(ටී.කේ.ජී.කපිල)

උස්බෙකිස්තානයේ ඉකුත් 20 වැනි දින සිට 29 වැනි දින දක්වා පැවති ආසියානු යොවුන් බොක්සිං ශූරතා තරගාවලිය - 2022 සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 06 දෙනෙකු අතරින් ක්‍රීඩිකාවන් දෙදෙනෙකු රිදී සහ ලෝකඩ පදක්කම් දිනා ගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත අද (31) අලුයම පැමිණියෝය.

මෙහිදී ප්ලයිවේට් බර පංතිය යටතේ තරග වැදුන ශ්‍රී ලාංකික ක්‍රීඩිකා උත්පලා සෙව්වන්දි රිදී පදක්කම දිනා ගැනීමට සමත් වී සිටියාය.

ඇය ඉංගිරිය ප්ලෙක්සි කෙයාර් බොක්සිං සමාජය නියෝජනය කරන ක්‍රීඩිකාවකි.

මීට අමතරව බැන්ටම්වේට් බර පංතිය යටතේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින්  තරග වැදුන පී.ඒ.අයි.මල්ෂානි එහිදී ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වී සිටියාය.

ඇය නාරන්දෙනිය බොක්සිං ක්‍රීඩා සමාජය නියෝජනය කරන ක්‍රීඩිකාවකි.

මෙම ජයග්‍රාහී ක්‍රීඩිකාවන් ඇතුළු අනෙකුත් ශ්‍රී ලාංකික බොක්සිං ක්‍රීඩකයන් පිරිස අද (31) අලුයම 12.45 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.