( තිළිණි ද සිල්වා,රංජන් කටුගම්පොළ සහ මනෝප්‍රිය ගුණසේකර )
පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම සඳහා ඉදිරිපත් කර ඇති "කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත " ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂය , ජනතා විමුක්ති පෙරමුණ , සිවිල් සංවිධාන ඇතුළු පාර්ශව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (15) විශේෂ පෙත්සම් ගොනු කරනු ලැබ ඇත.
එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන, එම පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර ,ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් එහි දේශපාලන මණ්ඩල සභික හා අන්තර් සමාගම් සේවක සංගමයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ ,තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන් ගේ සංගමයේ සභාපති ජී.කමල් රේණුක පෙරේරා , විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු යන මහත්වරුන් විසින් මෙම පෙත්සම් ගොනු කර තිබේ.
මෙහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.
එක්සත් ජාතික පක්ෂයේ ලේකම්වරයා සහ සභාපති වරයා විදාන පතිරණ නීතීඥ සමාගම මගින් ද , තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන් ගේ සංගමයේ සභාපති ජී.කමල් රේණුක පෙරේරා මහතා නීතීඥ දර්ශන වේරදූවගේ මහතා මගින් ද , ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා නීතීඥ සුනිල් වටගල මහතා මගින් පෙත්සම් ඉදිරිපත් කළහ.
එම පනත් කෙටුම්පත නීතියක් බවට පත් වීමට නම් පාර්ලිමේන්තු වේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සහ ජනතාව විසින් ජනමත විචාරණයක දී සම්මත කල යුතු බවට තීන්දු කරන ලෙස සිය පෙත්සම් මගින් පෙත්සම්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.
ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරිත්වයට හානි කරමින් වරාය නගර කොමිසම පනත යටතේ කොමිසම ස්ථාපිත කර බලය පැරීමට කටයුතු කර ඇති බව පෙත්සම් වල සදහන් වේ.
COMMENTS
සමගි බලවේගය කෝ?
විරුද්ධ වෙන පාර්ශව මේ ගැනත් හිතා බලන්න. අපි චීනාට දුන්නේ අක්කර ගණනක මුහුද පමණයි. එය ගොඩකර වෙළඳ නගරයක් කිරීමේ ඩොලර් මිලියන ගණනක වියදම් දැරුවේ චීන රජයයි. එසේ ගොඩනගපු වෙළඳ නගරයේ පාලනයට නීති පද්ධතියක් ඕනේ නේද? අපේ රටේ නීතිය කොල්ලා බල්ලා අනුව වෙනස්වෙන බව ඔබලත් දන්නවා. අපිත් දන්නවා, චීනත් දන්නවා. හෙල්මට් නැතුව මෝටර් සයිකලයේ යන හම්බයාගේ ඔලුවට හෙල්මටය ඔබන්න බැරි නීතිවලින් මේ වෙළඳ නගරය පාලනය කරන්න බැරිබව චීනා දන්නවා.. අපිත් දන්නවා... එසේ නම් නගරය පාලනය වෙන්න අලුත් නීති පද්ධතියක් ඕනේ නේද? එය වෙළඳ නගරය අයිතිකරුවන්න්ට උවමනා විදිහට හැදෙනවා මිස අපිට ඕනේ විදිහට කෙරෙන්නේ නැහැ නේද? අනික ඕවා තීන්දු වෙන්න ඇත්තේ වෙළඳ නගරය හදන්න පළමුව මෙපමණ කලක් ඔබලා ඔය ගැන දැනගෙන සිටියේ නැද්ද?