(බිමල් ශ්‍යාමන්  ජයසිංහ)

කළුතර උතුරු පොලීසිය තුළදී සැකකරුවෙකු වු විශ්‍රාමික ගුරුවරයකුගේ පහරකෑමට ලක්වු  පොලිස් පරීක්ෂකවරයෙකු අද රෝහල් ගත කළ බව කළුතර උතුර පොලිසිය කියයි.

එලෙස රෝහල් ගත කර ඇත්තේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන සිසිර ෆොන්සේකා මහතාය.

ඉකුත් මැතිවරණ සමයේදී කාන්තාවකට පහර දී නිල ඡන්ද පත්‍රිකාව ඉරා දැමීම සම්බන්ධයෙන් සැකකාර විශ්‍රාමික ගුරුවරයාට එරෙහිව පැමිණිල්ලක්  කලුතර ප්‍රදේශයේ  කාන්තාවගෙන් ලැබී තිබූ අතර එම දිනවල සිට මෙම සැකකරු ප්‍රදේශය හැර පලා ගොස් තිබිණි.

අද එම සැකකරු කළුතර බස් නැවතුමේ සිටින බවට ලද තොරතුරක් අනුව එම ස්ථානයට ගිය සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් දැඩි පරිශ්‍රමයක් දරා සැකකරුව අත්අඩංගුවට ගෙන පොලීසියට රැගෙන ඒමෙන් පසු පහරදීම සිදුකර තිබූ බව පොලිසිය සඳහන් කරයි.

සැකකරු සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා පොලිස් පරීක්ෂකවරයා සූදානම් වීමේදී එකවරම පොලිස් නිලධාරියාගේ මුහුණට වැර යොදා සැකකරු අතින් පහරක් එල්ල කර තිබු අතර එම පහරින් පොලිස් පරික්ෂකවරයා විසිවී ගොස් යාබද බිත්තියේ ගැටී ඇතැයි ද පොලිස් නිලධාරියකු පැවැසීය.

පහර කෑ පොලිස් පරීක්ෂකවරයා මේ වන විට  නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.