේන මහතා මේ වනවිට ශ්‍රීලනිපයේ සභාපතිවරයා වේ.  


 කීර්තිමත් ඉතිහාසයකට උරුමකම් කියනා ශ්‍රීලනිපය විනාශ කළ නායකයා ලෙස ඉතිහාසයේ අපකීර්තිමත් ස්ථානයක් වෙන්කර ගැනීමට වත්මන් ජනාධිපතිවරයා සූදානම් වනු ඇතැයි සිතිය නොහැකිය.  


එබැවින් ජනාධිපතිවරයා මේ මොහොතේදී ශ්‍රීලනිපයේම අනෙක් පාර්ශ්වය වන රාජපක්ෂවරුන් සමග ගැටුමකට යනු ඇතැයි සිතිය නොහැකිය. ජනාධිපතිවරයාට අවශ්‍ය තම පක්ෂය ජයග්‍රහණය කරවීම මිස අන් යමක් නොවේ. ජනාධිපතිවරයාට මේ මොහොතේදී තරගය ඇත්තේ එක්සත් ජාතික පක්ෂය සමඟ මිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග නොවේ. එබැවින් ඉතාම තීරණාත්මක මොහොතකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එකතු වනු ඇතැයි විශ්වාස කළ හැක.  


එ් කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්්ෂ සම්බන්ධයෙන් සිංහල සමාජයේ මෙන්ම දෙමළ සමාජයේද යම් අපහැදිලි චිත්‍රයක්ද ඇත. එම අපැහැදිලිතාව අකාමකා ගැනීමේ වගකීම ඇත්තේද ඔහුටමය.  


ගෝඨාභය රාජපක්ෂ දේශපාලනයට පිවිසෙන්නේ නම් ඔහුට එරෙහි චෝදනා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට සමාජයට අවස්ථාව ලැබේ. එය ඉතාම වැදගත් අවස්ථාවකි.  


 විශේෂයෙන්ම ඇවන්ගාර්ඩ් සමාගමට බදු සහන ලබාදීම, මිග් 27 ප්‍රහාරක යානා 4 මිලදී ගැනීම යා යුක්රේනය සමග දූෂිත අවි ගනුදෙනුවක නියැළීම, ලංකා හොස්පිට්ල් ආයතනයේ කොටස් ඉන්දියානු සමාගමකට විකිණීම, වීරකැටිය ඩී.ඒ. රාජපක්ෂ සමරු කෞතුකාගාරය ඉදිකිරීම, සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ජලය ඉල්ලූ රතුපස්වල ජනතාවට හා හලාවත ධීවර ජනතාවට මෙන්ම කටුනායක ඇඟලුම් සේවකයන්ට වෙඩි තැබීම, පුද්ගලයන් අතුරුදන් කිරීම ආදී ඉතාම බරපතළ ගණයේ චෝදනා රාශියක් ගෝඨාභයට එරෙහිව එල්ල වී තිබේ. මෙම චෝදනා බොහෝමයක් මේ වනවිට අධිකරණයේ විභාග වෙමින් පවතී.  


 දේශපාලනයට පිවිසෙන්නේ නම් අනිවාර්යයෙන්ම මෙම චෝදනා සම්බන්ධයෙන් සමාජය නඟන ප්‍රශ්නවලට පිළිතුරු දීමට ගෝඨාභයට සිදුවනු ඇත. එය දේශපාලනිකව ඔහු මුහුණ දෙන විශාලතම අභියෝගය වනු නොවනුමානය.  


 ගෝ්‍ඨාභය රාජපක්ෂ මේ මොහොත වන විටත් ඇමෙරිකානු පුරවැසියෙකි. දේශපාලනයට පිවිසෙන්නේ නම් ඇමරිකානු පුරවැසි බව අත්හැර දැමීමට ඔහුට සිදුවනු ඇත. පරිසරය සූදානම් වූ සැණින්ම තම ඇමෙරිකානු පුරවැසි බව අත්හැරීමට ඔහු සූදානමින් සිටින බව ඔහුට සමීපතම ආරංචිමාර්ග සඳහන් කරයි.  


එමෙන්ම ශ්‍රීලනිපය තුළ හා ඉන් පිටත රාජපක්ෂ විරෝධීන්ගේ සිත දිනා ගැනීම හා ශ්‍රීලනිපයේ මෙන්ම පොහොට්ටුවේ ඡන්ද පදනමද ආරක්ෂා කරගැනීමේ අභියෝගයටද ගෝ්‍ඨාභය මුහුණ දෙනු ඇත. එයද එක්තරා අන්දමකට සැලකිය යුතු මට්ටමේ අභියෝගයකි.  


 ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේදී යුද ගැටුම් කළමනාකරණය සිදුකළ ආකාරය අනුව ජනපතිවරණයකදී ගෝඨාභය රාජපක්ෂ මහතාට උතුරු හා නැගෙනහිර පළාත්වල ඡන්ද නොලැබීමේ ප්‍රවණතාව වැඩිය. ද්‍රවිඩ සන්ධානය විසින් හමුවෙන උතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ හා මුස්ලිම් ඡන්ද ජාතික මැතිවරණයකදී ඉතාම තීරණාත්මකය. අවස්ථාවට ගැලපෙන අන්දමින් එම ඡන්ද පදනමේ වාසිය තමන් වෙතට හරවා ගැනීමේ අභියෝගයටද මුහුණ දීමට ඔහුට සිදුවේ.  


 දෙමළ ජනයාගේ සිතා දිනා ගැනීමට නම් ඒ වෙනුවෙන් බොහෝ වෙහෙස මහන්සි වීමටද හිටපු ආරක්ෂක ලේකම්වරයාට සිදුවේ. මන්ද යත් දෙමළ ඩයස්පෝරාවෙන් උතුරු නැගෙනහිර ජීවත් වන දෙමළ ජනයාට මෙන්ම ද්‍රවිඩ ජාතික සන්ධානයටද දැඩි බලපෑමක් එල්ලවන බව ප්‍රසිද්ධ රහසකි.  


 මෙම අභියෝග ජයගතහොත් ගෝඨාභය රාජපක්ෂ සාර්ථක වනු ඇත. අභියෝග ජය ගැනීමට මහ ​ලොකු කාලයක් නැත. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය අනුව වත්මන් ජනාධිපතිවරයා ස්වකීය ධුර කාලයෙන් වසර හතරක් සම්පූර්ණ කළ සැණින් අවශ්‍ය ඕනෑම මොහොතකදී ජනාධිපතිවරණයකට යෑමට හැකියාව ඇත.  


එබැවින් ලබන වසරේ ජනවාරි මාසයෙන් පසුව ජනාධිපතිවරණයක් කැඳවීමට තිබෙන ඉඩකඩ වැඩිය. පළාත් පාලන මැතිවරණ ජයත් සමඟම ඒකාබද්ධ විපක්ෂය දැනටමත් ජාතික මැතිවරණයක් ඉල්ලමින් සිටී.  


 ඒ අනුව තමන් වටා ගොඩනැගී ඇති අභියෝග කළමනාකරණය කරගැනීමේ වගකීම ගෝඨාභය රාජපක්ෂ සතු වගකීමකි.   

 

 

 

 

නාලක සංජීව දහනායක