(ක.ග.කරුණාරත්න)     

                                       
වැලිකන්ද,කන්දකාඩුව පිහිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට වැලිකඩ බන්‍ධනාගාරය වෙත යවා සිටි පුනරුත්ථාපන ලාභියෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරුවීමෙන් පසුව කන්දකාඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දැනට සිටින පුනරුත්ථාපනලාභීන් 474ක් සහ එහි කාර්ය මණ්ඩලය 131ක් නිරෝධායනයට ලක්කිරීම සඳහා අද(07)  පියවර ගත් බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍යය සේවා අධ්‍යක්‍ෂ,වෛද්‍ය සරත් ජයසිංහ මහතා පැවැසීය.


ඊට අමතරව මෙම රැඳවියා කන්දකඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට වැලිකඩ බන්‍ධනාගාරය වෙත රැගෙන ගොස් ඇත්තේ පොලොන්නරුව බන්ධනාගාරය මගින් බවත් එම නිසා පොලොන්නරුව බන්‍ධනාගාරයේද රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය ද නිරෝධායනට ලක්කරන බව ඒ මහතා කීය.


මොවුන් සියලුම දෙනා නිරෝධායනයට ලක්කරනු ලබන්නේ වෙනත් ස්ථානයක නොව ඔවුන් දැනට රැඳී සිටින ස්ථානවලම බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා පැවසීය.


මේ අතර නිරෝධායනට යොමුකර සිටින මේ සියළුම දෙනා සඳහා පීසීආර් පරීක්‍ෂණද සිදුකරන බවත් හෙතෙම සඳහන් කළේය.