(නාලක සංජීව දහනායක)
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මෙවර අයවැය මගින් යෝජනා කළ පරිදි විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන් සදහා මාසිකව ලබාදෙන දීමනාව රුපියල් 2,000කින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.
මෙම දීමනාව ලබන මස පළමුවැනිදා සිට ක‍්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව විශේෂ හැකියාවන් සහිත පුද්ගලයකු වෙනුවෙන් මෙතෙක් ලබාදුන් රුපියල් 3,000 දීමනාව රුපියල් 5,000 දක්වා ඉහළ යන බව මුදල් අමාත්‍යංශය සදහන් කරයි.
සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශය යටතේ විශේෂ හැකියාවන් සහිත පුද්ගලයන් 32,000ක් පමණ ලියාපදිචිව සිටින අතර තවත් පුද්ගලයන් 40,000 ක් පමණ ලියාපදිංචිය අපේක්‍ෂාවෙන් සිටින බවද අමාත්‍යංශය සදහන් කරයි. එම පිරිසද ඇතුළුව විශේෂ හැකියා සහිත පුද්ගලයන් 72,000 ටම මෙම දීමනාව ලබාදීමට අමාත්‍යංශය තීරණය කර ඇත.
මේ සදහා රුපියල් මිලියන 4350ක මුදලක් වෙන්කර ඇති අතර එම ගෙවීම් සදහා අනුමැතිය ලබාදෙන චක‍්‍රලේඛය මහා භාණ්ඩාගාරය විසින් ප‍්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය වෙත පෙරේදා (11) නිකුත් කර තිබේ.
COMMENTS
අප විස්වාස කරනවා මෙය හොද තීරණයක් බවට. එමෙන්ම එවන් පිරිස් කිනම් හෝ ස්වයං රැකියාවන් කිරීමට අතහිත දෙන්නේ නම් ඒ අයගේ ශ්‍රමය සුළුවෙන් හෝ රටේ දියුණුවට එකතුවෙනවා නොවේද ?
අත් දැකීමෙන් දන්නා දෙයක් තමා, ආබාදිත අයට යම්කිසි පුහුණුවක් ලබා දුන්නුවිට අනිකුත් අයට වඩා ඉහලින් තම කාර්ය ඉටුකරන බව. උදාහරණයක් ලෙස රෙදි විවීම වැනි දේ. දීමනා වැඩිකිරීමත් සමග ඔවුනට කිසිවෙකුට ඇත නොපා ජිවත් වීමේ මාර්ගයක්ද සලසා ගැනීමට අත හිත යොමුකලොත් නරකද?