(සිරංගිකා ලොකුකරවිට)

රූමස්සල වනජීවී අභයභූමියට අයත් ප්‍රදේශයේ ගස් කපා හෙළි පෙහෙළි කර රූමස්සල හරහා අඩි 40ක පාරක් ඉදිකරන බවට ආන්දෝලනයට තුඩු දී ඇති ප්‍රදේශය නිරීක්ෂණය කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීහු පිරිසක් එම ප්‍රදේශයේ අද (02) නිරීක්ෂණ චාරිකාවක‍ නිරත වූහ. මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්.අමරසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් සම්බන්දව මාධ්‍යවේදීන් විසින් කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව මෙම චාරිකාව සංවිධානය කර තිබිණ.

මෙම චාරිකාවේදී ගස් කපා හෙළි පෙහෙළි කර ඇති අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව මධ්‍යම පරිසර අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඒ.ප්‍රේමරත්න මහතා පැවසීය.

පසුගිය දිනවල පලවූ මාධ්‍ය වාර්තා වලින් අනාවරණය කර තිබුණේ උණවටුනේ ඉදිවෙමින් පවතින හෝටලයක අවශ්‍යතාව අනුව ඉදිකිරීමට යෝජිත මාර්ගයක් සඳහා රූමස්සල සාම චෛත්‍යයට පහලින් කැලේ කපා හෙළි පෙහෙළි කර ඇති බවයි. පසුව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයාගේ අත්සනින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් කර තිබුණේ එම ප්‍රදේශය හරහා අඩි පාරක් ඇති බවත් එම අඩි පාර දෙපස ගස් කපා විනාශ කර නොමැති බවත්ය. ගස් කපා දමා ඇත්තේ යාබද ඉඩමකට ප්‍රවේශ මාර්ගයක් සඳහා බවත් එහි සඳහන් කර තිබිණි.

එම මාධ්‍ය නිවේදනය සම්බන්දව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයාගෙන් මාධ්‍යවේදීන් මේ පිළිබඳ ප්‍රශ්න කිරීමෙන් පසු සභාපතිවරයාගේ සෘජු මැදිහත්වීමෙන් අද (02) සවස මෙම ක්ෂේත්‍ර චාරිකාව සංවිධානය කර තිබිණ.

රූමස්සල වනජීවී අභයභූමියේ සීමා මායිම් ආසන්නයෙන් ම වැටී ඇති අඩි පාර දෙපස තැන තැන ගස් කපා දමා ඇති ආකාරයත්, එම අඩි පාරේ සිට සාම චෛත්‍යය දෙසට අඩි 05ක පමණ ගස් වැටියක් ඉවත් කර යෝජිත අඩි 40 මාර්ගයේ පළලට සමාන වන පරිදි තවත් අඩි 30ක පමණ ප්‍රමාණයක් ගස් කපා හෙළි පෙහෙළි කර ඇති ආකාරයත් එහිදී මධ්‍යම පරිසර අධිකාරියෙන් පැමිණි නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක්විය.

රූමස්සල ජන්ගල් බීච් දෙසට  යන මාර්ගයෙන් හැරී යන පීල්ල පාර නම් අඩි පාර ආරම්භයේ සිටම පුළුල් කරමින් සිටින ආකාරයත් ඒ අසළ කළු ගල් කඩා ඉවත්කර ඇති ආකාරයත් එහිදී දක්නට හැකිවිය.

 

ඒ අවස්ථාවට පැමිණි මධ්‍යම පරිසර අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරයා කියා සිටියේ තමන් ඇතුළු නිලධාරීන් මීට සතියකට පමණ පෙර එම ස්ථානයට පැමිණෙන විට එම ගස් කපා දමා ඇත්තේ පුද්ගලික පදිංචිකරුවකුගේ නිවසට යාමට යැයි ග්‍රාම නිලධාරීවරයා පැවසූ බවයි. නමුත් එම නිවස කුඩා ලෑලි නිවසක් වන අතර එය අනවසර පදිංචිකරුවකුගේ නිවසක්යැයි චෝදනා කරමින් අසළ ඇති ජපන් සාම චෛත්‍යයේ නායක හිමියන් ‍පොලිසියට පැමිණිල්ලක් ද යොමු කර තිබිණ. එවැනි කුඩා නිවසක පදිංචි පවුලකට අඩි 40 ක් විශාල මාර්ගයක් ඉදිකිරීමේ අවශ්‍යතාව කුමක් දැයි මාධ්‍යවේදීන් මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කළ විට ඔවුන් කියා සිටියේ මේ එළි කිරීම සිදුකර ඇත්තේ සාම චෛත්‍යයට අයත් ඉඩමෙන් බවයි.

කෙසේ වුවද අභයභූමියේ සීමාවේ මායිම් සළකුණු අනුව එම ගස් ‍කපා එළි පෙහෙළිි කර ඇති ප්‍රදේශය අභයභූමියේ ප්‍රේරණ කලාපයට අයත්වන බවත් කිසිසේත්ම එළි පෙහෙළි කළ හැකි ප්‍රදේශයක් නොවන බවත් එහිදී කරුණු අනාවරණය විය. ඒ අනුව සහකාර අධ්‍යක්ෂ ප්‍රේමරත්න මහතා කියා සිටියේ මෙම කරුණු වාර්තා කර එම කොටස එළි පෙහෙළි කළ පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.