(නිමල කොඩිතුවක්කු)
උසස්වීම් ලබාදීම ඇතුළු ගැටළු කිහිපයක් මුල්කර ගනිමින් විදුහල්පතිවරුන් 4000ක සහභාගීත්වයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිට ලබන 6 වැනිදා පෙරවරු 10.00 ට දැවැන්ත විරෝධතාවයක් සිදුකරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා සඳහන් කරයි.
2009 න් පසුව විදුහල්පති සේවයට එක්ව සිටින 4000 කට ආසන්න පිරිසක් සඳහා උසස් වීම් වලට ප‍්‍රධාන බාධාවක් බවට පත්ව ඇත්තේ දෙමල භාෂාව සමත් වීම බවත් ඒ සම්බන්ධයෙන් සහනයක් ලබා දෙන බවට රජය එකඟ වූ නමුත් එයට අදාල චක‍්‍රලේඛ නිකුත් නොකිරීම නිසා මෙම විරෝධතාවය ක‍්‍රියාත්මක කරන බවත් ස්ටාලින් මහතා පැවැසීය.
දෙමල භාෂාව සමත්වීමට සහනයක් ලබාදෙන බවට ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන් රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරුන් එකඟතාවය පලකර ඇති බවත් ඔහු පැවැසීය.
එහෙත් එයට අදාල චක‍්‍රලේඛය මෙතෙක් නිකුත් නොකිරීමෙන් විදුහල්පතිවරුන් 4000ක් සඳහා පළමු පන්තියට උසස් වීම් ඇණ හිට ඇති බවද හෙතෙම සඳහන් කළේය.
මේ හේතුවෙන් එම පිරිසට වෙනත් උසස්වීම් සහා ඉදිරිපත් විමට නොහැකිවීමේන් බලවත් අසරණතාවයකට පත්ව ඇති බවද ජොෂප් ස්ටාලින් මහතා වැඩිදුරටත් පැවැසීය.
COMMENTS
මේවා ඔක්කොම බොර දියේ මාළු බාන වැඩ. ඡන්දයක පෙර නිමිති දැක්කම හැමෝගෙම බඩ දගලනවා. කොයි මාලුවාද බාගන්නේ කියලා. දේශපාලකයොත් මේවා අවසන් මොහොත වෙනකම්ම තියාගෙන ඉදීවි. ඡන්ද කොල්ල කන්න. රාජ්‍ය සේවයේ බොහෝ දෙනෙක් තමන්ට වැටුප් ලබාදෙන මහජනයාට සලකන්නේ මහ නරක විදිහට. හැම දෙයක්ම අකර්මන්‍ය කර තමන්ගේ ගොඩ වැඩි කර ගන්න ප්‍රතිපත්තියක තමයි තමන්ගේ රැකියාව භාවිතා කරන්නේ. පලිහක් විදිහට. රටක කොදු නාරටිය බදු රාජ්‍ය සේවය මෙහෙම වෙනකොට අනිත් රැකියාවන් ගැන කුමන කතාද?
සිංහල හරියට බැරි මිනිස්සු කොළඹත් ඉන්නකොට... අනේ මට තේරෙන්නේ නෑ
ඉස්සර දොස්තරවරුන්ට මිනිසුන් සැලකුවේ දෙවිවරුන් හැටියටයි.සමාජයේ ඉහළ පහළ කිසිම කෙනෙකු දොස්තරවරයකුට කටක් ඇරලා වචනයක් කිව්වේ නැහැ.ඒත් දොස්තරවරුන්ව ස්ට්‍රයික් කරවලා ඒ බලය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නැතිකර දැම්මා.මිහිබට දෙවිවිවරුන් වන ගුරුවරුන්ව හා විදුහල්පති වරුන්ව ස්ට්‍රයික් කරවලා ඒ බලයද සැහෙන ප්‍රමාණයකට මේ ගුරු සංගම් විසින් විනාශ කරනු ලැබුවා.ඉතිරි ටිකත් විනාශ කරන්නයි මේ අප්‍රතිහත උත්සාහය.
අනේ ඔන්න "ස්ට්‍රයික් " යන වදන මෙහි ලිව්වේ තේරුම නොදැන එහෙම නොවෙයි. ඒ වදන ඒ තරමටම අපේ රටේ ජනතාව අතර සන්නිවේදනය වෙන අප්‍රිය වදනක්. එය ඒ අාකාරයෙන් දැක්වීම සන්නිවේදනයේදී වඩාත් පහසුවෙන බව කරුණු කාරණා දන්නෝ දනිති. සිහළ බසට පර භාෂාවන්ගේ වචන එකතුවීම නිසා බස පෝෂණය වුණා. අනෙක් භාෂා සඳහාත් මේ තත්ත්වය එසේමයි. සිරිතක් හැටියට අප "මං අද පාපැදියෙන් ගමනක් ගියා" කියා කියන්නේ නැහැ. ඒ වෙනුවට යොදන්නේ බයිසිකලය කියයි. "මං අද දුරකථනයෙන් දුරකථන ඇමතුමක් ගත්තා " වෙනුවට මං අද ටෙලිපෝන් එකෙන් (ටෙලිපෝනයෙන්) කෝල් එකක් ගත්තා යන්නත් යෙදෙනවා. භාෂාවේ පෝෂණයට පර භාෂාවන් උපකාර වන බව භාෂාව ගැන ගැඹුරට හදාරා ඇත්තෝ දනිති.
රජයේ නිළධාරින්ට දෙමළ භාෂාව ඉගෙනගන්න කිව්වේ මුලින්ම එක්දහස් නවසිය අසූ ගනන්වල කියල මතකයි.නමුත් වැඩිදෙනෙක් එයට කැමැත්තක් තිබුනේ නැහැ.භාෂා කීපයක් උගතාට මිස එහි වටිනාකම මෝඩයන්ට තේරෙන්නේ නැහැ.තව දෙයක් කියන්න වෙනවා සමහරක් ගුරුවර /ගුරුවරියො ඉගෙනගැනීම පැත්තක තියල උසස්වීම් ගන්න ඡන්ද වැඩ කරනවා. එහෙම කරල උසස්වීම් ගත්ත අයත් ඉන්නවා කොහොම වුනත් 2007 න් පසුව රාජ්‍ය සේවයේ පත්වීම් ගත් අයට දෙමළ සමත්වීම අනිවාර්ය බව තියන්න ඕන
වෘත්තීය සමිතියක වගකීම විය යුත්තේ පිකටින් කිරීම නොවේ. තම සංගමයේ සාමාජිකයින් දැනුමෙන් පරිපූර්ණ කර අවසානයේ උසස්වීම ලබාදීමට අවශ්‍ය පියවර ගැනීමයි. මොහු මොනවද කරන්නේ? දේශපාලකයින් ඔවුන්ගේ හෙයියන්ට උසස්වීම් දෙනවිට නිහඬව ඉන්නවා. සුදුස්සාට සුදුසු තැන ලැබෙන ලෙසට උසස්වීම් දීමට විභාග ක්‍රමයක් ඉල්ලන්නේ නැහැ. රටේ අනාගත පරපුරම දියුණු කිරීමට සිටින ගුරුවරුන්ට අවශ්‍ය පුහුණුක්‍රම ගැන කථාකරන්නේම නැහැ. අන්නිමට නුසුදුස්සාට උසස්වීම් දෙන්න කියලා විරෝධතා කරවනවා. (මොහු සිතනවා ඇති ගුරුවරුන් දැනුවත් වුනොත් ලැබෙන ප්‍රතිලාභ නැතිවේවි කියලා)