(දයාරත්න ඇඹෝගම)

වසර 88 ක සිරදඬුවමක් නියම වී ජනාධිපති සමාවෙන් නිදහස් වී පැමිණ අනියම් සැමියා සමග ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් අළෙවිකරමින් සිටි කාන්තාවක හෙරොයින් ග්‍රෑම් 12 ක් සමග පෙරේදා (12) අනුරාධපුර නගරයට ආසන්න රත්නායකපුරදී අත් අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය පවසයි.

මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 35 ක කාන්තාවක් හා ඇගේ අනියම් ස්වාමි පුරුෂයා බව කියන වයස අවුරුදු 40 ක තැනැත්තෙකි.

සැකකාර කාන්තාව කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිය වන අතර සැකකරු පූගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම කාන්තාව හා ඇගේ නීත්‍යනුකූල සැමියා විසින් ඉතාලියේ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල අයවළුන්ගෙන් ලක්ෂ ගණනින් මුදල් වංචා කිරීමත් මත්ද්‍රව්‍ය අළෙවිය ආදී දූෂණ ක්‍රියාවන් සඳහා වරදකරුවන්වීමත් නිසා වසර 88 ක සිරදඬුවමක් නියම වී ඇත.

එම සිරදඬුවම වසර 13 ක් ගෙවා දැමීමෙන් පසු මීට මාස හතර හමාරකට පෙර කාන්තාවට පමණක් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලැබිණ.

මොවුන් දෙදෙනා මාස හතර හමාරකට අධික කාලයක් අනුරාධපුර හා ඒ අවට ප්‍රදේශවලට ඊසිකෑෂ් ක්‍රමය යටතේ හෙරොයින් අළෙවිකර ඇති බව පොලීසිය පවසයි.