(ඩයනා උදයංගනී)

පාසලක අරමුණ විය යුත්තේ සාමාන්‍ය පෙළ ‘ඒ සාමාර්ථ’ 9ක් හා උසස් පෙළ විශිෂ්ඨ සාමාර්ථ 4ක් ලබාගන්නා සිසුන් බිහිකිරීම පමණක් නොවන බවත්, සාර්ථක පාසලක් ලෙස ආඩම්බර වීමට නම් උගත් මෙන්ම යහපත් පුරවැසියන් බිහිකළ යුතු බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.

රටේ අනාගතය හා අනාගත නායකත්වය වෙනුවෙන් යහපත් පුරවැසියන් බිහිනොකළොත් පාසල් පද්ධතිය අසාර්ථක බව ද කාදිනල්තුමෝ කීහ.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ මේ බව පැවසුවේ බම්බලපිටිය, ශාන්ත පීතර විදුහලට වසර 100ක් සම්පූර්ණවීම නිමිත්තෙන් එම විද්‍යාලයේදී අද (18) පැවති සැමරුම් උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

මරදාන ශාන්ත ජෝශප් විදුහලේ ශාකාවක් ලෙස එහි හිටපු අදියුරු මොරිස් ලෙ ගොක් පියතුමාගේ ප්‍රධානත්වයෙන් 1922 වසරේ බම්බලපිටියේදී ඉදිකළ මෙම විදුහල 1926 ජූනි 10 වන දින ශාන්ත පීතර මුනිතුමන් නමින් වෙනම විදුහලක් බවට පත්කර ඇත.

විදුහලේ ජුබිලි වර්ෂය ප්‍රකාශයට පත්කිරීම, ජුබිලි ආරම්භක දිව්‍ය පූජා මෙහෙය පැවැත්වීම සහ සියවන සංවත්සරය නිමිත්තෙන් සමරු මුද්දරයක් හා මුල්දින කවරයක් එළිදැක්වීම ඇතුළු කටයුතු රැසක් කොළඹ අගරදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදුවිය.

ඡායාරූප - රුෂිරු කොළඹතන්ත්‍රිගේ