(යොහාන් භාසුර)

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටියදී පිරිසිඳු කාරක දියරයක් පානය කිරීමෙන් අසාධ්‍ය තත්වයට පත්ව මියගිය ඉරාන ජාතිකයන් දෙදෙනාගේ ඥාතීන් පශ්චාත් මරණ පරීක්‍ෂණයට සහභාගි වීම ප්‍රතික්ෂේප කර ඇති බව පොලිසිය පවසයි.

එම ඉරාන ජාතිකයන් දෙදෙනාගේ ඥාතීන් පශ්චාත් මරණ පරීක්‍ෂණයට සහභාගිවීම ප්‍රතික්ෂේප කළේ යැයි ඉරාන මහකොමසාරිස් කාර්යාලය දැනුම් දුන් බව කී පොලිසිය ඒ අනුව ඔවුන්ගේ මරණ පරීක්‍ෂණය ඉරාන මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්ගේ ද සහභාගිත්වයෙන් අද (22) පැවැත්වීමට නියමිත බව ද සඳහන් කළේය.  

පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් පසුව මළ සිරුර දෙකක ඉරාන මහකොමසාරිස්  කාර්යාලය බාරදනෙ බවත් ඉන් පසුව ඔවුන් ඉරානයට යවනු ඇති බවත් පොලිසිය වැඩි දුරටත් පැවසීය.

ඉරාන ජාතික සැකකරුවන් 12 දෙනකු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර තුළදී මේ මස 14 වැනිදා රාත්‍රී පිරිසිඳු කාරක දියරයක් පානය කිරීම නිසා ඇති වූ රෝගී තත්වයෙන් රෝහල්ගත කළ අතර ඒ අතරින් මේ දෙදෙනා පමණක් මරණයට පත්වූහ.

හෙරොයින් මත්කුඩු කිලෝ 70 ක පමණ ප්‍රමාණයක් සමඟ 2019 වසරේ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති මෙම ඉරාන ජාතිකයන් දෙදෙනා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රිමාන්ඩ් බාරයේ පසුවූහ.