
(සුජිත් හේවාජුලිගේ)
විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට ඉදිරි මැතිවරණවලදී ඡන්ද ප්‍රකාශ කිරීමේ අවස්ථාව සලසාදීමට රජය මූලික කටයුතු ආරම්භ කර ඇත.
මේ සම්බන්ධයෙන් කරැණු සොයා බැලූ රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ කමිටුව ඉදිරිපත් කළ වාර්තාව මෙන්ම මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපත් කළ වාර්තාව මේ දිනවල අධ්‍යයනය කරගෙන යන බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
මැතිවරණ කොමිෂන් සභාව විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට විදේශීය තානාපති කාර්යාලවලදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දිය හැකි බවට සිය වාර්තාවෙන් යෝජනා කරන බව කී අමාත්‍යවරයා මාර්ගගත ආකාරයට (ON LINE ) ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව සැලසිය යුතු බව අමාත්‍යාංශ කමිටුව යෝජනා කරන්නේ යැයිද ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් සුවිශේෂ තාක්ෂණික වැඩපිළිවෙළක් අවශ්‍ය හෙයින් ඒ සඳහා මූලික පියවර ගනිමින් සිටින බවද විජිත හේරත් මහතා පැවසීය.
විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට මෙරට මැතිවරණවලදී ඡන්ද ප්‍රකාශ කිරීමේ අවස්ථාව සලසා දෙන්නැයි යන්න කාලයක සිට කෙරෙන ඉල්ලීමකි.
මේ අතර රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්්‍ය චන්දන අබයරත්න මහතා පවසන්නේ පළාත් සභා හැර අනෙකුත් මැතිවරණ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳව අදහස් දැන ගැනීමට සියළුම දේශපාලන පක්ෂ ලබන මාසයේ කැඳවීමට තමා බලාපොරොත්තු වන බවයි.
විදේශයන්හි ජීවත් වන හෝ සේවය කරන සමස්ත ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව ලක්ෂ 30ක් පමණ වන බවට ඇස්තමේන්තු කර ඇත.
එක්සත් ජාතීන්ගේ ජනගහන අංශයේ (UN DESA) දත්තවලට අනුව, ශ්‍රී ලංකාවේ ඉපිද දැනට විදේශ රටවල ජීවත් වන සංඛ්‍යාව ලක්ෂ 15ක් (1,492,103) පමණ වේ. මෙය ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් සියයට 7 කට ආසන්න ප්රමාණයකි. (මෙම සංඛ්‍යාවට විදේශයන්හි උපත ලැබූ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දෙවන හෝ තෙවන පරම්පරාවේ පුද්ගලයින් ඇතුළත් නොවේ).
විදේශ රටවල ස්ථිර පදිංචිය ලබා ඇති පිරිස් සහ ඔවුන්ගේ විදේශයන්හි උපන් දරුවන් ඇතුළු සමස්ත ශ්‍රී ලාංකික ඩයස්පෝරාව ලක්ෂ 20 සිට ලක්ෂ 30 දක්වා වන බව ශ්‍රී ලංකා සංක්‍රමණික අධ්‍යයන සහ රාජ්‍ය තාන්ත්‍රික වාර්තා පෙන්වා දෙයි.
එසේම ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානයේ (IOM) වාර්තාවලට අනුව, රැකියා සඳහා විදේශගත වී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සංඛ්‍යාව මිලියන 1.7 ඉක්මවයි. ශ්‍රී ලංකා රජයේ නවතම දත්ත අනුව 2026 වසර වනවිට මැදපෙරදිග කලාපයේ පමණක් ශ්‍රී ලාංකිකයෝ 1,007,855 ක් සේවය කරමින් හෝ ජීවත් වෙමින් සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd