(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍යවරයකු වූ රිෂාඩ් බදියුදීන් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයකුට මරණීය තර්ජනය කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් තිදෙනකුගෙන් අද දින පැය 4කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

බන්ධනාගාර ජේලර්වරයකු ගෙන් හා නියාමකවරුන් දෙදෙනකුගෙන් එලෙස ප්‍රකාශ ලබා ගත් බව පොලිසිය කියයි

පැමිණිලිකාර වෛද්‍ය ප්‍රියංක ඉඳුනිල් පුපුලේවත්ත මහතා ඉකුත් 15 වෙනි දින බන්ධනාගාර ඩිස්පැන්සරිය තුළදී රැදවියන් සඳහා ප්‍රතිකාර ලබා දෙමින් සිටියදී හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් ඩිස්පැන්සරිය තුළට කඩා වැදීම හේතුවෙන් ඔහුට තම වාරය පැමිණෙන තුරු පිටතට ගොස් සිටින ලෙස වෛද්‍යවරයා දැනුම් දීමත් සමගම ආවේගශීලීව වෛද්‍යවරයාට මරණීය තර්ජනය කර තිබූ බව වෛද්‍යවරයා විසින් ඉකුත් 21 බොරැල්ල පොලිසියට පැමිණිල්ලක් කරන ලදි.

එහිදී රිෂාඩ් බදුයුදීන් මහතා වෛද්‍යවරයා වෙත අත දිගුකරමින් " තමුසේ දන්නැද්ද මොකක් කරලද මම ආවේ කියලා .තමුසෙව වෙන ලෝකෙකට අරින්නත් පුළුවන් ,පැයක් ඇතුලත මාරුකරලා යවන්නත් පුළුවන් .තමුසේ වැඩිය දැඟලුවොත් පාරේ යනකොට තමුසේයි තමුසෙගෙ කාර් එකයි අළු වෙලා තියෙයි .ඒක හොඳට දැන ගන්නවා

" එතකොට තමුසෙගෙ ගෑනිට මිනිහෙක් ළමයිට තාත්තෙක් නැති වෙයි .තමුසේ දැනගන්නවා මම රිෂාඩ් බදුර්දීන් යයි මරණීය තර්ජනය කළ බව ඔහු කළ පැමිණිල්ලේ සඳහන් වේ

සිද්ධිය වූ දින බන්ධනාගාර ඩිස්පැන්සරිය තුළට වෛද්‍යවරයාව කැඳවාගෙන ගිය නියාමකවරයා ගෙන් මෙන්ම බදුර්දීන් මහතා ආවේගශීලීව හැසිරෙන අවස්ථාවේදී ඔවුහු පිටතට රැගෙන ඒමට ගිය ජේලර් වරයාගෙන් සහ නියාමකවරයා ගෙන් එලෙස ප්‍රකාශ ලබා ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි .