(සුජිත් හේවාජුලිගේ )

කොරෝනා තෙවැනි රැල්ල පාලනය සඳහා දිවයින පුරා පනවනු ලැබූ සංචරණ සීමා හරියටම මාසයකට පසුව හෙට (21)අලුයම 4.00ට දැඩි කොන්දේසිවලට යටත්ව ඉවත් කෙරේ .

සෞඛ්‍ය අංශ විශේෂඥයන්ගේ උපදෙස් මත රජය විසින් දිවයින පුරා සංචරණ සීමා පණවනු ලැබූවේ පසුගිය මැයි මස 21වැනිදාය .

සංචරණ සීමා පනවනු ලැබූ කාලයේදී රජයට සිදු වූ පාඩුව රුපියල් කෝටි 45,000 කට වැඩි යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය .

සංචරණ සීමා අද ඉවත් කෙරුණද එම සීමා අනිද්දා (23)රාත්‍රී 10 ට යළි පනවා ලබන 25 වැනි දා සිකුරාදා අලුයම 4.00ට ඉවත් කෙරෙන බව කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියා ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය .

පොසොන් උත්සවය ලබන 24 වැනිදාට යෙදෙන හෙයින් අනවශ්‍ය සංචරණ වැළැක්වීම සඳහා එම දින කිහිපයේදී මෙලෙස සංචරණ සීමා පැණවෙන බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය .

සංචරණ සීමා අද ඉවත් කෙරුණද පළාත් අතර සංචරණ සීමා දිගටම ක්‍රියාත්මක කෙරෙන බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය පවසයි .

සංචාරණ සීමා ඉවත් කෙරුණද පහත සඳහන් නීති දිගටම ක්‍රියාත්මක කළ යුතු බව පොලිස් මූලස්ථානය පවසයි .

(1) කාර්යාලවල රාජකාරි සදහා කැදවිය හැක්කේ සීමිත සේවකයන් සංඛ්‍යාවක් පමණි .

(2) නිවසේ සිට රාජකාරි කළ හැකි පිරිස් ඔන්ලයින් ක්‍රමයට ඒ කටයුතු සඳහා යොදා ගත යුතුය .

(3)පොදු ප්‍රවාහන සේවාවන්හි ආසන ප්‍රමාණයට පමණක් මගින් ගෙන යා යුතුය .

(4)සෑම පුද්ගලයකුම මුහුණු ආවරණයක් පැළඳ සිටීම අනිවාර්ය වේ.

(5)නිරෝධායනයට අදාළ නියෝග ඒ ආකාරයටම ක්‍රියාත්මක කළ යුතුය .

(6)පළාත් අතර සංචරණ සීමා එලෙසම ක්‍රියාත්මක වේ .

(7)පළාත් අතර ගමන් කළ හැක්කේ සුවිශේෂවූ හේතුවක් නිසා පමණි .

(7)රැස්වීම්, සම්මන්ත්‍රණ , සාද ,උත්සව ,සන්දර්ශන ,විනෝද ගමන්,විවිධ චාරිකා,වෙරළ සාද සහ වන්දනා ගමන් සඳහා අවසර නොලැබේ.

(9)ගාලුමෝදර වැනි එළිමහන් පොදු ස්ථානවල සාමූහිකව එක්රැස්වීම ද තහනම්ය .

(10)පාරිභෝගික සේවා සපයන ආයතන සුපිරි වෙළඳසල්, වෙළෙඳසල් පවත්වා සෞඛ්‍ය උපමාන යටතේ පවත්වාගෙන යා යුතුය .

(11)සුපිරි වෙළෙඳසල්වල අත්සෝදා ගැනීමට ස්ථානයක් වෙන් කළ යුතුය .

(12) උෂ්ණත්වය පරික්ෂා කිරීමට පුද්ගලයකු යෙදවිය යුතුය .

නිරෝධායන නීති හරියාකාරව ක්‍රියාත්මක වන්නේ වන්නේ දැයි සොයා බැලීමට විශේෂ පොලිස් කණ්ඩායම් රටපුරා අද (21) සිට යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය .