(නිමල් ජයරත්න)
පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වැලිකන්ද සෙවණපිටිය ප්‍රදේශයේදී අද(19) අලුයම අත්ට්‍රැක්ටරයක් සහ වෑන් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් පස්දෙනෙකු මිය ගොස් 12 දෙනෙකු තුවාල ලබා ඇතැයි වැලිකන්ද පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ බෝඅත්ත ගම්මානයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයකු හා කාන්තාවන් සිව් දෙනෙකු වේ.
මියගිය කාන්තාවන් සිව් දෙනා වයස අවුරුදු 30, 35, 55 හා 60 යන වියේ පසුවන්නියෝ වෙති.
දිඹුලාගම මිහිදු පෙරහර බැලීමට ගොස් නැවත එමින් සිටියදී ට්‍රැක්ටරයේ ගමන් ගත් පිරිස මෙම අනතුරට ලක්ව ඇත. වෑන් රථය කොළඹ සිට කාන්තන්තුඩිය දක්වා ගමන් කරමින් තිබිණි.
අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථය ට්‍රැක්ටරයේ පිටුපස ගැටී ඇති බවත්, එය මීටර් 100ක පමණ දුරක් ඇදී ගොස් වෙළදසැලකට කඩාවැදී ඇති බවත් පොලිසිය කියයි.
වෑන් රථ රියදුරු වැලිකන්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අධික වේගය සහ රියදුරුගේ නොසැළකිලිමත්කම අනතුරට හේතු වූ බව පොලිසිය පවසයි.
අනතුර සම්බන්ධයෙන් වැලිකන්ද පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.




COMMENTS
මේ අත් ට්‍රැක්ටර් වල නැගල වෙසක්, පොසොන් ,පෙරහැර වල්, නරඹන්නට යන එක අපේ සංස්කෘතියේම කොටසක් වෙලා කියල මට හිතෙනවා බොහොමයක් නගරයෙන් එපිට තැන වල ( සමහර විටෙක මේ කොළඹත් ) මේක දකිනවා මේ මිනිස්සු අහිංසක මිනිස්සු , යාන වාහන නැති හින්දයි මෙහෙම යන්නේ නමුත් එක දෙයක් තියනවා රාත්‍රී කාලයට මේ වයේ අඩු "එලිය " හින්ද මේවා අනිත් වාහන වලට පෙන්නේ නැහැ විශ්ෂයෙන් ම ට්‍රේලරය .
අත්ට්‍රැක්ටරයේ පිටිපස (taillight ) නැතිවීම තමයි මුලිකම හේතුව ,ලඟට එනකම්ම අත්ට්‍රැක්ටරය පෙනෙන්න නැතිවීම තමයි විනාශයට හේතුව. තනිකරම වැරැද්ද අත්ට්රැක්ටර්කරුගේ .