(නිමල කොඩිතුවක්කු)


පාසල් සිසුන් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් හදුන්වා දෙනු ලැබූ සුරක්ෂා  රක්ෂණාවරණය මේ වනවිට අතරමඟ නතරවී ඇතැයි ලංකා ගුරු  සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින්  මහතා පැවැසීය.


එම රක්ෂණය ඔක්තෝබර් මාසය වනතෙක් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව මගින් ක‍්‍රියාත්මක කරනු ලැබුවත්  රක්ෂණ සංස්ථාවට ලබා දී ඇති කාල සීමාව අවසන් වීමෙන් සුරක්ෂා රක්ෂණයට කුමක් සිදුවන්නේද යන්න පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මෙතෙක්  කිසිදු පැහැදිලි කිරිමක් සිදුකර නොමැති බවද ස්ටාලින් මහතා සදහන් කළේය.


මෙම  රක්ෂණාවරණය සදහා රජය මගින් රුපියල් මිලියන 2700ක් වියදම් කර ඇතත් සිසුන් ඉන් ප‍්‍රතිලාභ හිමි කරගෙන ඇත්තේ රුපියල් මිලියන 237ක් පමණක් බවද ඔහු පැවැසීය.


රක්ෂණය වෙනුවට ළමා රෝහල් ඇති කිරීම, පාසල්වල සෞඛ්‍ය සායන හා දන්ත සයන පැවැත්වීම හා රෝග වැළැක්වීමේ ක‍්‍රියාමාර්ග ගත්නේ නම් මෙයට වඩා ප‍්‍රායෝගික බවද ජෝෂප් ස්ටාලින් මහතා කීය. 


සුරක්ෂා රක්ෂණාවරණය මගින් ලක්ෂ 45ක් වන සියලූම පාසල් සිසුන්ට රුපියල් ලක්ෂ දෙක දක්වා ප‍්‍රතිලාභ හිමිවන පරිදි මෙම රක්ෂණාවරණය පසුගිය රජය මගින් හදුන්වා දෙනු ලැබීය.