දේශපාලන භේදය නිසා සීදුවේදී විජේට මාරක පහරකුත් වැදුණා

 

බෙන්ජමින් කුමාරතුංග රාලහාමිගේ නිවස පිහිටලා තිබුණේ උතුරු සීදුවේ කොහු මෝල පාරේ මුලටම වගේ.   


එක්දහස් නවසිය පනහේ ජනවාරි මාසයේ මුල් දවස්වල මේ ගෙදර පුංචිම කොලු පැටිය මුල්වරට ඉස්කෝලේ යන්න පටන් ගත්තා. චීත්ත රෙද්දෙන් මහපු ජංගියක් ඇදගෙන හිටියේ. උර හිස් දෙකෙන් පලාපු එම ජංගියේ සිහින් පටි හතරකින් ගැට ගහලා තිබුණේ.   


ගල් ලෑල්ලයි හෝඩි පොතයි එක අතක තිබුණා. හීන් නුලකින් ගැට ගහපු ගල් කූරක් මාලයක් වගේ කරේ එල්ලෙමින් තිබුණා.   


රතට රතේ ජම්බෝල ගෙඩියක් වගේ මේ පුංචි කොලු පැටියාව සීදුව පල්ලිය හංදියට එහායින් තිබුණ දවි සමර කතෝලික පිරිමි ඉස්කෝලෙට එක්කගෙන ආවේ ගියේ මේරි අක්කා. අසල්වැසි නිවසක කාන්තාවක වූ ඇය හුඟ කාලයක් යනකම් මේ පුංචි කොලු පැටියාව හදාගන්න උදව් කළා.   
බෙන්ජමින් රාලහාමිගේ ගෙදර ඉඳල මේ ඉස්කෝලෙට හැතැක්ම භාගයක්වත් නැති තරම්. අනික් ළමයි වගේම බෙන්ජමින් රාලහාමිගේ පොඩි පුතත් ඉස්කෝලෙට ආවේ පයින්මයි.   


බෙන්ජමින් රාලහාමිගේ පුංචි පුතා විජය කුමාරතුංග මට මුලින්ම මුණගැහුණේ දවි සමරෙ හෝඩි පංතියේදී පුංචි පැංචි කාලයේ පටන් මියයන තුරාවටත් යාළු හිතවත්කම් පැවැත්වූ තම හිතවතා විජය කුමාරතුංග ගැන දයානන්ද ආරියප්පෙරුම මතකය අවදිකළේ එහෙමයි.   


ශිෂ්‍ය ගුරුවරයෙකු වශයෙන් ගුරු භුමිකාව ඇරඹූ දයානන්ද ආරියප්පෙරුම දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගුරුවරයෙකු වශයෙන් සේවයකර විශ්‍රාම ගත්තේ තමන් ඉගනුම ලැබූ ඉස්කෝලෙම විදුහල්පතිවරයා වශයෙන්.   
දයානන්ද විජයට වඩා එක පංතියකට ඉහළින් හිටියේ විජය හෝඩියේ. දයානන්ද පළමුවැනියේ.   
ඉස්සර ඉස්කෝලේ ලොකු ළමයි පොඩි ළමයින්ට විහිළු කරනවා. දවසක් විජය හොඩියේ පංතියේ ඉගෙන ගනිද්දී ලයනල් මයිකල් කියලා අපේ යාළුවෙක් විජයට කිව්වේ බලන්නකෝ අර අත්තේ ඉන්න ලේනාගේ ලස්සන. විජේ එබිලා බැලුවා කෝ කෝ කියලා හොඳට බලන්නකෝ ලෝරන්ස් කිව්වා. හොඳට බලන්න විජේ බංකුවෙන් නැගිට්ටා එතකොට ලෝරන්ස් බංකුව පිටුපසට ඇද්දා. විජය ආපහු ඉඳගන්න ගියාම බිම වැටිල ඔළුව හැප්පුණා බංකුවක ඔළුව පිටු පස්ස ගෙඩි ගැහුණා. මම විජේව උස්සල නැගිට්ටවලා ඔළුව අතගෑවා. දයානන්ද පවසන්නේ විජය හා තමන් අතර සබැඳියාවට එලෙස මුල පිරුණු බවය.   


මෙලෙසින් ඔවුන් දෙදෙනා අතර වූ මිත්‍රත්වය දැඩි විය. විජය දයානන්දගේ නිවසටත් දයානන්ද විජයගේ නිවසටත් නිතරම ආවේ ගියේය. විජය දයානන්දල එක්ක දවි සමරේ ඉගන ගත්තේ පස්වෙනි පංතිය දක්වා පමණයි. ඊට පස්සේ විජය කොළඹ කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයට ගියා. ටික කාලයක් කඳානේ ඩී.මැසනඩ් විදුහලටත් ගියා. ආයේ කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයට ගියා.   


දයානන්ද කියන්නේ ගමෙන් බැහැරව නගරයේ විදුහල්වලට ගියත් විජය ගමේ යාළුවන්ගේ ඇසුර අත්නොහළ බවය. අන්ධකාර වැටුනායින් පසුව විජය තනිව ගෙදර යන්න බයයි. දයානන්දගේ නිවසෙ සිට විජයගේ නිවසට යායුත්තේ මිනී පිට්ටනියත් පසු කරගෙනය.   
හැන්දෑවට විජය අහනව එයාව ගෙදර ඇරලනව නේද කියලා. මම අැරලවනයි කිව්වොත් තමයි එයා අපේ ගෙදර ඉන්නේ. අන්දකාර වැටුණයින් පස්සේ මම එයාව ඒ ගොල්ලන්ගේ ගෙදර එක්කන් යනවා. මිනී පිට්ටනිය ළඟදි විජේ මගේ අත තදින් අල්ලා ගන්නවා.   
දයානන්ද සිහිපත් කරන්නේය. ගෙවී ගිය අතීතයක සොඳුරු මතකයන්ය.   


එ කාලේ සීදුව පල්ලිය හන්දියේ බාබර් සාප්පුව කළේ සමියෙල් අයියා. කොණ්ඩේ කපන්න ගාස්තුව ශත විසිපහයි. පොඩි කාලේ විජය කොණ්ඩේ කැපුවෙත් සමියල් අයියගේ බාබර් සාප්පුවෙන් සමියෙල් අයියා කොණ්ඩය කපන මැසිම මොට්ටද මන්ද ඒකෙන් කොණ්ඩය කපද්දී බොහොම වෙලාවට කොණ්ඩය ගස් ඉගිල්ලෙනවා. එතකොට හරියට රිදෙනවා.   
සමියෙල් අයියගේ කකුලේ කර ගැට එන නිසා සිමෙන්ති පොළොවෙ නිකම් අැවිද්දට සමියෙල් අයියට එළියේ ඇවිදින්න බැහැ. හුඟ දවස්වල විජේ කොණ්ඩය කපන්න ගියාම සමියෙල් අයියගේ සෙරෙප්පු දෙක හංගනවා. කොණ්ඩය කපලා ඉවරවෙලා විජය සැලුන් එකෙන් එහා පැත්තේ විජයගේ අයියා සිඩ්නි කුමාරතුංගලාගේ ක්‍රීම් හවුස් එක ඉස්සරහට වෙලා බලාගෙන ඉන්නවා.   


බේබි මහත්තයා සෙරෙප්පු දෙක දෙන්නකෝ බාගෙට අරින සැලුන් දොරෙන් ඔළුව එළියට දාන සමියල් අයියා කියනවා.   
විජේ හිනහ වෙවී ක්‍රීම් හවුස් එක ඉස්සරහ අන්තිමට සැලුන් එකේම මුල්ලක තියෙන සෙරෙප්පු දෙක සමි​ෙයල් අයියා හොයාගන්නවා. පුංචි කාලේ ඉඳලම විජය ඔක්තෝබර් නම වෙනිදා එයාගේ උපන් දිනේදාට ඡායාරූපයක් අරගෙන වෙනමම ඇල්බම් එකක අලෝනවා. මම හිතන්නේ විජය මැරෙනකම්ම ඒ පුරුද්ද තිබුණා.   
මම එක දවසක චන්ද්‍රිකා ගෙන් ඒ ඇල්බම් එක ගැන ඇහැව්වා. එතුමිය එතකොට කීවේ ජනාධිපති මන්දිරයෙත් ඒක තැබුවා. නමුත් ජනාධිපති මන්දිරයෙන් එද්දී ඒක අතුරුදන්වෙලා කියලා. දයානන්ද පවසන්නේ අනුස්මරණ සැමරුම් ගොන්නකට සිදුවූ වින්නැහිය පිළිබඳය.   


තමන්ගේ උපන් දිනයට තම ගමේ යාළුවන්ට පුංචි සාදයක් දීම පාසල් අවදියේ පටන් විජයගේ සිරිතක්ය. සාදය බොහෝවිට පවත්වන්නේ විජයගේ අයියා සිඩ්නි කුමාරතුංග (ඒ කියන්නේ ජීවන් කුමාරතුංගගේ තාත්තා) නිවස පසකින් වූ ගල් බංකුවක් මතය.   

 

විජය මව සමග

 


ඕරේන්ජ් බාර්ලි බෝතල් හත අටක් මාරි බිස්කට් වගේ ගේනවා. අවුරුදු දහ හත වගේ වෙද්දී එයාගේ උපන් දිනයට බීර බෝතල දෙක තුනක් ගහනවා. දයානන්ද කියන්නේ තමන්ද එකිනෙකා ශත විසිපහ පනහ එකතුකර තමන්ගේ හිතවතාට කමිසයක් වැනි තෑග්ගක් පිරිනමන බවය.   
විජය තමන් ඇසුරු කරන යහළුවන් වෙත විශේෂ ළැදියාවක් දැක්කුව කෙනෙක් මේ නිසාම පාසල් යන අවදියේ ඔහු අනවශ්‍ය ගැටුම්වලට ද සහභාගී වුණා.   
දයානන්ද පවසන ලෙස ඒ 1964 ජනවාරි 31 දිනය ඒ කාලේ විජය ඉගෙන ගත්තේ කඳාන ඩීමැසනඩ් විදුහලේ.   
මේ කොන්ත්‍රාත් එක අපිට බාර දුන්නේ ලැනී කියලා අපේ යාළුවෙක්. දේශපාලන හේතුවක් නිසා ඔහුගේ තරහ ගුරුවරයෙක් හිටියා. එයා මීගමුව පැත්තෙන් ආවේ ජාඇළ පැත්තේ ඉස්කෝලෙක ඉගැන්නුවේ. යන්නේ එන්නේ කෝච්චියේ ලැනීට ඕනෑ වුණා මේ ගුරුවරයාට ගස්සවන්න. දයානන්ද මේ මුල පුරන්නේ යොවුන් වියේ දඩබ්බරකම් සිහිපත් කිරීමටය.   
දයානන්ද දුම්රියට ගොඩවුනේ මරදානෙන්. ඒ දුම්රියේ ටික්කන් එනවාදැයි බැලීමටය. දයානන්ද සමග තවත් යාළුවෝ දෙන්නෙක් හිටියා. විජය කඳාන දුම්රිය ස්ථානයෙන් දුම්රියට ගොඩවුණා. එ්ත් ජාඇළදී පහර දීමට නියමිත ගුරුවරයා දුම්රියට ගොඩ වු​ෙණ් නැත. යාළුවෝ කට්ටිය දුම්රියෙන් බැස ඉදිරියට යන්නට වුණා. එත කොටයි ලැනී පෙන්නුවේ ගහන්න ඕන ගුරුවරයාව. ළඟ ඇති හෝටලයකට ගිය ඔවුන්ට ලැනීගෙන් මස්කට් එක්ක කිරිතේ සංග්‍රහයක් ලැබුණි. ආපසු පැමිණ ඔවුන් මීගමුව දෙසට යන ඊළඟ දුම්රිය ආපුවම අර ගුරුවරයා නැගුණ පෙට්ටියටම නැගුණා.   


 කුඩහකපොළ ඉඳල සීදුවට එනකම්ම ගැහැව්වා. ගෝරිය බේරන්න විජයගෙන් නෑ​ෙයක් වන ජස්ටින් කියලා ගුරුවරයෙක් මැදිහත් වුණාම ඕන නැති දේවලට හොම්බ දාන්න එපාය කියලා එයාටත් ගහලා සීට් එකක් යටට ඔබලා දැම්මා. විජය යහළුවන් වෙනුවෙන් සටන් කළේ පසුව ප්‍රතිපල වශයෙන් එළඹිය හැකි කරදර අභියෝග පිළිබඳව සිතා මතා නොවේ.   
විජයගේ මානව හිතවාදී ගුණය යොවුන් කාලයේ ඉඳලා පෙන්නුම් කළා. ඒ කාලේ වැඩිපුර තිබෙන්නෙ පොල් අතු හෙවිල්ලපු ගෙවල්. තරුණ නැඩ තමයි මේ පොල් අතු හෙවිල්ලන වැඩ වලට එකතු වෙන්නේ. විජයගේ යාළුවොත් එහෙම තමයි. ටවුමෙ කොලේජ් එකකට ගියත් තමන්ගේ යාළුවොත් සහභාගී වෙන පොල් අතු හෙවිල්ලන ශ්‍රමදානයකම විජය නොවරදවාම සහභාගි වුණා.   
සමහර වහලවල රීප්ප බැඳලා තියෙන්නේ ටිකක් දුරින් දුරින්. ඒ වගේ වහලයක පොල්අතු බඳින්න අමාරුයි. විජයගෙ කකුල් දිග නිසා දුර රීප්ප වලට කුකුල් තියලා පොල් අතු පහසුවෙන්ම ගැට ගහනවා. දයානන්ද තම හිතවතා ගැන එසේ පවසා මෙසේ ප්‍රශ්න කරයි. මහා ලොකු වාමාංශික මානව හිතවාදින් හිටියා. වහලයක පොල් අතු බඳිද්දි අමු පොල් කොළයකින් හරියට ගැටේ ගහන්න දැනගෙන හිටියේ කවුද?   
එල්ලේ ගහන්නත් ෆුට් බෝල් ගහන්නත් විජය සැබෑ දක්ෂයෙකු විය. ඒ කාලේ සීදුව සමරැස් එල්ලේ කණ්ඩායමේ හොඳම ලකුණු රැස්කරන්නෙක් ඔහු. විජය උසයි. අතුත් දිගයි. ඒ හින්දා විජය එල්ලේ ගැහැව්වේ පුරුක් පහේ බම්බුවකින්.   
හවසට බතික් සරමක් ඇඳගෙන එන විජය සරම ගලවලා වැටක දාලා රනින් සූට් එකෙන් එල්ලේ ගහන්න එන්නේ.   
එක දවසක් එල්ලේ මැච් එකක් තිබුණා. ජාඇළ පොලිසිය පිටි පස්සේ තිබුණු සෙක්කුවත්ත පිට්ටනියෙ. විජය ගහන පාරට බෝලෙ ඇළට තමයි හුඟාක් වෙලාවට වැටෙන්නේ. ඒ තරම් පාර සැරයි. දයානන්ද පවසයි.   

 

විජය සහ චන්ද්‍රිකා

 


විජයගේ නිවස පිටු පස්සේ ලොකු කොහුබත් කන්දක් තිබුණා. ඔවුන් කරණම් ගැහැව්වෙ මේ කොහුබත් කන්ද උඩ. ඊට ටිකත් එහායින් තිබෙන දඬුගම් ඔයේ ඉහළට පහළට පැය ගණණක් විජය යාළුවෝත් එක්ක පීනුවා.   
දයානන්ද කියන්නේ විජය වැඩිපුරම ඇලුම් කළේ කළු පාට අයට කියලයි. දයානන්ද කළුයි. තවත් යාළුවෙක් හිටිය කළු පැට්‍රික් කියලා. එයත් කළුම කළුයි. ඒ විතරක් ද විජය යාළු වුණ කෙල්ලොත් කළුයි. හැබැයි හැඩයි ලස්සනයි. කළු කෙල්ලේ උඹ හරිම හැඩයි. සින්දුව කිව්වේ එහෙමයි.   
විජේ ලස්සනයි. ඒක හින්දා ඉස්කෝලේ යන කාලේ ඉඳලා විජයට කෙල්ලෝ වහ වැටෙනවා. හැබැයි වි​ජේ ඇහැක් ගැහැව්වේ කළු කෙල්ලෙකුට විතරයි. ගමේම යාළු කෙල්ලො කීප දෙනෙක්ම හිටියා. ඒවා බොහෝම අහිංසක ආදර එ් කාලේ සිනහ වෙනවා. කතා බහ කරනවා විතරයි. ඊට එහා නැහැ. වැඩිම වුණොත් බොහෝම හදිස්සියෙ හාද්දක් විතර එහා මෙහා වේවි.   
විජයගෙ හිතේ තදින් ලැඟුම් ගන්න සඳවතියක් වගේ ලස්සන කළු කෙල්ලෙක් හිටියා. සීදුවේම තමයි. කෙල්ලගෙ ගෙදර අය මේකට විරුද්ධයි. දවසක් කෙල්ලගේ අයියා තුවක්කුවකුත් අරන් වෙඩි තියන්න වගේ ආවා. විජේ අත් දෙකට ගඩොල් කැට දෙකකුත් අරන් ඉස්සරහට ගියා. අඩෝ පුළුවන්නන් වෙඩි තියපන් කියලා. ඒ කාලේ විජේ නළුවෙක් නොවෙයි. ඒත් නළු පාට් තමයි තිබුණේ.   


දවල් හිරු එළියට මේ ආදරේ හැංගිලා තිබුණට රෑ සඳ එළියට මේ ආදරේ විකසිත වුණා. සමහර රැයක විජේ කෙල්ලගේ ගේ ළඟට ගිහිල්ලා තොල් දෙකට ඇඟිලි දෙක තියලා පුංචි විසිල් පාරක් ගහනවා. අඳුරු වලා අතරින් සඳවතිය එබී බලනවා වගේ කෙල්ල හෙමින් කුස්සිය දොරෙන් එළියට එනවා. ගේ අයිනේ එළු කොටුවක් තිබුණා. විජේ කම්බි වැටෙන් පැනලා එළු කොටුව ළඟට යනවා. එළු කොටුව ළඟට වෙලා ආදරවන්තයෝ ඔමරිකොමල පානකම් දයානන්ද කම්බි වැටේ මෙහා පැත්තේ ඉඳගෙන මදුරුවො තළනවා. මුරට.   
විජේ නළුවෙක් වගේම ගායකයෙක්. සමහර විට ගායකකම ලේ වලම තියෙන්න ඇති. විජයගේ අයියා සිඩ්නි. ඒ කියන්නේ ජීවන්ගේ තාත්තත් සිංදු කියන්න දක්ෂයි. බොහෝම ළැදියි. ඒ කට්ටිය සිංදු කියන්නේ ලවුඩ්ස්පීකර් බැඳගෙන. සීදුව පල්ලිය හංදියේ රිචඩ් අයියගේ රේඩියෝ කඩේ උඩ තට්ටුවේ තමයි පාටි දුන්නේ. ආටි අයියා තබ්ලාව ගහනවා. ගුණේ අයියා සර්පිනාව ගහනවා. ඔය තාල වලට විජයගෙ සිංදු තාල සීදුව පල්ලිය හංදිය පුරා මහ රාත්‍රිය වෙනකම්ම ඉහිරිලා යනවා.   
ගායකයෙක් විතරක් ​නොවෙයි. විජේ දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. දයානන්ද තමයි එහෙම කියන්නේ. ඉස්සර තිබුණා වීදුරු වලින හඳලා වටේට වේ වැල් වලින් වළල්ලක් හයි කරපු ට්‍රේ බන්දේසි. මේ වීදුරු වල උඩ පැත්තෙ හරියට පේන්න යට පැත්තේ චිත්‍ර අඳින්න විජේට අපුරු දක්ෂතාවක් තිබුණා. බිත්තරේ හැඩේට වීදුරුවක් කපල ගෙනාවම විජේ චයිනීස් ලැකර් වලින් සීගිරි ලලනාවන් හැන්දෑවෙ ඉර බහින හැටි මුහුදෙ රුවල් ඔරු යන හැටි අපූරුවට අඳිනවා.   
විජේට තරුණ කාලේ ඉඳලම දේශපාලන දර්ශනයක් තිබුණා. ඔහු උදව් කලේ කොමියුනිස්ට් පක්ෂයට. ජීවන්ගේ තාත්ත උදව් කළේ සම සමාජ පක්ෂයට. විවියන් ගුණවර්ධන, මීගමුවෙ හෙක්ටර් ප්‍රනාන්දු එන සම සමාජ රැස්වීම් තියන්නේ සිඩ්නිලගෙ ගෙදර. විජේ මේ රැස්වීම් වලටත් හිටියා. ඒ විතරක් නොවෙයි දයානන්දගේ පුට් සයිකලෙන් සම සමාජ පත්තරේ වික්කෙත් විජේ.   

 

විජය යශෝධරා සහ විමුක්ති දරු දෙදෙනා සමග 

 


එක්දහස් නවසිය හැට නවයේ සීදුව හංදියේ බේලින් අයියගෙ කඩේ කොමියුනිස්ට් පක්ෂ ශාඛා කාර්යාලයක් පිහිටවනවා. මාසෙක කඩ කුලිය රුපියල් තිස් පහයි. ඒකෙන් රුපියල් පහළොවක්ම දුන්නේ විජේ. හැත්තෑ එකේ කැරැල්ල වෙලාවෙ හමුදාවෙන් මේ කොමියුනිස්ට් පක්ෂ කාර්යාලය කුඩේ කුඩු කරනවා.   
උඹලගෙ කඩ කුලිත් එපා. ටික කාලයක් යන කම් සීදුව හංදියට එන්නත් එපා. බේලින් අයියා පණිවිඩයක් එව්වා.   
එහෙව් දේශපාලන පසුබිමක් තිබුණ විජේට ජන වේගයට කොක්ක ගැහැව්වේ කුමාර් රූපසිංහ. ඒ කියන්නේ සුනේත්‍රා බණ්ඩාරනායකගෙ සැමියා විජේ කුමාර රූපසිංහව හඳුනා ගන්නේ කොළඹ තලකොටුව වත්තේ ගෙදර පදිංචියට ආවට පස්සේ.   
ඒ කාලේ දයානන්දයි තවත් යාළුවෝ කීප දෙනෙකුටයි ශිෂ්‍ය ගුරු පත්වීම් ලැබෙනවා. ඒක නිසා විජේත් ශිෂ්‍ය ගුරු පත්වීමක් සඳහා ඉල්ලුම් පත් දානවා. දයානන්ද කියන්නේ සම්මුඛ පරීක්ෂණය තිබුණේ කටුනායක මහා විද්‍යාලය කියලා. ඒ කාලේ දයානන්දයි තවත් යාළුවෙක් වුණ පැට්‍රික් පලිහවඩනයි. ආරිය සිංහල ජාතික ඇඳුම් දෙකක් මහල තිබුණා. විජේ කිව්වා ශිෂ්‍ය ගුරු සම්මුඛ පරීක්ෂණයට යන්න ජාතික ඇඳුම අඳින්න ඕනැයි කියලා. ඒත් විජේ් අඳින්න දන්නේ නැහැනේ. එ්ක නිසා යාළුවො ටික වේට්ටිය ඇන්දෙව්වා.   
මේ ​මොන මඟුලක්ද බන්? මුගෙ කකුල් දෙක වත් එහා මෙහා කරන්න බැහැනේ. හිරට අන්දවලා තියෙන වේට්ටිය දිහා බලපු විජේ වේට්ටිය දෙකට නමලා චීත්තයක් අඳින්න වගේ වේට්ටිය ඇඳ ගත්තා. වේට්ටියක් ඇඳගෙන විජේ බයිසිකලයට නැග්ගමයි කට්ටියට බඩ පැළෙන්න හිනහ ගියේ.   
වේට්ටිය කකුල් දෙපැත්තට දෙබෑ වුණා. යටට ඇඳපු යට ඇඳුම ගජරාමෙට එළියෙ. පස්සේ විජේ දිග කලිසමක් ඇඳගෙන ශිෂ්‍ය ගුරු සම්මුඛ පරීක්ෂණයකට ගියා. ඒත් ශ්‍රී ලංකාවෙ චිත්‍රපට රසිකයින්ගේ වාසනාවට විජේට ශිෂ්‍ය ගුරු පත්වීම ලැබුණේ නැහැ.   


විජේගෙ පළමු වැනි චිත්‍රපටිය නිර්මාණය ​ෙවන්නේ එක් දහස් නමසිය හැටහත කාලයේ. ඒ කාලෙ විජේ හන්තානෙ කතාව චිත්‍රපටියෙ තිරකතා පිටපත ගෙනැල්ලා සිඩ්නිලගෙ වත්තෙ ගල් බංකුවට වෙලා යාළුවො එක්ක ඒක පුරුදු වුණා. හන්තානෙ කතාව රඟ පෑමට ලැබෙන මුදලින් රුපියල් හාර දහස් පන්සීයක් ගෙවල හොණ්ඩා මෝටර් සයිකලයක් මිලදී ගත්තා. ඒක තමයි විජයගෙ සල්ලි වලින් ගත්ත පළමු වාහනය.   
චිත්‍රපටවල හඬ කැවීම් වගේ වැඩවලට මහ රෑ කොළඹ ඉඳලා විජේ සීදුවට මෝටර් සයිකලෙන් පැය කාලට ඉගිළෙනවා. විජේගේ මේ ඉගිලිල්ලට යාළුවොත් බැන්නා. විජේගේ අම්මා කැමැති වුණේම නැහැ.   
කොළඹට යන එන ගමන් වැඩි වුණාම විජේ ඒ පාර හන්තාන කතාව චිත්‍රපට හදන කාලෙ අඳුන ගත්තා තලකොටුව වත්තේ පදිංචි වෙලා හිටිය පත්තර මිත්‍රයෙකුගෙ ගෙදර නවතිනවා. ඒ පත්තර මිත්‍රයගෙ ගෙදරට යාබද ගෙදර හිටියේ ප්‍රවීණ ගීත රචක කේ.ඩී.කේ. ධර්මවර්ධන. හැන්දෑවට මෙතැන ගායකයොයි නළුවොයි එකතු වෙලා එකම සාජ්ජයක්. ඒ ගැන වෙනම පොතක් ලීවැහැකි. කොහොම හරි ඉන් පස්සේ විජය තලකොටුවෙන් ගෙයක් අරන් අම්මත් එක්ක පදිංචියට එනවා.   
ජනවේගයෙ, කුමාර් රූපසිංහ විජයට කොක්ක ගැහුවයින් පස්සේ සීදුව පන්සල හංදියෙ ජනවේගය කාර්යාලයක් පිහිටුවන්න විජේ කුමාර් රූපසිංහ එක්ක රැස්වීමක් තිබ්බා. එතැන සම සමාජ බලය වැඩියි. රැස්වීම කඩාකප්පල් වුණා. කුමාර්ලා ගියා. මේ දේශපාලන හේතු නිසාම විජේගෙ සමහර යාළුවො විජේට විරුද්ධ වුණා.  මේ හින්දා දවසක් රාත්‍රියේ විජේ මෝටර් සයිකලයෙ එද්දි, සීදුව හංදියේදී විජේව වට කළේ කඩු පිහි එක්ක. එතැන විජයගෙ යාළුවොත් හිටියා. ඔව්න්ට ඕනෑ වුණේ විජයගෙ මුහුණ කපන්න.   
තොට තවත් නළුකම් කරන්න දෙන්නේ නැහැ. මෝටර් සයිකලයෙන් බිම වැටුණු විජේගෙ මුණටමයි කොටන්න හැදුවේ. විජේ මුණ පො​ෙළාවට තදකරගෙන මුණ බේර ගන්න උත්සාහ කළා.   

 

විජය ඔසී සහ ෆීලික්ස් යාපනයේ එල්.ටී.ටී.ඊ. සිරභාරයේ සිටි හමුදා භටයන් මුදාගන්න ගිය අවස්ථාව

 


විජයගෙ නෑයෙක් වෙන ඇන්ටන් ​ෆොන්සේකා වාසනාවකට වගේ දෙයියො එව්ව වගේ ඒ වෙලාවේ පර්ජෝ කාර් එකෙන් විජේ පිටි පස්සෙන් ආවා. කට්ටිය දිව්වා. පොලිසියෙන් එනවයි කියලා හිතලා විජේව කාර් එකේ දාගෙන කෙළින්ම ගියෙ තලකොටුව වත්තේ හිටිය විජයගෙ මාමා කෙනෙක් වු මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ ගෙදරට. එතනින් කාලෝ මහතාත් සමග ඔහුව කොළඹ මහ ඉස්පිරිතාලෙට අරං ගියා.   
විජයගෙ මුහුණත් කැපිලා. හක්ක පුපුරලා. කාලෝ ඉක්මනින් අනිත් වෛද්‍යවරුන් එක්ක විජයට ප්‍රතිකාර කළා. විජයගෙ යාළුවො කියන්නේ කාලෝ නොහිටින්න එදායින් පස්සේ විජය කුමාරතුංග කියලා නළුවෙක් නොහිටින්න තිබුණයි කියලා. විජයගෙ හකු ඇටය හරිගස්සන්නට ශල්‍ය කර්මය කළේ දොස්තර ගුණදාස අමරසේකර තව ජයවික්‍රම කියලා වෛද්‍යවරයෙකුත් හිටියා.  සමහර යාළුවෝ විජයට එහෙම පීඩාකාරි ලෙස සැලකුවත් ඒ අයට උදව්වක් වුණා වෙලාවක විජේ අහක බලා ගත්තා. කට ඇරියේ නැහැ.   
විජයට ගහපු අය අතරෙ ඇඩ්ඩිනුත් හිටියා. ඇඩ්ඩින්ගේ මරණය ලැනී ගිහිල්ලා විජයට කියපුවම මළ ගෙදර වැඩ කරන්න සල්ලි දුන්නෙත් විජේයි.   
කළු පැට්‍රික් කියන්නේ විජයගෙ යාළුවෙක්. එයාට ලියුකේමියාව හින්දා කොළඹ ඉස්පිරිතාලෙ නතර කරලා හිටියෙ. කළු පැට්‍රික්ට හැමදාම අලුතෙන් රුධිරය දෙන්න ඕනෑ. ගමේ යාළුවො ලේ බැංකුවට ගිහිල්ලා ලේ දෙනවා. විජේත් දවසක් ගිහිල්ලා ලේ දන් දුන්නා. දෙවෙනි දවසෙත් ගිහිල්ලා දුන්නා. තුන් වෙනි දවසෙත් ලේ දෙන්න ගියාම ඒ අයට ඒ දවස් තුනේම ආවේ එක් කෙනෙක් කියලා එහෙම එකම කෙනාගෙන් එක දිගටම දවස් තුනක් ලේ ගන්නේ නැහැයි කියලා විජේව හරවලා ඇරියා. අන්තිමේදී කළු පැට්‍රික් ජීවත් කරවන්න බැහැයි කියලා දොස්තර දැනුම් දුන්නා. කළු පැට්‍රික් තේරුම් ගත්තා තමන්ගේ ජීවිතේ එතරම් දිග නැහැයි කියලා.   
මචන් මට මැරෙන්න ඉස්සර වෙලා මගේ කෙල්ලව බලන්න ඕනෑ. මරණාසන්නව සිටි කළු පැට්‍රික් විජේට කිව්වා විජේගේ බාප්පගේ දුව සමගයි කළු පැට්‍රික් යාළු වෙලා හිටියෙ. හැබැයි කෙල්ලගෙ ගෙදර අය කැමැති නැහැ.   


දවල් දහයට ආවෙලාවේ වාට්ටුවට ඇතුළු වෙන්න විජය ​දොස්තරලාගෙන් අවසර ඉල්ලා ගත්තා. පහුවදා තමන්ගේ බාප්පගේ දුවව, කාර් එකකින් විජේ ඉස්පිරිතාලයට ගෙනාවා. කළු පැට්‍රික් ලස්සනට ඇඳගෙන හිටියා. දෙන්නා හුඟ වේලාවක් වාට්ටුවේ කතා කර කර හිටියා. විජේ කාර් එකෙන්ම කෙල්ලව ආපහු සීදුවට ඇරලෙව්වා. කළු පැට්‍රික් මැරෙන්නෙ ඒ ආදර සුවයක් තුරුලු කරගෙන.   


ගාමිණී මැදගෙදරව, මැරුවෙ පොළොන්නරුවේ වැව් ඉවුරකදී. ගාමිණී කොමියුනිස්ට් පක්ෂ ක්‍රීයාකාරිකයෙක්. පසුව මහජන පක්ෂයට සමීප වුණා. ගාමිණීගෙ සහෝදරයෙක් මහජන පක්ෂයෙ හොඳ ආධාරකාරයෙක්. පොළොන්නරුවේදී වෙඩි තියලා මරපු ගාමිණීගෙ අවමඟුල් වත් පිළිවෙත් සිදු කළේ සීදුවෙදි. ඒ ඔහුගේ තාත්තා හිටියෙ සීදුවෙ නිසා.   
විජේ ෆීලික්ස් පෙරේරාත් එක්ක හවස ගාමිණී මැද ගෙදරගෙ අවමඟුල් ගෙදර ආවා. විජයට හදිස්සියෙම කොළඹ යන්න යෙදුණා. ඒ පෙරබවාරි විසි එක් වෙනිදා පවත්වන්න තිබුණ ඒකාබද්ධ විපක්ෂ රැස්වීමේ සංවිධාන කටයුත්තකට. ඒ රැස්වීමේදී විජේව ජනාධිපති අපේක්ෂකයා ලෙස යෝජනා කරන්න නියමිත වෙලා තිබුණයි කියලයි දයාන්නද කියන්නේ.   
ඩී.ඒ. මහජන පක්ෂය වෙනුවෙන් ඔයා කතා කරන්න. මට හදිසියේ කොළඹ යන්න වෙලා තියෙනවා. විජේ දයානන්දට කිව්වා. විජේ දයානන්දට කතා කරන්නේ ඩී.ඒ. කියලා.   
කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් කතා කළේ කේ.පී. සිල්වා. දයානන්ද විජය වෙනුවෙන් කතා කළා. ඒ තමයි දයානන්ද විජයව දැක්ක අන්තිම දවස. පහුවදා පෙබරවාරි දහසය වෙනි දා දයානන්ද තමාලි ප්‍රෙස් එකේ ඉද්දි රේඩියෝ එකෙන් අහුණා විජයට වෙඩි තියලා කියලා.

 

 

පීටර් කැනියුට් පෙරේරා