(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා අපනයන ආදායම ඉහළ නැංවීමේ උපක්‍රමයක් ලෙස ‘ලක්සල’ තවත් ප්‍රදර්ශනාගාරයක් එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ඩුබායිහි විවෘත කිරීම සඳහා සාලා ග්ලෝබල් සමාගම සහ ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය ව්‍යාපාරික ගිවිසුමකට පසුගිදා එළඹීය.  

බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශයේ පූර්ණ සම්බන්ධීකරණය සහ දායකත්වය යටතේ ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය ‘ලක්සල’ සන්නාමය යටතේ මෙරට පාරම්පරික හස්ත කර්මාන්ත නිර්මාණ ඇතුළුව බතික්, අත්යන්ත්‍ර රෙදිපිළි, ශ්‍රී ලාංකීය තේ, කෝපි, කුළු බඩු, ආයුර්වේද නිෂ්පාදන, කාබනික ආහාර වර්ග සහ දේශීය රුපලාවණ්‍ය භාණ්ඩ නිෂ්පාදන මෙරට ප්‍රධාන පෙළ පුද්ගලික සමාගමක් වන සාලා ග්ලෝබල් සමාගම සමඟ ඩුබායිහි විවෘත කරන වරලත් අළෙවිසල ඔස්සේ ප්‍රවර්ධනය කිරීමට නියමිතය.

ලක්සල නව කළමනාකරිත්වයේ ඉදිරි ව්‍යාපාරික සැලැස්ම යටතේ මෙම  වසර අවසන් වීමට පෙර තවත් මෙවැනි වරලත් අළෙවි නියෝජිත ප්‍රදර්ශනාගාර කිහිපයක් විදේශීය තානාපති කාර්යාල හා සම්බන්ධ වෙමින් බි්‍රතාන්‍ය, චීනය, ජපානය සහ කැනඩාව යන රටවල්වල විවෘත කිරීමට නියමිතය.

මෙම ගිවිසුම අස්සන් කිරීමේ අවස්ථාවට බතික්, අත්යන්ත්‍ර, රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, එම අමාත්‍යංශයේ ලේකම් ජානක ධර්මකීර්ති, ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ සභාපති නීතිඥ ලක්මල් වික්‍රමආරච්චි සහ සාලා ග්ලෝබල් පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක චින්තක විජේවික්‍රම යන මහත්වරු ඇතු`ඵ විශාල පිරිසක් සහභාගි වූහ.