(නිමල කොඩිතුවක්කු)

මේ මොහොතේ හෝ සර්වපාක්ෂක හමුවක් කැඳවා කොරෝනා වසංගතයේ ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා  වැඩපිළිවෙළක් සකස් කරන ලෙස සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් කරයි.

දෙවසරක් තිස්සේ රට මුහුණ දී සිටින්නේ ජාතික මෙන්ම ජාත්‍යන්තර උවදුරකට බැවින් එවන් අවස්ථාවක හුදෙක් හිතුවක්කාරී ලෙසත්, තනිව විසඳුම් සොයනවාට වඩා සාමූහික ප්‍රයත්නයක් තුළින් විසඳුම් සෙවීමේ වැදගත්කම ආණ්ඩුව තේරුම් ගත යුතු බවත් විපක්ෂ නායකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

  "මෙවන් තත්ත්වයන්ට මුහුණ දී සිටින බොහෝ රටවල් සිය ජනතාව උදෙසා කෙටිකාලීන,මධ්‍යකාලීන සහ දිගුකාලීන වැඩපිළිවෙලවල් ආරම්භකොට ඇති අතර ඒ් කිසිවක් පිළිබඳව මෙරට ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැත. ඒ් වෙනුවට ආණ්ඩුව එදිනෙදා යම් යම් මාතෘකා ඉස්මතු කරමින් ‘එදාවේල’ වැඩපිළිවෙලක් පමණක් ක්‍රියාත්මක කරමින් සිටී.

දෙවසරක් තිස්සේ රට මුහුණ දී සිටින්නේ ජාතික මෙන්ම ජාත්‍යන්තර උවදුරකය. එවන් අවස්ථාවක හුදෙක් හිතුවක්කාරී ලෙසත්, තනිව විසඳුම් සොයනවාට වඩා සාමූහික ප්‍රයත්නයක් තුළින් විසඳුම් සෙවීමේ වැදගත්කම අපි නිරන්තරයෙන්ම අවධාරණය කළ නමුත් අඩු තරමේ මේ ව්‍යසනය උග්‍ර අවස්ථාවේ හෝ සර්වපාක්ෂික හමුවක් කැඳවීමටවත් ආණ්ඩුව කටයුතු කළේ නැත. මේ වනාහී තනිව දේශපාලන වාසිය බලා තීන්දු තීරණ ගතහැකි අවස්ථාවක් නොවන බව නැවත මතක් කරමි.

එදිනෙදා ආසාධිතයින් සහ මරණ ගණන ඉහළ යනවිට එය වෙනත් රටවල ගණනින් සංසන්දනය කරමින්  ආණ්ඩුව හුදෙක් කාලකන්නි සතුටක් ලබමින් සිටින අතර එහි වන්දිය නිසැකවම ආණ්ඩුවට ගෙවන්නට වනු ඇති බව අවධාරණය කරමු" යැයි ද එහි සඳහන් වේ.