(යොහාන් භාසුර)

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ (2020) ප්‍රතිඵල නිකුත් කරන දිනයක් තවම කිව නොහැකි බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා අද (22) පස්වරුවේ පැවසීය.

ප්‍රතිඵල නිකුත් කිරීම පිළිබඳව ක්‍රමවේදයක් අධ්‍යාපන අමාතයංශයට යොමු ඇති බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ දැනුම්දීම අනුව ප්‍රතිඵල නිකුත් කරන දිනයක් ඉදිරියේදී ප්‍රකාශයට පත්කරන බව සනත් පූජිත මහතා වැඩි දුරටත් පැවසීය.

උද්ගතව ඇති තත්තවයට ගැලපෙන ලෙස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ හැකි ක්‍රම හතරක් සකස් කර විභාග දෙපාර්තමේන්තුව මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යංශයට යොමු ඇති බව දැනගන්නට ඇති අතර එම කිසිඳු ක්‍රමයක් පිළිබඳව අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය මේ දක්වා යොමු වී නොමැති බව ද දැනගන්නට තිබේ.

ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැඩවර්ජනය සහ කොවිඩ් හේතුවෙන් පාසල් වසා තැබීම නිසා සෞන්දර්ය විෂයන්වල ප්‍රායෝගික පරීක්‍ෂණ පැවැත්වීමට නොහැකි වීම හේතුවෙන් පසුගිය මාර්තු මස පැවැත්වූ සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ දක්වා මාස හයක් ගතවී තිබුණ ද නිකුත් කර නොමැත.