(අංජුල මහික වීරරත්න)
ජනතා විමුක්ති පෙරමුණ තම ඡන්දදායකයාට අවංක නම් කළ යුත්තේ 20 වන සංශෝධනය හරහා වත්මන් අගමැති සහ පාර්ලිමේන්තුව තවත් ශක්තිවත් කරනවා වෙනුවට පාර්ලිමේන්තුව විසුරුවාහැර නව රජයක් පත්කර ගැනීමට උපකාර කිරීමකැයි “යුතුකම” සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා මාධ්‍ය හමුවකදී ඊයේ (3) පැවසීය.
වත්මන් පාර්ලිමේන්තුවට රටේ ජනපති පත් කිරීම සඳහා කිසිදු ජනවරමක් නොමැති බව කී කුමාරතුංග මහතා, 20 වන සංශෝධනය මගින් ජනාධිපති ධුරය බල රහිත කර විධායකය සහ ව්‍යවස්ථාදායකය අනතුරට ඇද දමන බව ද කීය.
කොළඹ බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේදී මෙම මාධ්‍යහමුව පැවැත්විණි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ ගෙවිඳු කුමාරතුංග මහතා මෙසේද පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන අදහස් දැක්වීම අපේ අරමුණයි.
ජනතාව විසින් පත්කරන ජනාධිපති වෙනුවට පාර්ලිමේන්තුවෙන් තෝරන අගමැතිට රටේ නායකත්වය පැවරීම 20 වන සංශෝධනයේ අරමුණයි.
ජනතා විමුක්ති පෙරමුණ අවංක නම් මේ යෝජනාව ඉල්ලා අස්කර ගත යුතුයි.
පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයකින් ජනපති පත්කර ගත යුතු බව 20 වන සංශෝධනයේ කියැවෙනවා. විධායක ජනපති ජනතා ඡන්දයෙන් පත්වීමෙන් ස්ථාවර බවක් තිබූ නිසා අස්ථාවර පාර්ලිමේන්තු තිබියදී හෝ රජය පවත්වාගෙනගොස් තිබෙනවා.
කිසිම පක්ෂයකට තනිව ස්ථාවර රජයක් පිහිටුවීමට නොහැකි මැතිවරණ ක්‍රමයක් තබාගෙන ජනාධිපති ධුරය බල රහිත කිරීම විධායකයට සහ ව්‍යවස්ථාදායකයට යන දෙකටම අනතුරක් බව කිව යුතුයි.
මෙයින් වාසි සැලසෙන්නේ කුඩා ජාතිවාදී කල්ලිවලටයි. මහජන නියෝජිතයන්ට ජනතාවගෙන් සැඟවී ජනපති පත් කිරීමේ විධි විධිවිධානවලට මෙම නව සංශෝධනයෙන් ඉඩ ලැබෙනවා.
නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ ක්‍රියාවලිය යටපත්වී ඇති මොහොතක ජනතා විමුක්ති පෙරමුණ මෙම 20 වන සංශෝධනය ගෙන එන්නේ යටපත් කරගත් යෝජිත නව ව්‍යවස්ථාවේ අඩුව පිරවීමටද?
මහ බැංකු හොරකමට සම්බන්ධ අයට පවා මන්ත්‍රීවරුන් මුදලට ගෙන 20 වන සංශෝධනය යටතේ රටේ ජනාධිපති ධුරයට පත් වීමට හැකියාව තිබෙනවා.
පාර්ලිමේන්තුවෙන් ජනාධිපති තෝරන යෝජනාවක් සමග එලෙස පත් කරන්නේ රහසිගත ඡන්දයකින් විය යුතු බවට යෝජනාවක් ඇතුළු කළේ ඇයිදැයි ජනතා විමුක්ති පෙරමුණ රටට හෙළිදරව් කළ යුතුයි.
අපට කිව හැක්කේ මෙය රට අනාථ කරන සංශෝධනයක් බවයි.
වත්මන් පාර්ලිමේන්තුවට ජනපති පත් කිරීමට ජනවරමක් ලැබී නැහැ. දැන් රජයේ තිබෙන අස්ථාවර බව ගැන කියන්නේ අප නොවෙයි. ජනපති කියන කතා ඇසූ විට ඒ බව හොඳින්ම අවබෝධ කරගත හැකියි.
දැන් පවතින්නේ ණයට පවත්වාගෙන යන ජාතික ආණ්ඩුවක්. ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුව මගින් මහ බැංකුවේ වංචාවක් වූ බව රහසක් නොවේ. ඒ සම්බන්ධයෙන් අගමැතිට ගෙන ආ විශ්වාස භංගයට පක්ෂව ඡන්දය දුන් ජනතා විමුක්ති පෙරමුණ දැන් 20 වන සංශෝධනය හරහා අගමැතිවරයා තවත් ශක්තිමත් කිරීමට කටයුතු කිරීම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ රටට පැහැදිලි කළ යුතුයි.
මේ ක්‍රියාවලියෙන් වන්නේ රට සම්පූර්ණයෙන්ම අරාජිකත්වයට පත්වීමයි. ජනතා විමුක්ති පෙරමුණ ඡන්දදායකයන්ට අවංක වෙනවා නම් කළ යුත්තේ වත්මන් රජය තවත් ශක්තිමත් කරනවා වෙනුවට රජය වහාම විසුරුවා හැර නව රජයක් පත් කිරීම යැයි ද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
20 ක්‍රියාත්මක වෙන්නේ පවතින ආණ්ඩු කාලයෙන් පස්සේ කියල තියෙද්දිත් මෙයා කියන බොරු කතා.
වසර 70ක් පුරාවට අපේ මව්බිම අනතුරේ හෙලා ඇත්තේ කවුරුන්දැයි පැහැදිලි කර නැත. විධායක ජනාධිපතිදුරය අහෝසි කරන්නට සියළුම ප්‍රධාන ධාරාවේ දේශපාලන පුද්ගලයන් ජනතාවට පොරොන්දු දෙද්දී නිහඩව සිටියේ ඇයි ජවිපෙ පොරොන්දුව මතක් කිරීම රට අනතුරේ හෙලීමක්.
එතකොට ඔය ජනධිපති ක්‍රමය අහෝසි කරනවා කියලා මහින්ද මහත්තයා සංඝරත්නය ඉදිරිපිට ගිවිසුම් අත්සන් කරනකොට ඔය අනතුර දැනුනේ නැද්ද? එකපාරටම තලගොයා කබරගොයා වුණා..!
මම හිතන්නේ මේක මෙතුමට තවම වැටහිලා නෑ. නැත්තම් හිතාමතා අන්ධ බක්තිකයන් තවත් නොමග යවන්න හදනවා. මේක කෙටුම්පතක් වැරදි අඩුපාඩු හදලා තමා පනතක් විදියට සම්මත කරගන්නේ. අනික මේ අාණ්ඩුවේ කාලයෙන් පස්සේ. අනික මෙතුමා දන්නෑ ලෝකෙ රටවල් බහුතරයක විධායක ජනාධිපති ධූරය නෙමෙයි තියෙන්නේ කියලා. අර ඉතා සංකීර්ණ බහුවිධ සමාජයක් සහිත ඉන්දියාවෙත් තියෙන්නේ. කැබිනට් අාණ්ඩුවක්.
ජ.වී.පෙ. කියන්නේ රනිල්ට ඕන දේ කරන ඇමෙරිකන් ගැති පිරිසක් . අනුර කුමාර ගෙන යන්නේ ඒ න්‍යාය පත්‍රයයි. මෙය අයට නොතේරේ ජ. වී. පෙ. අද ඩොලර්වලට යට වී හමාරයි.
රටම හුරා කාලා අනතුරේ දැම්ම ඒවා යටගහල කතා කරන්නේ මහජනතාව නූගත් අය කියල හිතාගෙන මන් හිතන්නේ . ඉස්සෙල්ල රටම අනතුරේ දැම්ම අයව ඇතුළට දාල ඉන්න රට බේරා ගන්න ඕනානම් .
මෙයා මෙවැනි කතා කියන්න මෙයාට තිබෙන අයිතිය මොකක්ද? හැමදාම ඉන්න ආණ්ඩුවට බනින එක තමයි කලේ.
ඔවා ඉස්සර ඉදන් ගහපු පරණ තැටි!
මහත්වරුනේ, 77න් පසු විධායක ජනාධිපති ක්‍රමය පිලිබඳ අපේ දේශපාලන නායකයින් කියූ කෙරු ඉතිහාසය කියවන්න. 20 වැනි සංසෝධනය ඉදිරිපත් කල යුතුව තිබුනේ රජයයි. මේක ජවිපෙ හැරෙන්නනට වෙන කෙනෙක් ඉදිරිපත් කලානම් ඔය මහත්වරුන්ගේ තර්ක ඥානය වෙනස් මගක් ගන්නවා සිකුරුයි. දේශපාලන කුහකකම් වලින් විතැන්ව නිදහස් මනසකින් හිතන්න.