(නිමල කොඩිතුවක්කු)
 

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් වරාය නගර ව්‍යාපෘතියේ සේවකයන් පිරිසක්  පැවැත්වූ විරෝධතාවයට වරාය නගර ආයෝජන සමාගම  හෝ ව්‍යාපෘතිය සමඟ සෘජු සම්බන්ධතාවයක් නොමැති කොන්ත්‍රාත්කාර සමාගමක් සහ එහි සේවක පිරිසක් අතර ඇති වූවක් බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

වැටුප් වර්ධක ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් වරාය  නගර ව්‍යාපෘතියේ සේවකයෝ පිරිසක් වරාය නගරයේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට ඊයේ(12) විරෝධතාවයක නිරත වූහ.

උද්ගතව ඇති මෙම ගැටළුව නීතිමය රාමුවක් යටතේ කිසිදු පාර්ශ්වයකට අගතියක් නොවන අයුරින් හැකි ඉක්මනින් විසඳා ගන්නා ලෙසට  එකී කොන්ත්‍රාත් සමාගමට වරාය නගර ව්‍යාපෘතියේ ආයෝජන සමාගම උපදෙස් ලබා දී ඇති බවද එම නිවේදනයේ සඳහන්ය.

කොරෝනා වසංගත කාලසීමාවේ දී ඉන්පසු මෙරට තුළ අඛණ්ඩව ක්‍රියාත්මක වන එකම ව්‍යාපෘතිය ලෙස වරාය නගරයේ සේවය කරන 1500 අධික දේශීය සේවක පිරිසක් වෙත කිසිදු අගතියක් නොවන ලෙස රැකියා සුරක්ෂිත කරමින් කටයුතු කරද්දී සුළු කණ්ඩායමක් සිය සේවා යෝජක සමාගම සමඟ ඇතිකරගෙන ඇති වෘත්තීය ගැටළුව පිළිබඳ කනගාටු වන බව ද වරාය නගර ආයෝජන සමාගම සඳහන් කරයි.

විරෝධතාවයේදී ඔවුන් විසින් සිදු කර ඇති පදනම් විරහිත ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවත් සේවකයන් සඳහා සියලු පහසුකම් ලබාදීමට සමාගම කටයුතු කර ඇති බවත් එම නිවේදනයේ තවදුරටත් දැක්වේ.