( තිළිණි ද සිල්වා )

5 වැනි බිම්ස්ටෙක් සමුළුව ලබන වසරේ මුල් භාගයේ දී කොළඹ දී පැවැත්වීමට ශ්‍රී ලංකාව උනන්දු වන බවත්, ඒ අනුව සාමාජික රටවල් සමඟ සාකච්ඡා කර රැස්වීම පවත්වන දිනය දැනුම් දෙන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද  (16)  බිම්ස්ටෙක් මහලේකම් ටෙන්සින් ලෙක්ෆෙල් මහතා වෙත දැනුම් දී ඇත.

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් එල්ල විය හැකි අභියෝග අවම කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සාර්ථක එන්නත්කරණ වැඩසටහන යටතේ, පුද්ගලික වශයෙන් සහභාගී වීමට හැකි වන පරිදි බිම්ස්ටෙක් සමුළුව සංවිධානය කරන බවද අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා බිම්ස්ටෙක් මහලේකම්වරයා වෙත වැඩිදුරටත් දැන්වූ බව විදේශ අමාත්‍යාංශය කියා සිටී.

බංග්ලාදේශයේ ඩකා හි පැවැත්වෙන 21 වැනි ඉන්දියන් සාගර වටද්දර රටවල සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල රැස්වීම අතරවාරයේ දී,  විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද  (16) දින බිම්ස්ටෙක් මහලේකම් ටෙන්සින් ලෙක්ෆෙල් මහතා හමුවී සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී මෙම දැනුම් දීම කර ඇත.

ශ්‍රී ලංකාව එහි සභාපතිවරයා ලෙස ආයතනික ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කළ අතර, බිම්ස්ටෙක් ප්‍රඥප්තිය අවසන් කිරීමටත්, බිම්ස්ටෙක්හි අනාගත ක්‍රියාකාරකම් කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා සාමාජික රටවල් අතර සහයෝගීතාවයේ කිරීමටත් සමත් වූ බව අමාත්‍ය පීරිස් මහතා මෙහිදී එම මහලේකම්වරයා හමුවේ කීවේය.