(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂ නායකත්වය සඳහා සජිත් ප්‍රේමදාස මහතා පත් කර ගත යුතු යැයි මන්ත්‍රීවරුන් පනස් දෙදෙනකු සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අද (16) එකඟතාව පළ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවැසීය.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුදයට විසඳුමක් ලබාගැනීම සඳහා පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අද සවස සිරිකොත පක්ෂ මූලස්ථානයට රැස්විය.
එම කණ්ඩායම් රැස්වීම සඳහා මන්ත්‍රීවරුන් 65 දෙනකු සහභාගි වූ බවත්, ඉන් මන්ත්‍රීවරුන් පනස් දෙදෙනකු සජිත් ප්‍රේමදාස මහතා නායකත්වයට පත්කර ගත යුතු බවට කැමැත්ත පළ කළ බවත් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේය.
මන්ත්‍රී කණ්ඩායමේ මත විමසුමක් ලෙස මෙම කැමැත්ත පළ කිරීම සිදුවූ බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයකගේ කැමැත්ත පරිදි සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පුළුල් සන්ධානයක් පිහිටුවා ඉදිරි මහ මැතිවරණයට සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් තරග කරන බව කී මද්දුම බණ්ඩාර මහතා, ඉදිරි දින කීපයේදී මේ තීරණය පිළිබඳ සහෝදර පක්ෂ සමඟ සාකච්ඡා කර අගමැති අපේක්ෂක ලෙස ද ප්‍රේමදාස මහතා පත් කර ගැනීමට කටයුතු කරන බව කීවේය.
බහුතර මතයට ගරු කර ව්‍යවස්ථානුකූලව අවශ්‍ය කටයුතු කිරීම සඳහා පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය සහ පක්ෂ සම්මේලනය කැඳවන ලෙස ඉල්ලා සිටින බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පක්ෂයේ සමගිය ආරක්ෂා කරගෙන ඉදිරි කටයුතු කරන්නට බලාපොරොත්තු වන බවත්, කරු ජයසූරිය මහතාගේ හා රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකත්වය ඇතිව සජිත් ප්‍රේමදාස මහතාගේ පක්ෂ නායකත්වය හා අගමැති අපේක්ෂකත්වයන් ඉදිරි මැතිවරණයට තරග කරන බවත් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කීය.
මෙහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කීවේ, නායකත්වය තෝරා පත් කර ගැනීම සඳහා මත විමසුමක් තබන ලෙස ඉල්ලා සිටියද ඊට ප්‍රතිචාරයක් නොලැබුණු හෙයින් රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් සජිත් ප්‍රේමදාස මහතාගේ නම පක්ෂ නායකත්වය සඳහා යෝජනා කරන ලද බවය.
තමා ඒ යෝජනාව ස්ථිර කළ බවත්, ඒ අනුව හෙට (17) සිට ඉදිරි සංධානයේ වැඩකටයුතු අරඹන බවත් හරීන් ප්‍රනාන්දු මහතා කීය.
පක්ෂය කුමන තීරණයක් ගන්නවාද කියන කාරණයට වඩා බහුතර මතය අනුව සජිත් ප්‍රේමදාස පක්ෂ නායක ලෙසත්, ඉදිරි මැතිවරණයේ අගමැති අපේක්ෂක සහ පක්ෂයේ නායක ලෙසත් පත් කර ගැනීමට යෝජනා වූ බවත්, ඒ අනුව ඉදිරියේදී ව්‍යවස්ථානුකූලව ඉදිරියට යන්නට තීරණය කළ බවත් හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
පක්ෂ නායකත්වය තෝරා පත් කර ගැනීමේ සාකච්ඡාව පිළිබඳව අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කීවේ, එකඟතාවයකින් තොරව රැස්වීම අවසන් වූ අතර, අවසන් තීරණයක් ගැනීම සඳහා ලබන සඳුදා හෝ අඟහරුවාදා නැවත වරක් හමුවක් කැඳවීමට තීරණය වූ බව කීය. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස සහ කරු ජයසූරිය මහත්වරුන් එලෙස හමුවී සාකච්ඡා කර තීරණයක් ගැනීමට යෝජනා වූ බව ද පක්ෂ මහා ලේකම්වරයා සඳහන් කළේය.
පක්ෂ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ නම යෝජනා කළැයි කියන කතාව පක්ෂ ව්‍යවස්ථාවට පටහැනි බව කී මහා ලේකම්වරයා, අදාළ තීරණය ගන්නා අවස්ථාවේ පක්ෂ නායක හෝ මහ ලේකම් හෝ වගකිවයුතු තනතුරක් දරන කෙනකු එහි නොසිටි බව ද සඳහන් කළේය. එවැනි මත විමසුමක් සඳහා මන්ත්‍රී කණ්ඩායමේ සූදානමක් නොතිබූ බවත්, ඇතැම් මන්ත්‍රීවරුන් මෙදින රැස්වීමට නොපැමිණි බවත් මහ ලේකම්වරයා සඳහන් කළේය.
මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසන් කොට පක්ෂ නායකයා නිල කාමරයෙන්ද පිටව ගිය පසු අදාළ මත විමසුම කර ඇති බව දැනගන්නට තිබෙන බවද, පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අද (16) පස්වරු 5ට පමණ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී රැස්විය.
නායකත්ව මණ්ඩලයක් පිළිබඳව මෙහිදී මන්ත්‍රී පිරිසක් යෝජනා ඉදිරිපත් කර ඇති අතර, සජිත් ප්‍රේමදාස මහතාට හිතවත් මන්ත්‍රී පිරිසක් ඊට එරෙහිව අදහස් පළ කිරීමත් සමග මන්ත්‍රී කණ්ඩායම අතර උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ. පැය කීපයක් වාද විවාද කෙරෙමින් මන්ත්‍රී කණ්ඩායමේ අවසන් එකඟතාවක් නොමැති වූ බැවින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත පක්ෂ මූලස්ථානයේ නිල කාමරයට ගොස් තිබේ. පසුව මන්ත්‍රී කණ්ඩායම පක්ෂ නායකත්වය පිළිබඳ මත විමසුම පවත්වා ඇත.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම වාද විවාද මැද පැය පහක් පමණ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණි.
මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුළු මන්ත්‍රීවරුන් මාධ්‍යයට අදහස් පළ කරමින්.
(ඡායාරූපය - චතුර එස්. කොඩිකාර)






COMMENTS
මෙව්වා නිකන් සංදර්ශන විතරයි, සියයට අනු නවයක් කැමති වුනත් තනි අලියා තමන්ට ඕනදේ කරන්න පුළුවන් විදියට තමයි පක්ෂෙ ව්‍යවස්ථාව හදාගෙන තියෙන්නේ. මෙය රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ටික ටික කෑල්ලෙන් කෑල්ල ඇඟට නොදනී වෙනස්කරගෙන ආවෙත් ඔයවිදියටම වැඩ කරන්න තමයි. දැන් තියන ඡන්ද ක්‍රමේට අපි ඡන්දෙ දෙන්නේ පක්ෂ ප්‍රතිපත්තිවලට කියනවා. අන්තිමේ බලපුවම පක්ෂයක් කියන්නේ ඒකාධිපතියෙකුට අයිති තැනක්. අන්තිමේ අපි ඒකාධිපති පාලනයකට පාර හදාගෙන තියෙන්නේ. මෙවර මහා මැතිවරණයෙන් මේ පක්ෂ ක්‍රමය සහ සමානුපාතික ක්‍රමය තවදුරටත් තහවුරු කරනවා නම්, පක්ෂ වල තිබිය යුතු ප්‍රජාතන්ත්‍රවාදී ගති ලක්ෂනත් ව්‍යවස්ථාවෙන්ම පැහැදිලි කල යුතුයි. ඒ වගේම ඕනෑම පක්ෂ සාමාජිකයෙකුට මහමැතිවරණයකට ඉදිරිපත්වීමට සුදුසුකම් ලැබීමට හැකිවන ලෙස මුලික මැතිවරණ මැතිවරණ දෙපාර්තමේන්තුව මගින්ම පැවැත්විය යුතුයි. එසේ නොමැතිව මෙවැනි පක්ෂයක නායකයෙකු රටේ විධායක තනතුරකට පත්වුනොත් ඒ රටේ අවසානයි.
තණ්හාය ජායති සෝකෝ.
රනිල් කණ්ඩායම පිළිකුල් සහගතයි. මහින්දට කෙලින්ම උදව් කරා නම් මෙයට වඩා නම්බුකාරයි. වහාම පක්ෂයේ වැඩි කැමැත්තට හිස නමව්. ජනතාවගේ කැමැත්ත සජිත්...
කෘත්‍යාධිකාරි මණ්ඩලය සහ පක්ෂ සම්මේලනය කැඳවන්න කලින් පොරොන්දුවුනු අවුරුදු 3 ගියාම කලින් කිව්වේ සජිත් රනිල් අවුරුදු 3ක් එම තනතුරු වල ඉන්නවා කියල නේද? හරිනම් තමුන්ගේ ආසනේ පැරදිච්ච අය ඉල්ලා අස්වෙන්න ඕනේ. මේ අය තව බලය ඉල්ලනවා රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී. කොහොමහරි යූ.එන්.පී එක දෙකට කඩලා රාජපක්ෂලගේ ආශාව ඉෂ්ට කරන්න.
පිස්සන් කොටුවක සීන් එකක්...වගේ...අනේ වැදගත් පක්ෂයකට ගිය කලක්...
මේකද මේ, වැදගත් පක්ෂයක වැදගත් සාමාජිකයන් මහජයාට දෙන ආදර්ශය. ප්‍රාදේශීය සභාවටත් සුදුසු නැහැ.
ප්‍රංශ කාල තුවක්කු හමුදාවේ සාමාන්‍ය සෙබලෙකු වූ නැපෝලියන් ක්‍රමක්‍රමයෙන් ඉහලට නැගී ප්‍රංශ අධිරාජයා බවට පත් වුනා. ඔහුගේ අසාමාන්‍ය මහා පෞරුෂය සහ නායකත්ව ගුණාංග නිසා. ජනතාව ඔහුට ජීවිත පරිත්‍යාගයෙන් ආදරය කළා. ඒ වගේ ජනතාවගේ ආදරය දිනාගත්තොත් සජිතුත් රජ වෙයි. දැනේ සිද්දවෙන්නේ වටේ ඉන්න කට්ටිය එකතුවෙලා ඔහුව අල්ලලා සිංහාසනේ ඇතුලට ඔබන්න හදන තත්වයක් වගේ මට පේන්නෙ.
බලහත්කාරයෙන් නායක කම් ගැනීමක්.. එයාගේ පියත් හැමදාම කළේ තමන්ට වුවමනා දේවල් ලබාගැනීමයි. රංජන්ටත් වඩා භයානක නළු බට්ටෙක්... මිනිස්සු රවටන එකයි කරන්නේ.. ගොන්නු ටිකක් ඉඳලා අත්පුඩි ගහනවා.
සමහර ගෙවල්වල තාත්තත් ඔය වගේ හැසිරෙනවා. ළමයින් ලොකු වුණාම තාත්තා තවමත් ගෙදර ලොක්කා තමා නිසා ඔක්කොම මම කියන විදියට ඉන්න ඕනේ කියලා හිතනවා. ළමයින් එක්ක ජීවත් වෙන්න දැන ගන්න ඕනේ.. ඔවුන්ට කන් දෙන්න ඕනේ කියලා හිතන්නේ නැහැ. අන්තිමේ ළමයින් ඔක්කොම බොහෝවිට අම්මත් එක්ක ගෙදරින් ගියාම තනිවෙලා මැරිලා යනවා. රනිල් ලොක්කටත් වෙන්න යන්නේ ඕකයි. උපදේශකයෙක් විදියට තනතුර බාරගෙන නායකත්වය කියන කටු ඔටුන්නෙන් අයින් වෙන්නම ඕනේ...
කිසිම විභාගයක් සමත් නැති, කිසිම දවසක රැකියාවක් කරලා නැති, තමන්ට රටට කවදාවත් සතයක් රුපියලක් උපයා නැති... අරුම පුදුම විපක්ෂ නායක අගමැති කරමු...
තමන්ගේ පක්ෂයේ ප්‍රශ්න විසදාගන්න බැරි ඔයාලා කොහොමද අනේ මේ රටේ ප්‍රශ්න විසදන්නේ. තව දුරටත් බොරුවට මේ රටේ මිනිස්සු මුලාවේ දාලා මේ රට තව තවත් අගාදයකට ඇදල දාන්නේ නැතුව රට හරියට කරගෙන යන කෙනකුට කරගෙන යන්න ඉඩ දීලා පැත්තකට වෙලා පාඩුවේ ඉන්න.
සජිත්ව නායකත්වයට පත් කරන්න නායකයෙකුට තිබියුතු ලක්ෂණ එකක්වත් තියෙනවද ? ජනාදිපතිවරණ වේදිකාවේ දාපු ගොන්පාට් මිනිස්සු ඇස් දෙකෙන් දැක්කා. කියපු ගොන් කතා කන් දෙකෙන් ඇහැව්වා. අනික තමන් පාලනය කරපු නිවාස අමාත්‍යාංශයේ වෙලා තියෙන මුල්‍යය අක්‍රමිකතා පත් කරපු ජනාදිපති කොමිසමෙනුත් ඔප්පු වෙලා ඉවරයි. රටක් දුන්නොත් කොහොමට හිටීද??
අරාබියෙන් ජාතික ගීය කියන්න ඕන අයගෙයි , ඊළාම් සිහිනය දකින අයගෙයි ඡන්ද වලින් රජ වෙලා රටටම වින කටින්න සිංහල බෞද්ධයාට පහර දී එළවන්න සැළසුම් හදාගෙන හිටි මිනිසුන්ට තමන්ගේ පක්ෂය ඇතුලෙම තියෙන ගැටලු නොදිරන කුණු කන්දක් බවට පත් වෙලා. දැන් ඔය ආකල්ප රටට නොගැළපෙන බව තේරුම් ගනීද ?
මෙයා අයින් වෙන්නත් නැහැ. පක්ෂ ව්‍යවස්ථාවට අනුව අයින් කරන්නත් බැහැ. එකට ගැළපෙන මහා ලේකම් කෙනකුත් ඉන්නවා. ඒ නිසා තවදුරටත් කල්මරන්නේ ඉනැතුව නව පක්ෂයක් පටන් ගන්න එක වඩා හොඳයි.
2030 තෙක් අපේ නායකයා ගරු රනිල් මැතිතුමා පමණයි.
අනේ පව් නොදී වෙනින් පක්ෂයක් හදාගෙන තරග කරන්න.
වතුරේ ගහගෙන යන කෙනා පිදුරුගහෙත් එල්ලෙනවාලු. එජාප මන්ත්‍රීලා නොවැම්බර් පරාජයෙන් හා රන්ජන් කෙරුවාවෙන් දැන් බෙරේට ගහගෙන යනවා ඒ නිසා තමයි සජිත්ගේ රෙද්දේ එල්ලෙන්නේ. අන්තිමට වෙන්නේ ඒ රෙද්දත් කඩාගෙන බෙරේට වැටෙන එකයි.