IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මම කියන්නේ උතුරට පමණක් නොවෙයි පළාත් නවයටම ෆෙඩරල් පාලනයක් ඕනෑ

දෙමළ සන්ධානයෙන් තමන්ව ඉවත් කොට වෙනත් අයෙකුට ඒ සඳහා ඉඩ කඩ ලබාදීමට දෙමළ සන්ධානය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි උතුරේ ප්‍රධාන අමාත්‍ය සි.වී. විග්නේස්වරන් මහතා පවසයි. 


තමන්ට මේ තනතුර සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව ලබාදුන්නේ දෙමළ සන්ධානයම බවද ඔහු ප්‍රකාශ කළේය. 
මේ පිළිබඳව දෙමළ සන්ධානය කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් ඒ සම්බන්ධයෙන් පළවෙන වාර්තා අසත්‍ය බවත් ඔහු ප්‍රකාශ කළේ             “ඉරිදා ලංකාදීප”ය සමග පැවැති සාකච්ඡාවකදීය. 


උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා සමග පැවති එම සාකච්ඡාවයි මේ. 


ප්‍රශ්නය:- උතුරු පළාතේ ප්‍රධාන අමාත්‍ය ධුරය සඳහා තරග කිරීමට ඔබට නාම යෝජනා ලබානොදීමට දෙමළ සන්ධානය තුළ තීරණයක් ගෙන තිබෙනවාද? 
පිළිතුර:-
එහෙම දෙයක් පිළිබඳ තවම තීරණයක් අරගෙන නැහැ. මගේ නිල කාලය වසර 5ක් තිබෙනවා. ඒ වසර 5 තුළදී තවමත් මම තමයි උතුරේ ප්‍රධාන අමාත්‍යවරයා හැටියට කටයුතු කරන්නේ. ඔය පුවත්පත්වල ඒ වගේ වාර්තා පළවුණා. නමුත් තවම එහෙම නිල වශයෙන් හෝ වෙනත් ආකාරයකින් හෝ සාකච්ඡා කරලා නැහැ. දෙමළ සන්ධානය නම් වෙනත් අයකුට ප්‍රධාන අමාත්‍යවරයා ලෙස නාම යෝජනා භාර දෙන්න යනවා කියලා වාර්තා පළ වෙනවා. එහෙත් තවම නම් එහෙම තීරණයක් ගෙන නැහැ. මම ඒ ගැන වැඩිදුරටත් කියන්න දන්නේ නැහැ. ඒක නිසා ඒ ගැන මේ වෙලේ මුකුත් කියන්න මට බැහැ. මම ඕවා ගැන තවම අහලත් නැහැ. මට ඒ ගැන තවම මුකුත් තොරතුරක් ලැබිලත් නැහැ. 


ප්‍රශ්නය:- ඔබ ඉදිරි පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ දෙමළ ජාතික සභාවෙන් කියලා වාර්තා වෙලා තිබෙනවා. ඒක ඇත්තක් ද? 
පිළිතුර:-
නැහැ. නැහැ. අපි ඒ පිළිබඳව තවමත් කිසිවක් කථා කරලා නැහැ. අනික දෙමළ ජාතික සභාව දේශපාලන පක්ෂයක් නෙමෙයිනේ. එහෙම දෙයක් තවම කතා කරලත් නැහැ. එහෙම තීරණයක් අරගෙනත් නැහැ තවමත්. ඒක නිසා ඉදිරියේදී බලමු මොකක්ද වෙන්නේ කියලා. 


ප්‍රශ්නය:- මහ ඇමැතිතුමනි, ඔබ ඉදිරියටත් දෙමළ සන්ධානය සමග සහයෝගයෙන් කටයුතු කරන්න බලාපොරොත්තු මොනවාද? 
පිළිතුර:----
මම මහ ඇමැති ධුරයේ රැඳී සිටින කම් මේ වසර 5 කාලයක් තුළ ඒ වැඩ කොටස ඒ ආකාරයෙන්ම සිදු කරනවා. මොකද මගේ කාලය තුළ විශාල වැඩ කොටසක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ පටන් ගන්න සංවර්ධන කටයුතු ඉටුකරන එකයි මගේ මූලික බලාපොරොත්තුව. ඉදිරියටත් මේ තනතුරේ ඉන්නවාද, නැද්ද කියන එක ඒ වෙලේ තීරණයක් කරනවා. 


ප්‍රශ්නය:- දෙමළ සන්ධානය තුළ අභ්‍යන්තර ගැටුම්කාරි තත්ත්වයක් තිබෙනවාද? 
පිළිතුර:-
එහෙම යම් යම් ගටලු නැතුවාම නොවෙයි. පොඩි පොඩි මත ගැටුම් තිබෙනවා. මොකද දෙමළ සන්ධානය කියන්නේ පක්ෂ කිහිපයකින් සැදුම්ලත් කණ්ඩායමක්. ඉතින් ඒ ඒ අයගේ මත ගැටුම් තිබෙනවා. නමුත් දෙමළ සන්ධානයේ ශ්‍රීකාන්තන්ත් මන්ත්‍රීතුමා ප්‍රකාශ කළා කුමන මත ගැටුම් පැවතිය ද දෙමළ සන්ධානය ඉදිරියටත් පවත්වා ගෙන යන බව. එක එක අදහස්වල වෙනස් කම් තිබුනත් අපි ඒවා සාකච්ඡා මාර්ගයෙන් විසඳගෙන සහයෝගයෙන් වැඩ කරන්න තමයි බලාපොරොත්තුව. නමුත් සන්ධානය තුළ බිඳීමක් නම් වෙන්නේ නැහැ. ඒක ස්ථිරයි. 


ප්‍රශ්නය:- හොඳයි. ඉදිරි පළාත් සභා මැතිවරණයේදී උතුරු පළාතට ඉදිරිපත් වෙන්න කියලා දෙමළ සන්ධානය අරාධනා කළොත් භාර ගන්නවාද? 
පිළිතුර:-
ඒ ගැන තීරණයක් ගන්නේ එම ඒ මොහොතේ දී තමයි. දැනට මට ඒ ගැන කල්පනා කරලා තීරණයක් ගන්න වෙලාවක් නැහැ. මට දැන් වැඩ රාශියක් තිබෙනවා. මගේ මූලික අරමුණ තමයි මම භාරගත්ත වැඩ කොටස නිම කරන්න. ඒක නිසා මම තවම තීරණයක් ගෙන නැහැ. ඒක ඒ වෙලාවේදී තමයි මම තීරණය කරන්නේ. මට මේ ධුරයෙන් කිසිම වාසියක් නැහැ. මම එහෙම වාසි බලාපොරොතුවෙන් දේශපාලනය කරන කෙනෙකුත් නොවෙයි. මට අවශ්‍ය උතුරේ දෙමළ ජනතාවගේ ජන ජීවිතය ඉහළ නංවන්නයි. මොකද ඔවුන් අවුරුදු 30ක යුද්ධයෙන් බැට කෑ පිරිසක්. ඒක නිසා ඔවුන්ගේ ජන ජීවිතය හොඳ තත්ත්වයට පත්කරලා ඔවුන්ගේ ආර්ථිකය ඉහළ නංවලා ඔවුනට හොඳ ජීවිතයක් ගත කරන්න අවස්ථාවක් ලබාදෙන්නයි මගේ එකම බලාපොරොත්තුව. 


ප්‍රශ්නය:- දෙමළ සන්ධානයේ නායක, විපක්ෂ නායක ආර්. සම්බන්දන් මහතා ඔබගේ වැඩ කටයුතු වලට සහයෝගය ලබා දෙනවාද? 
පිළිතුර:-
ඔව්. සම්බන්දන් මහතා මගෙත් එක්ක බොහොම සහයෝගයෙන් වැඩ කරනවා. මගේ වැඩ කටයුතු වලට විශාල සහයෝගයක් ලබා දෙනවා. දැන් හොඳම උදාහරණය තමයි ඉන්දීය අගමැති මෝදි මහතාවත් මුණ ගැසුණේ අපි දෙන්නම. එහෙම ගැටලුවක් නම් තවම නැහැ. 


ප්‍රශ්නය:- අගමැති මෝදි මහතා සමග උතුරේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළා ද? 
පිළිතුර:-
එහෙම කථා කරන්න අවස්ථාවක් උදාවුණේ නැහැ. අපිට ජනාධිපතිතුමා ආරාධනා කළා රාත්‍රී භෝජන සංග්‍රහයට මෝදි අගමැතිතුමත් එක්ක සහභාගීවන්න කියලා. අපි ඒ ආරාධනය පිළිගෙන තමයි එතනට ගියේ. ඒක නිසා අපිට විශේෂ දෙයක් කථා කරන්න අවස්ථාවක් උදාවුණේ නැහැ. 


ප්‍රශ්නය:- මහ ඇමැතිතුමනි කොහොමද මේ වන විට උතුරේ තත්ත්වය? 
පිළිතුර:-
උතුරේ තත්ත්වය ගැන කථා කළොත් තවමත් උතුරේ ගැටලු බොහොමයක් විසඳිලා නැහැ. හමුදාව අත්පත් කරගෙන තිබෙන ඉඩම්, ඒ වගේ මුල් අයිතිකරුවන්ට දීලා නැහැ. උපාධිධාරී තරුණ, තරුණියන්ගේ රැකියා ප්‍රශ්නය තවමත් විසඳිලා නැහැ. අතුරුදන්වූවන්ගේ ගැටලුවත් තවමත් විසඳිලා නැහැ. තවමත් ඔවුන්ගේ දෙමාපියන් සත්‍යග්‍රහයක නිතර වෙනවා. ඉතින් තවමත් ඔවුන්ගේ මූලික ගැටලු විසඳිලා නැහැ. අපි අවස්ථා ගණනාවකදී ආණ්ඩුවට පෙන්නලා දුන්නා. ඒත් තවමත් ආණ්ඩුව ඒවා විසඳීමට මැදිහත් වෙලා නැහැ. මධ්‍යම ආණ්ඩුව තමයි ඒවට විසඳුම් ලබාදෙන්න ඕනෑ. 


ප්‍රශ්නය:- උතුරු පළාතට වෙනමම ෆෙඩරල් පාලනයක් අවශ්‍යයි කියලා කිව්වා. දැන් ඒ ගැන වැඩි කථා බහක් නැහැ නේද? 
පිළිතුර:-
මම කියන්නේ උතුරු පළාතට විතරක් නොවෙයි, මුළු පළාත් නවයටම ෆෙඩරල් පාලනයක් අවශ්‍යයි. එහෙම දෙන්න ආණ්ඩුව බියක් දක්වන්නේ ඇයි. අපි කියන්නේ මධ්‍යම ආණ්ඩුවේ බලතල තබාගෙන ෆෙඩරල් පාලනයක් ලබා දෙන්න. එතකොට අපිට අපේ ගැටලු බොහොමයක් අපිටම විසඳාගන්න පුළුවන්. නැතිනම් මධ්‍යම රජයෙන් එම ගැටලු විසඳනකම් සෑහෙන කාලයක් බලාපොරොත්තු වෙන්න වෙනවා. නමුත් දැන් මධ්‍යම ආණ්ඩුව ෆෙඩරල් පාලනයක් ලබාදෙන එක ගැන මුකුත් සඳහන් කරන් නැහැ. දැන් බලන්න ආණ්ඩුව ගෙන එන්න බලාපොරොත්තු වෙන නව ව්‍යවස්ථා සංශෝධනය තුළත් ඒ ගැන සඳහනක් නැහැ. ඒක නිසා ඒ ගැන දැන් බලාපොරොත්තුත් බිඳ වැටිලා තිබෙන්නේ. ඒක නිසා ආණ්ඩුව ගැනත් අපේ විශ්වාසයක් නැහැ දැන්නම්. දැන් ආණ්ඩුව පත්වෙලා වසර 2ක් අවසන් වුණා. ඉතිරි වසර තුනත් ගෙවිලා යයි. ඉතින් අපේ ප්‍රශ්න විසඳන්න තව ආණ්ඩුවක් එයි. ඉතින් අපේ ප්‍රශ්න එක තැනක පල්වෙනවා. විසඳීමක් ලැබෙන එක ඊළඟට පත්වෙන ආණ්ඩුවට පවරයි. ඕක තමයි අපිට තිබෙන ප්‍රශ්නය. ඇත්ත තත්ත්වයත් ඕකයි. 
 

සාකච්ඡා කළේ 
නිශාන්ත කුමාර බණ්ඩාර  



අදහස් (0)

මම කියන්නේ උතුරට පමණක් නොවෙයි පළාත් නවයටම ෆෙඩරල් පාලනයක් ඕනෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 328 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site