IMG-LOGO

2025 ජනවාරි මස 17 වන සිකුරාදා


’මහින්දගේ ණය කන්ද පියවා අඳුර දුරලනවා’ - අගමැති

(අංජුල මහික වීරරත්න බද්දේගම සිට)

‘‘දහනව වැනි ශත වර්ෂයේදී ගාල්ලට අහිමි වූ අනාගතය, 21 වැනි ශත වර්ෂයේ දී ජාතික ආණ්ඩුව යටතේ නැවත දෙන බව” අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා බද්දේගම දී පැවසීය.

”ජනතාවට ක්ලාන්තය හැදෙන අන්දමේ ණය කන්ද ඉතිරිකර පැන ගිය රාජපක්ෂ යුගයේ අඳුර දුරලා සංවර්ධනයේ ආලෝකය ගාල්ල ඇතුළු සමස්ත රටටම දෙන යුගය වැඩි ඈතක නොවන්නේ යයිද” අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේ පැවසුයේ එක්සත් ජාතික පක්ෂ බද්දේගම කොට්ඨාස බලමණ්ඩල රැස්වීමේ ප‍්‍රධාන ආරාධිත ලෙස සහභාගී වෙමිනි.

එක්සත් ජාතික පක්ෂ බද්දේගම සංවිධායක බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා රැස්වීම සංවිධානය කර තිබිණ.

මෙහිදී පළාත් පාලන ආයතන සඳහා කාන්තා නියෝජනය 25%ක් දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් සහ ජාත්‍යන්තර ප‍්‍රසාදය ගනිමින් මාධ්‍ය නිදහස තහවුරු කර මෙතෙක් කළ සංවර්ධන කටයුතු සහ ජනාධිපතිට සහ අගමැතිට ස්තූතිය පුද කිරීමේ යෝජනා දෙකක් ද සම්මත කරගනු ලැබිණ.

රැස්වීමේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

‘‘කලකට පසුව බද්දේගම එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලය කැඳවූවා. ශාඛා සමිති විටින්විට පවත්වා පක්ෂයේ වැඩ කටයුතු විග‍්‍රහ කළ යුතුයි. එය බලමණ්ඩල නිලධාරීන්ගේ වගකීමයි.

බියගම මන්ත‍්‍රීවරයා ලෙස කටයුතු කරද්දී මා සෑම ශාඛා සමිතියක්ම වසරකට වරක් මුණ ගැසුණා. විටින්විට පැමිණ ශාඛා සමිති මුණ ගැසී අලූත් නිලධාරීන් හමුවී ජනතාවගේ ප‍්‍රශ්න හඳුනාගත යුතුයි. එමෙන්ම ජනතාවට ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ගැන පවසා දැනුම්වත් කිරීමත් ශාඛා සමිතිවල වගකීමයි.

බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතාට ප‍්‍රදේශය බාර දී ඉතා කෙටි කළක් ඇතුළත සංවිධානය ඇති කිරීම පිළිබඳව ස්තූතිය පළ කරනවා. එතුමා පාර්ලිමේන්තුවේ ඉතා දක්ෂ මන්ත‍්‍රීවරයෙකු බව කිව යුතුයි. පාර්ලිමේන්තුවේ  ඕනෑම කටයුත්තකට එතුමා ඉදිරිපත් වෙනවා. බය නැතුව කටයුතු කරනවා. එමෙන්ම මන්ත‍්‍රීවරයෙකු ලෙස පැය 24 ම ප‍්‍රදේශයට වැඩ කටයුතු කරනවා.

එතුමාගේ දක්ෂකම් හඳුනාගෙන මේ වගකීමද බාර දුන්නා. ශාඛා සමිති ඇතිකර ඉදිරි මැතිවරණයේදී යක්කලමුල්ල සහ බද්දේගම ප‍්‍රාදේශීය සභා දෙකම ජයග‍්‍රහණය කරවීමට හැකියාව ලැබේ යයි මා විශ්වාස කරනවා.

මා මෙහි පැමිණෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වී වසර දෙකක් ගත වූ පසුවයි. අප බාර ගත්තේ විශාල ප‍්‍රශ්න ගොඩ ගැසී ඇති රටයි.

2014 වසරේ දී රටේ ණය ප‍්‍රශ්නය විසඳීමට නොහැකිව ණය ගෙවීමට මුදල් නැතිව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජනතාව අතරමං කර පළා ගියා. ණය ගෙවන්න හැකිනම් ඔහු වේලාසනින් මැතිවරණයක් පවත්වන්නේ නැහැ. ජනතාව අතරමං කළ අවස්ථාවේ රට බාර ගැනීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කළා.

බලයගත් සැණින් සියලූ දේ කරන්න හැකියාව නැති බව දැන ගෙන හිටියා. මුළින්ම කළේ ණය ගෙවීමට පදනම සකසා ගැනීමයි.

ඉන් පසුව වසර 10ක් තිස්සේ අපේ පාක්ෂිකයන්ගේ ප‍්‍රශ්න විසඳීමට කාලය යොදවා නිවාස, රැකියා ප‍්‍රශ්න විසඳිය යුතුව තිබුණා. ඒ සැමටම පෙර බලය ගත යුතුයි. ඒ නිසා සියලූ දෙනා එක්වී මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සම්පූර්ණ සහයෝගය දුන්නා. අප එක්ව මේ වැඩ කටයුතු සාර්ථකව ඉටු කිරීම එහි අරමුණයි.

මෛත‍්‍රීපාල සිරිසේන මහතා යටතේ ආණ්ඩුව බිහි කර ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එකතු කර ගත්තා. පළමු වසර දෙක අතුළත ආර්ථිකයේ ස්ථාවර බව ඇති කළා. ණය ගෙවීමට නොහැකි වූ ලංකාව අසීරුවෙන් හෝ අද ණය ගෙවනවා.

තරුණ පරපුරට ණය ඉතිරි කරන්න මට අවශ්‍ය නැහැ. ණය ගෙවීමට පදනම දැමුවත් ගම අමතක කළේ නැහැ. රාජ්‍ය සහ පෞද්ගලික සේවකයින්ගේ වැටුප් වැඩි කළා. ඉන්ධන මිල අඩු කළා. සියලූම වැඩ කටයුතු ගැන ලැයිස්තුව ඉදිරිපත් කිරීමට මා අදහස් කරන්නේ නැහැ.

එමෙන්ම ගම්මානවල වැඩ කිරීම සඳහා ආධාර උපකාර දුන්නා. හොඳම පාසල ළඟම පාසල වැඩ සටහන යටතේ පාසල් පද්ධතිය දියුණු කළා.

වසර දෙක ඇතුළත මේ ප‍්‍රදේශයට පමණක් රුපියල් ලක්ෂ 2400ක සංවර්ධන වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා. මෙය පොඩි මුදලක් නොවෙයි. අපට තවත් ණය ගෙවීමට තිබෙනවා.

2018 - 2019 වසරවල ගෙවීමට ඇති ණය මුදල් ගැන පැවසුවහොත් ජනතාවට ක්ලාන්තය හැදේවි. ඒ නිසා ඒ මුදල ගැන මා කියන්නේ නැහැ.  ණය ගෙවීමටත් මුදල් සොයා ගත යුතුයි. ණය ගෙවන අතරතුර සංවර්ධන කාර්යය ද සපුරා ගත යුතුයි.

මගේ සීයාගේ පරපුර පැමිණියේ මේ ප‍්‍රදේශයෙනුයි. ගාල්ල, කළහේ, බද්දේගම ප‍්‍රදේශවල ඔවුන් ජීවත් වුණා. ඒ 19 වැනි ශත වර්ෂයේදීයි. 19 වැනි ශත වර්ෂයේ ශ්‍රී ලංකාවේ ප‍්‍රධාන වරාය පැවැතියේ ගාල්ලේයි. සියලූම දෙනා පැමිණියේ ගාල්ලටයි.

19 වැනි ශත වර්ෂය අවසන් වන විට ගාල්ල වෙනුවට කොළඹ වරයා දියුණුවට පත් වුණා. ගාල්ල පිරිහෙන්න පටන් ගත්තා. ගාල්ලේ ජීවත් වූ අය කොළඹට ගියා. ඒ අනුව මගේ සීයාගේ පවුලේ බොහෝ අයද කොළඹට පැමිණියා. අනෙකුත් අය මෙහිම පදිංචිවී සිටියා.

ගාල්ලේ පිරිහීමත් සමඟ එහි පදංචි වී සිටි බොහෝ දෙනා රැකියා සහ ආදායම් මාර්ග සොයාගෙන වෙනත් ප‍්‍රදේශවල පදිංචියට ගියා. දැන් යළිත් දකුණේ විශාල සංවර්ධනය ඇති කරන්නේ කෙසේ දැයි යන්න පිළිඳව සැලසුම් සකස්කරනවා. බස්නාහිර පළාත තරටමටම ගාල්ල දියුණු කිරීම අපේ අරමුණයි.

ගාල්ල දියුණු කරනවා නම් යළිත් දියුණු ආර්ථිකයක් ඇති කළ යුතුයි. අප මුලින්ම ගාල්ලට අධිවේගී මාර්ගය ඉදිකිරීමට කල්පනා කළේ ඒ සඳහායි. මෙවර අප බලය ගන්නා විට ගාල්ල පමණක් නොව, හම්බන්තොටත් විශාල ප‍්‍රශ්නයකට මුහුණ දී සිටියා.

මහින්ද රාජපක්ෂ හම්බන්තොට නැව් නොඑන වරායක් ඉදිකර තිබුණා. එමෙන්ම සූරියවැව ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයත්, මත්තල ගුවන් තොටුපළත් ඉදිකර තිබුණා. මේ ඉදිකිරීම් කර තිබුණේ ණය ගෙනයි. නමත් කිසිදු ව්‍යාපෘතියකින් ආදායමක් ලැබුණේ නැහැ.

හම්බන්තොට සාර්ථක වරාය ඉදිකිරීමට හැකියාව තිබුණා නම්, සාර්ථක ගුවන් තොටුපොළක් ඉදිකිරීමට හැකියාව තිබුණා නම් මේ ප‍්‍රදේශයේ වඩා ශීඝ‍්‍ර දියුණුවක් ඇති කිරීමට හැකියාව තිබුණා.

අපේ පළමු ව්‍යායාමය වූයේ වරාය සහ ගුවන් තොටුපොළ ගොඩගැනීමයි. සූරිය වැව ක‍්‍රීඩාංගණය නම් ගොඩනැගීමට හැකියාව නැහැ. ඒ සඳහා වැය කළ මුදල් ගෙවන්න වෙනවා.

මේ අර්බුද පිළිබඳව චීන රජය සමඟ මා නැවත වරක් කතා කළා. ඩොලර් බිලියන 130ක මුදල් චීන රජය හම්බන්තොට වරයාට වියදම් කරලා ඒ මුදලෙන් බිලියන සියයක් නැවත ලංකාවට දීමට ඔවුන් එකඟතාව පළ කළා. එමගින් ණය බර අඩුකර ගැනීමට හැකියි. ඒ මුදල දෙන්නේ ඒකාබද්ධ ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහාවන එකඟතාව මතයි.

අපේ කොටස වශයෙන් රුපියල් බිලියන 30ක් යෙදවීමට එකඟ වුණා. ඒ අනුව වරාය අලූතින් පටන් ගන්නවා. මේ වසර අවසන්වීමට පෙර වරාය බාර ගෙන අලූතින් තවත් ඩොලර් කෝටි 60ක යන්ත‍්‍ර ගෙනැවිත් 2018-2019 වර්ෂ එළැඹෙන විට සම්පූර්ණ වරායක් දැක ගැනීමට හැකියාව ලැබෙනවා.

ඉන්දීය සිවිල් ගුවන් සේවා සමාගම සහ ශ්‍රී ලංකාව එකතුවී මත්තල ගුවන් තොටුපොළ ක‍්‍රියාත්මක කරවීමට සාකච්ඡා කරනවා. ඒ අනුව වරාය සහ මත්තල ණය කළමනාකරණය කර ගැනීමට හැකියි. ඒ ආශ‍්‍රිතව කර්මාන්ත බිහිකිරීම අපේ අරමුණයි.

මේ ක‍්‍රියාවලිය නිසා ගාල්ලේ දියුණුවත් තහවුරු වෙනවා. හම්බන්තොට දියුණුවන විට ගාල්ල දියුණු වන්නේ කෙසේදැයි ඔබ මගෙන් ප‍්‍රශ්න කරාවි.

ගාල්ල පවතින්නේ හම්බන්තොට සහ කොළඹ යන හොඳ ජාත්‍යන්තර වරාය දෙකක් මධ්‍යයේයි. එමෙන්ම ගාල්ල දිස්ත‍්‍රික්කය පිහිටා ඇත්තේ කොළඹ සහ හම්බන්තොට මැදයි. එමෙන්ම කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළ මධ්‍යයේයි. ඒ අනුව ගාලූ දිස්ත‍්‍රික්කය සියල්ලට මැදි වී තිබෙනවා. ඒ සැලසුම අනුව ගාල්ල දියුණු කිරීමේ වැඩටහන් ක‍්‍රියාත්මක කරනවා.

ගාල්ලේ සංචාරක ව්‍යාපාරවලට දැන් ඉඩම් වෙන් කර ගෙන යනවා. මුහුදුකරයේ පමණක් නොව, ඇතුළත ප‍්‍රදේශ ආශ‍්‍රිතවත් සංචාරක ව්‍යාපාරය දියුණුවට පත්වෙනවා. සංචාරක ව්‍යාපාරය දියුණු වූ විට ඉතා ඉක්මණින් රැකියා උත්පාදනය කිරීමට හැකියි. ඊළඟ වසර පහ ඇතුළත සංචාරක ව්‍යාපාරය තුළින් රැකියා බිහි කිරීම අපේ අරමුණයි.

එමෙන්ම වෙළඳ කලාප ඉදිකිරීම සඳහා ගාල්ල සහ මාතර ප‍්‍රදේශවල ඉඩම් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ගාල්ල යළිත් දියුණුවට පත්වීමට නියමිතයි. එදා ගාල්ලේ වරාය තිබූ නිසා ගාල්ල දියුණුවට පත්වුණා. වර්තමානයේ දී ගාල්ල දියුණු වන්නේ වරාය දෙකක් සහ ගුවන් තොටුපොළ දෙකක් මැද හොඳ මාර්ග පද්ධතිය තිබෙන නිසයි.

කටුනායක සහ බියගම ප‍්‍රදේශවල වෙළඳ කලාප ආරම්භ කිරීම නිසා වසර 10ක් තුළ විශාල දියුණුව ඇති වුණා. වැඩිපුර රැකියා බිහි වන්නේ පෞද්ගලික අංශය කේන්ද්‍රකර ගෙනයි. පෞද්ගලික ආයෝජන වැඩිවීමත් සමඟ රැකියා අවස්ථා ද වැඩි වෙනවා.

ආණ්ඩුවේ රැකියාවලට වඩා පෞද්ගලික අංශයේ රැකියා වැඩිවීමට නියමිතයි. නමුත් ඒ රැකියා සඳහා විධිමත් පුහුණුවක් අවශ්‍යයි. පුහුණු ආයතන දකුණු පළාත කේන්ද්‍රකර ගනිමන් ආරම්භ කරනවා. පුහුණු ආයතන සමඟ එක්ව වැඩ කටයුතු ඉදිරියට ගෙන යාම අපේ අරමුණයි.

ගාල්ලේ කර්මාන්ත, සංචාරක ව්‍යාපාරය යන අංශ දෙකම දියුණු වෙනවා. මේ ප‍්‍රදේශවල කෘෂි කර්මික ආර්ථික රටාවක් ද තිබෙනවා. කෘෂි කර්මාන්ය දියුණු කිරීම සඳහා වැඩසටහන් දෙකක් ක‍්‍රියාත්මක කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ කුරුඳු සඳහා විදේශයන්ගෙන් විශාල ඉල්ලූමක් තිබෙනවා. ඒ නිසා කුරුඳු වගාව ව්‍යාප්ත කළ යුතුයි. ඇතැම් ස්ථානවල තේ වෙනුවට කුරුඳු වගා කළ හැකියි.

 ඕලන්ද සමයේ මේ ප‍්‍රදේශයේ තේ වගාව තිබුණේ නැහැ. මොරවක ප‍්‍රදේශය දක්වා පැවැතියේ කුරුඳු වගාවයි. තේ වගාව අතහරින්නැයි කියන්නේ නැහැ. තේ වගාවට සුදුසු ප‍්‍රදේශ පිළිබඳව සලකා බලා ඒ වගාව දියුණුකළ යුතුයි. ඒ නිසා නැවත තේ වගා කරන වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමට අදහස් කරනවා.  තම තේ ඉඩමෙන් තුනෙන් එකක් හෝ හතරෙන් එකක් හෝ අලූතෙන් තේ වගා කිරීම සඳහා වෙන් කරන්නැයි මා යෝජනා කරනවා. ඒ අනුව තේවල තත්ත්වය දියුණු කරන්න හැකියි.

තේ නැවත වගාව සහ කුරුඳු වගාව කෙටි කාලීනව ඉදිරිපත් කළ හැකි යෝජනා තිබෙනවා. දැනට මෙතැනින් ආරම්භ කරමු. තවත් අලූත් භෝග වගා කළ යුතුයි. සංචාරක ව්‍යාපාරයෙන්, කර්මාන්තවලින්, කෘෂි කර්මාන්තයෙන් දියුණුව ඇතිකර ඉදිරියට යමු. ඒ අනුව ගාල්ල නැවතත් දියුණු යුගයකට පරිවර්තනය කරමු.

එදා එක් වරායකින් පමණක් දියුණු වූ ගාල්ල අද අප වරායන් දෙකකින් දියුණුවට පත් කරනවා. එදා ගුවන් තොටුපොළ නොතිබූ ගාල්ල අද ගුවන් තොටුපොළ දෙකකින්  දියුණුවට පත් කරනවා.

ගාලූ නරගය පමණක් නොව, මුලූ ගාල්ල දිස්ත‍්‍රික්කයම එලෙස දියුණුවට පත්කිරීමට නියමිතයි. සියල්ලම කර අවසානයේ සංචාරක ව්‍යාපාරය මෙහි ගෙන ඒමට පියවර ලෙස සිංහරාජ සංවර්ධන වැඩසටහන ක‍්‍රියාත්ම කරනවා.

හිනිදුම, දෙනියාය, රක්වාන, කලවාන, අගලවත්ත ප‍්‍රදේශ කේන්ද්‍රකර ගනිමින් දියුණුව ඇතිකර සිංහරාජ වනාන්තරය ද ආරක්ෂාකර ගනිමින් සංචාරක මාර්ගය බිහි කරනවා.

ඒ සමඟම අධ්‍යාපනය දියුණු කිරීමටත්, අලූත් වැඩසටහන් තිබෙනවා. එසේ නම් අප ගාල්ලට අනාගතයක් අතිකරනවා. ගාල්ලේ අනාගතය 19 වැනි ශත වර්ෂය අවසානයේ නැති වුවත්, 21වැනි ශත වර්ෂයේ ජාතික ආණ්ඩුව යටතේ නැවත ඒ අනාගතය දීමට කටයුතු කරනවා.

ඊට දායක වීම සඳහා මටත් අවස්ථාව ලැබීම ගැන සතුටට පත් වෙනවා. ගාල්ලේ ඇමැතිවරුනුත් මේ වැඩ කටයුතු සඳහා විශාල සහයෝගයක් දෙනවා.

මහනුවර සිට වැල්ලවාය දක්වා එකම සංවර්ධන තීරුව ක‍්‍රියාත්මකයි. මහනුවර නගරය දියුණු කිරීම පිළිබඳව ජපානය සමඟ සාකච්ඡා කරනවා. අනාගතයේ දී කර්මාන්ත, සංචාරක ව්‍යාපාරය දියුණුවට පත්වෙනවා.

මධ්‍යම අධිවේගී මාර්ගය නිසා කුරුණෑගල, හලාවත ප‍්‍රදේශ දියුණුවට පත්වෙනවා. කළුතර වෙළෙඳ කලාපය ඇරැඹීම සඳහා අක්කර 800ක් වෙන් කළා. ගාල්ල, මාතර, හම්බන්තොට සහ වැල්ලවාය කේන්ද්‍රකර ගනිමින් සංවර්ධන වැඩසටහන ක‍්‍රියාත්මකයි. ඊළඟ වසර දහයේ දී ගාල්ලට විශේෂ තැනක් ලැබෙන බව සඳහන් කළ යුතුයි.

විශාලතම අඩුපාඩුවක් වී ඇත්තේ වසර දෙකක් තිස්සේ කළ සංවර්න වැඩ කටයුතු පිළිබඳව ජනතාව දැනුම්වත් නොකිරීමයි. ඒ නිසා කළ සංවර්ධන කටයුතු පිළිබඳ පණිවුඩයද ජනතාව අතරට ගෙන යාමට කටයුතු කරන්නැයිද” රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත් ඉල්ලීය.

එක්සත් ජාතික පක්ෂ ගාල්ල දිස්ති‍්‍රක් සංවිධානයේ සභාපති, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා : ”ඉදිරි මැතිවරණයේදී පක්ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් කළ යුතු දේ වෙනම සාකච්ඡා කළ යුතුයි. අප ආණ්ඩුව පිහිටුවීම සඳහා කළ හැකි සියල්ල කළා. ගාල්ලෙන් ඡුන්ද දෙලක්ෂ අසූ දහසක් ගත්තා. එක්සත් ජාතික පක්ෂයට ගාල්ල දිස්ත‍්‍රික්කයෙන් මන්ත‍්‍රීවරුන් හතර දෙනෙකු පත්කර ගත්තා.

ඉදිරි පළාත් පාලන ඡුන්දයේදී වාද භේද දුරලා ජයග‍්‍රහණය සඳහා කටයුතු කළ යුතුයි. සෑම ගමකටම ලක්ෂ 10 බැගින් වන ව්‍යාපෘති රැසක් ක‍්‍රියාත්මක වුණා. ලක්ෂ 2400ක වැඩ සෑම ග‍්‍රාම සේවා වසමකම වී තිබෙනවා. අප කළ සංවර්ධන වැඩ පෙන්වන්න නම් වෙනම රූපවාහිනී නාළිකාවක් අරඹන්න සිදු වේවි.

ගාල්ල දිස්ත‍්‍රික්කයේ මාර්ග 181ක වැඩ දෙසැම්බර් 31 වනදාට පෙර අවසන් කරනවා. මෙවැනි වැඩ කොටසක් කළ තවත් රජයක් නැහැ. ඒ අනුව ගාල්ලේ පළාත් පාලන ආයතන සියල්ලම අප ජයග‍්‍රහණය කරනවා. නායකයා පෙන්වූ මාර්ගයේ යමු. අපට හොඳ තැනකට යන්න අවස්ථාව ලැබෙනවා.”

ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා : ”දිගු කළකට පසුව ජවසම්පන්න බලමණ්ඩලය බද්දේගමට ලැබිලා. 2020 දක්වා මහින්ද රාජපක්ෂ රජය පෙරළන්න නොහැකි බව බොහෝ අය පුරසාම් දෙඩුවා. ඉන් පසුව නාමල් යුගය අරඹනවා යයි 2014 වසරේ දී ඇතැම් මාධ්‍ය ප‍්‍රචාර ගෙන ගියා. එවිට අපේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුයේ කුමක්ද? එතුමා කියා සිටියේ 2015 වන විට ආණ්ඩුව ගන්නා බවයි. එය සැබෑවක් බවට පත් කිරීමට එතුමා ක‍්‍රියා කළා.

ජනප‍්‍රිය දේ නොව, ජනතාව වෙනුවෙන් නිවැරදි දේ කිරීම අගමැතිවරයාගේ පිළිවෙතයි. ඉදිරියේදී ගමේ පාලනයද එක්සත් ජාතික පක්ෂය සතුකර ගන්නවා. පිපෙන්නේ නැති පොහොට්ටුවලට බලය දී කතා පවත්වමින් ඉන්නවා ද, ආණ්ඩු බලය ඇති පක්ෂයට ඡුන්දය  දී ගමට වැඩක් ගන්නවාද කියා ජනතාව නිවැරදි තීරණයක් ගන්නවා.”

එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත‍්‍රික් සංවිධානයේ සභාපති, විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු, එක්සත් ජාතික පක්ෂ බද්දේගම සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ, බද්දේගම ප‍්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක මංජුල ලියනගේ, දකුණු පළාත් සභා මන්ත‍්‍රී සුමනසිරි ලියනගේ යන මහත්වරු ද අදහස් දැක්වූහ.

මේ අවස්ථාවට ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයපාල හෙට්ටිආරච්චි, බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි, රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතාන, දකුණු පළාත් සභා මන්ත‍්‍රී සහ කරන්දෙණිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක ජයන්ත ජයවීර, පළාත් සභා මන්ත‍්‍රී සහ හිනිදුම එක්සත් ජාතික පක්ෂ සංවිධායක සුනිල් සේනානයක යන මහත්වරුන් ඇතුළු ප‍්‍රදේශයේ දේශපාලන නියෝජතයෝ රැසක් සහභාගී වූහ.



අදහස් (5)

’මහින්දගේ ණය කන්ද පියවා අඳුර දුරලනවා’ - අගමැති

Perakum Wednesday, 18 October 2017 09:18 AM

ඒකත් හරියට අර කොහේදෝ තිබුණු කුණු කන්ද වගේ කවද හරි අපිත් එක්කම නාය ගිහිල්ල තමයි ඉවරවෙන්නේ...! එදාට ඉතින් කවුරුත් පශ්චාත් මරණ පරීක්ෂණ තියලා හේතු දක්වාවි. විසඳුමක් නෑ.

:       0       430

Raveendra Wednesday, 18 October 2017 05:47 PM

කටේ තියෙන්නෙම පරණ උන්දැගේ අඩුපාඩු. පරණ වැරදි පෙන්නලා නේද දැන් ඉන්න අය බලයට අවේ? මෙහෙමත් නායකයෝ. මගේ මතකයට නැගෙනවා වික්ටර් රත්නායක මහත්මයාගේ සුන්දර ගීතයක පද කීපයක්. මාහරි සුදනා .. මාහරි ජගතා...... සිතන මිනිසා මෝඩයෙකි..

:       0       717

emerson Wednesday, 18 October 2017 11:38 PM

මහින්දගේ නය කන්ද නම් ගෙවයි . හොරකම් කරපු මහමෙරු පර්වතය ගෙවන්නේ කොහොමද මහත්තයෝ...

:       0       356

Sathyayaa Saturday, 28 October 2017 10:27 PM

මහින්දගේ ණය ඔයා ගෙවනවා. ඔයාගේ පව් ජනතාව ගෙවනවා. බලන් යනකොට කොයි ණය කාරයත් ජාතියට ණයයි.

:       0       1

Sathyayaa Sunday, 29 October 2017 11:34 PM

කලාමැදිරියෙකුගේ පස්ස පැත්තේ තිබෙන කුඩා එළියට සමාන එළියක් පෙන්වමින් මෙයා මුළු රටම ආලෝකමත් කරනවා කියන්නේ නංගිලා මල්ලිලාට බ්‍රේස්ලට් අරන්දීල තරුණ අසහනය නැතිකරනවා කියල කිව්ව කතා වටත් වඩා හිනායන ලෙසින්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 

දේශපාලන

දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කරනවා
2025 ජනවාරි මස 13 2604 15

රටත්, ජනතාවත් වෙනුවෙන් බොහෝ යහපත් දේ ඉටු කිරීමට දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කිරීමට පසු නොබස්නා වීර්යෙන් කැප වී සිටින බව ජනාධිපති අනුර දිසානායක මහතා තෛපොංග


‘එකිනෙකා අගය කිරීම සහ කෘතගුණ සැලකීමේ උතුම් ගුණාංයක්‘
2025 ජනවාරි මස 13 467 3

එකිනෙකා අගය කිරීම සහ කෘතගුණ සැලකීමේ උතුම් ගුණාංග උදෙසා දමිළ ජනප්‍රජාව විසින් සෑම වසරකම ජනවාරි මාසයේ සැමරෙන තෛපොංගල් උත්සවය සැබෑ සංස්කෘතික වටිනාකම් ක



සෞඛ්‍ය දියුණුවට පංචවිධ වැඩපිළිවෙලක්
2025 ජනවාරි මස 09 907 5

ගුණාත්මක, ප්‍රශස්ථ සහ විධිමත් නිදහස් සෞඛ්‍ය සේවාවක් මෙරට ජීවත්වන ජනතාවට අඛණ්ඩව ලබා දීම සඳහා ඉදිරි වසර තුන තුළදී ප්‍රධාන ධාරාවන් පහක් ඔස්සේ මෙරට සෞඛ්‍


ආණ්ඩුවේ නව බදු ක්‍රමය ජනතාවට විශාල බරක්
2025 ජනවාරි මස 02 2894 21

ආණ්ඩුවේ නව බදු ක්‍රමය ජනතාවට විශාල බරක් මෙන්ම රටේ ආර්ථිකයට ද අහිතකර බලපෑමක් ඇති කළ හැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහ


දරුවන් පාසලෙන් ඈත්වීම ගැන සොයා බැලිය යුතුයි
2025 ජනවාරි මස 02 1366 11

උසස් පෙළ අධ්‍යාපනය ලබන දරුවන් පාසලෙන් ඈත්වීම පිළිබඳ සොයා බැලිය යුතු බවත් කුමන හේතුවක් මත හෝ දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා මගහැරීම නතර විය යුතු බවත් අග්‍රා


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 312 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 580 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 323 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site