ඝාතන හෝ ඒ හා සම්බන්ධ අනෙකුත් විමර්ශනවලදී ඊට සම්බන්ධ නැති පුද්ගලයන් අසත්‍ය ලෙස වරදේ පටලවන අභූත ලෙස සම්බන්ධ කරවන නිලධාරීන් හා ඊට අනුබල දෙන්නන් හා මෙහෙයවන්නන්ගේ සිවිල් අයිතිවාසිකම් ඉවත් කිරීම සඳහා පියවර ගැනීමට ආණ්ඩුව සූදානම් වන බවත් ඒ සඳහා ස්ථාපිත කිරීමට යන විශේෂ ජනාධිපති කොමිෂන් සභාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවත් රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබීමට නියමිත එම විශේෂ ජනාධිපති කොමිෂන් සභාව යටතේ එවැනි නිලධාරීන්ගේ හා පුද්ගලයන්ගේ හැසිරීම හා භාවිතය විමසා බැලීමට නියමිතය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී) සහ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (එෆ්.සී.අයි.ඩී.) යනාදී විමර්ශන ආයතන සහ අනෙකුත් ආයතන ආවරණය වන පරිදි ඉහත කී විශේෂ ජනාධිපති කොමිෂන් සභාව කටයුතු කරනු ඇති බවත් නිලධාරීන්ට අමතරව එම විශේෂ ජනාධිපති කොමිෂන් සභාව මගින් එවැනි කටයුතුවල නිරත වන සිවිල් වැසියන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට නියමිත බවත් වාර්තා වේ.
විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ සොයා ගැනීම් අවසන් වූ පසුව සිවිල් අයිතිවාසිකම් ඉවත් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද පැවැසේ.
විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ සොයා බැලීම්වලට අමතරව අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කළ පොලිස් දෙපාර්තමේන්තුවේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් කෙරෙන බව වාර්තා වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ ප්‍රධානී, ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා හදිසියේම ස්විට්සර්ලන්තය බලා යෑම හේතුවෙන් මෙම පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
නිශාන්ත ද සිල්වා මහතා පසුගිය ඉරිදා ඔහුගේ පවුලේ සාමාජිකයන් ද සමඟ ස්විට්සර්ලන්තය බලා ගිය අතර ඔහු එරට දේශපාලන රැකවරණ ඉල්ලා ඇතැයි ආණ්ඩුවට දැනගන්නට ලැබී ඇත.
නිශාන්ත ද සිල්වා මහතා විමර්ශනය කළ ඉහළ පෙළේ සිදුවීම් අතර ‘සන්ඬේ ලීඩර්’ පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග හා මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ යන මහත්වරුන් ඝාතනය කිරීම සහ ‘ද නේෂන්’ පුවත්පතේ සහකාර කර්තෘ කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධ හිංසා පැමිණවීම යනාදිය ද විය.
එම සිදුවීම් හා විමර්ශනවලදී ඒවාට හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීවරයකු සම්බන්ධ කිරීමට ද උත්සාහයක් ගෙන ඇති බවට ද චෝදනා එල්ල වී ඇත.
නිශාන්ත ද සිල්වා මහතා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ශානී අබේසේකර මහතා යටතේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සම්බන්ධ නැති නිලධාරියකු සමඟ කොළඹ හෝටලයකදී කරන ලද සාකච්ඡාවක් සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වේ. මේ වනවිට රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු වන නීතිඥයකු ද මීට සම්බන්ධ යැයි ද එහිදී කියැවී ඇත.
ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකුගේ වීඩියෝවක් සංස්කරණය කර මුදාහැරීම සම්බන්ධයෙන් ද විමර්ශනය කිරීමට නියමිත බව ද සඳහන් වෙයි.
සංස්කරණය කරන ලද එම වීඩියෝ පටය විදේශීය පාර්ශ්වවල සහාය ද ඇතිව සකස් කර ඇතැයි පොලිසිය සැක කරයි. එම වීඩියෝ පටය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ගෙන ගිය අසත්‍ය ප්‍රචාරණ ව්‍යාපාරයේ කොටසක් බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයකුව සිටියදී ඔහු තවදුරටත් ඇමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසියකු බවට පෙන්වීමටත් ගත් උත්සහායක් බවත් අනාවරණය වී ඇත.
සන්ඬේ ටයිම්ස් ඇසුරිනි
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු සාක්කි දෙනවා නම් කල යුතු දේ නීති පොතේ තියෙද්දී මේ එන්නේ මොකටද? මේ කියන්නේ රාජපක්ෂ පවුලේ අයට එරෙහිව නඩුවලදී හෝ කොමිෂන් සභාවලදී විවිධ පුද්ගලයන් දුන් සාක්කි ඔක්කොම බොරු, අපි දෙන්නම් බැටේ කියන එක මිසක් වෙන කිසිවක් නොවේ.
මම හිතනවා පාර්ලිමේන්තුවේදී එවැනි අසත්‍ය ලෙස වරදේ පටලවන අභූත ලෙස සම්බන්ධ කරවන සහ අසත්‍ය ප්‍රකාශ කරන මහජන නියෝජිතයන්ටත් මෙම නීති අදාළ විය යුතුයි කියලා.
ඉතා හොද වැඩක්. දේශපාලකයන්ගේ වුවමනාවට නොයෙකුත් බොරු චෝදනා එල්ල කරපු ශානි, නිශාන්ත යුගලය ඇතුලු අනෙක් සියලු දෙනාට දඩුවම් දිය යුතුයි. ඉදිරියේදීත් එවැනි දේ සිදු නොවීමටත් වග බලා ගත යුතුයි.
දැන් මෙතන කවුද ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කියන එක තමයි ප්‍රශ්නේ!!!
ඔව් සර් කලින් සැරේ සිදවුණු අතපසුවීම් මේ සැරේ වෙන්න ඕන නෑ කොහොම හරි ඔය ඕනවට වැඩිය කෑගහන ජාති ද්‍රෝහී ප්‍රතිවාදීන් බය කරලා බැරිනම් හිරේ දාන්න ඕන, මොනා හරි කරලා අපේ ආණ්ඩුවක් අවුරුදු දෙසීයක් තියෙන්න ඕන.
බොහොම හරි වැඩක්... හොඳට ඉන්න අයට කිසි ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ රට අගාධයට අරන් යන රටට අවශ්‍ය නැති අයට පමණයි. ජනාධිපතිතුමනි, මුළු රටේම ඉන්න අවශ්‍ය නැති අයට සුද්ද කිරීම සඳහා ඔබ තුමාට අපි බලය ලබාදුන්නේ...
මේ නීතියම දේශපාලකයන්ටත් ගේන්න. තියෙන නීති වලින් කරන්න පුළුවන් වෙලා තියෙද්දී මේ හදන්නේ රජයේ සේවකයනුත් හොර ගුහාවට එකතු කරගන්න. පුදුමයක් නෑ ඉතින්, කැබිනට් මණ්ඩලය කියන්නෙත් හොරු පිරිච්ච තැනක් නේ.
ඔය නීතියම බැරිද පාර්ලිමේන්තුවෙයි, ස්ටේජ් ගානෙයි බොරු චෝදනා ඉදිරිපත් කරන දේශපාලුවන්ටත් එක්කම ගේන්න. එහෙම වුණානම් ලංකාව හුඟක් ලස්සන වෙන්න තිබුණා...