
(ප්‍රින්ස් රත්නායක)
මෙවර ශ්‍රී පාද සමය මෙම මස 29 දා ආරම්භ වන බව ශ්‍රී පාදස්ථානාධිපති අතිපූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න මහ නායක හිමියෝ අද (27) පැවසූහ.
උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද (27) පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද විහාරස්ථනයේ දී පැවති සමන්දේව ප්‍රතිමාව ඇතුළු සධාතුක කරඩු බැතිමතුන්ගේ වන්දනා මානය සඳහා පිටතට වැඩමවීමේ අවස්ථාවට එක් වෙමිනි.
ශ්‍රී පාද සමය අවසන් වූ පසු සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රී පාදස්ථානයේ සිට පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද විහාරස්ථනයේ පිහිටි විශේෂ කුටියක තැන්පත් කෙරේ.
ඒ ලෙස තැන්පත් කරන සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ නැවත එම විශේෂ කුටියේ සිට පිටතට වැඩම කරවීම සිදු කරන්නේ ශ්‍රී පාද සමය යළි ආරම්භ වීමත් සමඟය.
මෙදින (27) පස්වරුවේ සිට පසු දින උදෑසන (28) දක්වා බැතිමතුන්ට සමන් දේව ප්‍රතිමාව, දේවාභරණ සහ සධාතුක කරඩුව වෙත පූජෝපහාර සිදු කිරීමට අවස්ථාව සලසා ඇත.
28 දින පෙරවරුවේ එම සමන් දේව ප්‍රතිමාව, දේවාභරණ සහ සධාතුක කරඩුව ශ්‍රී පාදස්ථානය දක්වා මාර්ග 04 ක් ඔස්සේ ගමන් කර 29 දින පෙරවරුවේ ශ්‍රී පාදස්ථානයේ තැන්පත් කරයි. ඉන් අනතුරුව ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ වේ. ශ්‍රී පාද සමය 2021 වෙසක් පොහොය දිනෙන් අවසන් වේ.
මෙවර ශ්‍රී පාද සමය රාජ්‍ය උත්සවයක් ලෙස පැවැත්වෙන ප්‍රථම අවස්ථාව ද වේ.
මෙම අවස්ථාවට සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර, පළාත් ප්‍රධාන ලේකම් රංජනී ජයකොඩි, රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.



COMMENTS
මෙම පාද සලකුණ අපගේ ආගමික මූලස්ථානයේ තිබෙන සිද්ධස්ථාන සලකුණ හා සමානය. ඔබතුමන්ලා වැඳ නමස්කාර කරන්නේ අපගේ උරුමයට බැවින් අපගේ සිත් පැහැදෙනවා. ඔබට දෙවි පිහිටයි.
ශ්‍රී පතුලනම් ශ්‍රී පාද කන්දේ තිබෙන්නේ ශ්‍රී පතුල නම් කොහෙන්ද දේවරූපයක් මෙතනට පාත් වුනේ..? ඕක අල්ලලා කන්දෙන් පහළට විසිකරන්න.