(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සමගි ජන බලවේගය නැමැති නිවසේ ඔප්පුව තිබෙන්නේ තමාගේ අතේ යැයි පක්ෂයේ සියලු දෙනා හොඳින් සිහියේ තබා ගත යුතු බව පත් කළ මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය(සජබ) පාර්ලිමේන්තුවේ දී අද (8)පැවසුවාය.

මහ වැස්සකට මඟ නන්නත්තාර වී සිටි පිරිසකට තමාගේ ගෙදර නොතෙමී ඉන්න ඉඩ දුන් බව කී ඩයනා ගමගේ මහත්මිය දැන් එම නිවසේ යතුරු මාරු කර ඒ ගෙදර ඔවුන්ගේ යැයි කියන බවද කීවාය.

පක්ෂයේ අයිතිකරුවා ලෙස තමා තවම සමගි ජන බලවේගයේ සිටින බවද ඩයනා ගමගේ මහත්මිය පැවැසුවාය.

තමා පක්ෂයෙන් නෙරපා ඇතැයි ප්‍රකාශ කරන සමගි ජන බලවේගයේ මහ ලේකම් ගැන ලැජ්ජාවට පත්වන බව කී ඩයනා ගමගේ මහත්මිය තමා ඉවත් කළ බව පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අය වත් නොදන්නා බවද සඳහන් කළාය. " මේ අය හැසිරෙන්නේ බබාලා වගේ.මේ පක්ෂය මගේ මහත්තයාගේ සහ මගේ.මේ කරන විහිළු  නවත්වන්න.

සමගි ජන බලවේගයේ ඇතිවෙන්න ප්‍රශ්න තිබෙනවා .ඒ පක්ෂය කෑලි වලට කැඩිලා.නායකයාට වැඩ පිළිවෙලක් නැතැයි පක්ෂයේ අය ම කියනවා.ඇතැමුන් සේනාංක හදා ගෙන ගොස් තිබෙනවා.මෙතැන ඉන්න අය බාගෙට බාගයක් ඇවිත් තිබෙන්නේ මගේ පක්ෂය නිසයි. එසේ නැතිනම් ගොඩක් අයට නාමයෝජනා ලැබෙන්නේ නැහැ.පක්ෂය අයිති සාමාජිකයා වන ලෙස මම හැමදාම සමගි ජන ජනබලවේගයේ ඉන්නවා.අනෙක් අය වගේ මා පඹයෙක් ලෙස නටවන්න හැකිවන්නේ නැහැ මා එසේ නටන්නෙත් නැහැ."යනුවෙන්ද ඩයනා ගමගේ මහත්මිය සඳහන් කළාය.

2021 වසර සදහා වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබද වාර්තාවට අදාළ සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් ඩයනා ගමගේ මහත්මිය මේ බව කීවාය .