(සුජිත් හේවාජුලිගේ)

සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු නොකරන සහ නිරෝධායන ඇඳිරි නීතිය කඩකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක  කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිස්පතිවරයාට  අද (17) උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මෙසේ උපදෙස් දුන්නේ කොවිඩ්  මර්දන විශේෂ කමිටු රැස්වීමේදීය.

මේ අතර  ජන ජීවිතය සහ ආර්ථික ක්‍රියාවලිය  අඩාල නොවන ආකාරයට  අවශ්‍ය සේවාවන් පෙර පරිදි පවත්වාගෙන යෑමට මෙහිදී උපදෙස් දුන් ජනාධිපතිවරයා සියලු ආර්ථික මධ්‍යස්ථාන අඛණ්ඩව විවෘතව තබන්නැයිද දැනුම් දුන්නේය.

සිසුන් 200ට අඩු  ග්‍රාමීය පාසල් කඩිනමින් හා ආරම්භ කිරීමටද  මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවිය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය වැනි අත්‍යවශ්‍ය මහජන සේවා සපයන ආයතනවල කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එසේම කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවල සහ  ස්වයං රැකියාවන්හි නියැලෙන්නන්ට බාධාවකින් තොරව සිය ජීවනෝපාය මාර්ග කරගෙන යෑමට අවශ්‍ය මඟ පෙන්වීම් ලබාදීමේ වගකීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පැවරෙන බව පැවසූ  ජනාධිපතිවරයා වයස අවුරුදු 15ත් 19ත් අතර දරුවන් සියලු දෙනාට කොවිඩ්  මර්දන එන්නත ලබාදී  අවසන් කරන ලෙසටද  උපදෙස් දුන්නේය.

දරුවන්ට එන්නත් රෝහල්වලදී පමණක් සිදුකරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී දැනුම් දුන්නේය.

මේ අතර ග්‍රාමීය ආයුර්වේද රෝහල්වල පශ්චාත් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපනය කිරීම සම්බන්ධයෙන්ද  මෙහිදී අවධානය යොමු විය.

මෙම සාකච්ඡාවට ආමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ කෙහෙළිය රඹුක්වැල්ල බන්දුල ගුණවර්ධන ඩලස් අලහප්පෙරුම , ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ ,,රෝහිත අබේගුණවර්ධන රමේෂ් පතිරණ, නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සිසිර ජයකොඩි, මහාචාර්ය චන්න ජයසුමන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්  විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා,ඇතුළු නිලධාරීහු පිරිසක්ද සහභාගී වූහ