(අජන්ත කුමාර අගලකඩ)

පළාත් සභාවල හිටපු මැති ඇමැතිවරුන්ට තීරුබදු සහන යටතේ වාහන ආනයනය සඳහා බලපත්‍ර නිකුත් කිරිමට අනුමැතිය ඉල්ලා පළාත් සභා හා ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා විසින් අද (3) පැවති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරන ලද යෝජනාවට මුදල් ඇමැති මංගල සමරවීර මහතා විරුද්ධ වී ඇතැයි ද වාර්තා වේ.

ඒ හේතුවෙන් යෝජනාව සාකච්ඡාවට ගැනීම පසුවට කල් දැමුණු බවද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

පළාත් සභාවල හිටපු මැති ඇමැතිවරුන්ට ඇමෙරිකානු ඩොලර් 35,000 ක උපරිමයකට යටත්ව තීරුබදු සහන යටතේ වාහන ආනයනය කිරිම සඳහා එම යෝජනාවෙන් ඉල්ලීමක් කර තිබිණි.

අදාළ යෝජනාව ඇතුළත් කැබිනට් සංදේශය ඉදිරිපත් කරමින් ඇමැති වජිර අබේවර්ධන මහතා සඳහන් කර ඇත්තේ උතුරු පළාත් සභාවේ හැර අනෙකුත් පළාත් සභාවල හිටපු මැති ඇමැතිවරුන්ට තීරුබදු සහන යටතේ වාහන ආනයනය කිරිමට අවසර දෙන බව වාර්තා වේ.

උතුරු පළාත් සභාවේ මැති ඇමැතිවරුන්ට තීරු බදු සහන යටතේ වාහන ආනයනය සඳහා මීට පෙර බලපත්‍ර ලබාදී තිබිණි.

එහෙත් අනෙකුත් පළාත් සභා මැති ඇමැතිවරුන්ට වාහන ආනයනය සඳහා පසුගිය වසර පහ තුළම අවසර නොලැබිණි.

ඒ අනුව උතුරු පළාත් සභාවේ මැති ඇමැතිවරුන් 37 දෙනාට වාහන ආනයන බලපත්‍ර මීට පෙර නිකුත් කර තිබූ අතර අනෙකුත් පළාත් සභාවල හිටපු  මැති ඇමැතිවරුන් 418 දෙනෙකුට වාහන ආනයන බලපත්‍ර නිකුත් කිරිම සඳහා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබිණි.