(දිල්රුක්ෂි ග්‍රේරු) 
 
ඛනිජතෙල් සේවකයින්  ඉන්ධන බෙදාහැරීම මුළුමනින්ම නවත්වා දමා අද (29) උදෑසන සිට  වැඩ වර්ජනයක් අරඹා තිබේ.


දෙමඩගොඩ  ඛනිජතෙල් සංස්ථා මුලස්ථානයේදී ඊයේ (28)  සිදු වු වෙඩි තැබීමකින්  පසු තරුණයකු මිය යාමේ සිද්ධියත් සමඟ හිටපු ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා  අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් ඔවුන් මෙම වර්ජනය අරඹා ඇත.


වර්ජනය හේතුවෙන් මේ වන විට ඉන්ධනහල් අසළ දිගු පෝලිම් දකින්නට  ලැබෙන අතර ඇතැම් පිරිස්  ඊයේ රාත්‍රියේදීම ඉන්ධහල්හි රැදී සිටිමින් ඉන්ධන ලබාගත් අයුරු දැකිය හැකි විය.


හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඊයේ සවස  ඛනිජතෙල් සංස්ථා පරිශ්‍රයට ඇතුළු වීමට උත්සාහ දරද්දී ඇති වු කලබලකාරී තත්ත්වයෙන් පසු  ඇමැති ආරක්ෂකයකු එල්ල කළ වෙඩි පහරකින්  සංස්ථා සේවකයින් තිදෙනකු බරපතල තුවාල ලබා  කොළඹ ජාතික රෝහල ඇතුළු කළ අතර  බරපතල තුවාල ලැබු එක් පුද්ගලයෙක් මිය ගියේය.


වෙඩිතැබීම සිදු කළ  හිටපු ඇමැති ආරක්ෂකයා අත්අඩංගුවට ගත් නමුත්  එක් අයකු මිය යාමේ සිද්ධියත් සමඟ තත්තවය තවත් උණුසුම් වු අතර  හිටපු ඇමැතිවරයා ද අත්අඩංගුවට ගන්නා ලෙසත් නැතිනම් වර්ජනයක් අරඹන බවත් සේවකයෝ පැවසු අතර මේ වන විටත් ඔවුන්ගේ ඉල්ලීම් ඉටු නොවීම නිසා මෙලෙස වර්ජනය අරඹා ඇත.


ඛණිජතෙල් සංස්ථා වෘතිය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩි.ජේ රාජකරුණා මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ අද උදෑසන සිට තෙල් බෙදාහැරීම නවත්වා වර්ජනයක් අරඹා ඇති බවත්, වර්ජකයන්ගේ ඉල්ලීම ඉටු පසු වර්ජනය නතරවනු ඇති බවයි.

 

(ඊයේ රාත්‍රීයේ කොළඹ අවට ඉන්ධන පිරවුම්හල් අසල)

ඡායාරූප - ළහිරු හර්ෂණ

 

අද උදෑසන නෙළුම් පොකුණ අසළ ඉන්ධන පිරවුම්හල ආසන්නයේ දකින්නට ලැබුණු දිගු පෝලිම්
 ඡායාරූප - දිමුතු සඳරුවන්

 

( අද උදෑසන ගාල්ල නරගරයේ ඉන්ධන පිරවුම්හල් අසල)ඡායාරූප - ජේ.කේ.එල්.එම්.චාමින්ද