(සුජිත් හේවාජුලිගේ )

හිඟ විදුලි බිල්පත් ඇති    පාරිභෝගිකයන්ගේ නිවාසවල විදුලිය විසන්ධි කිරීමේ  කටයුතු විදුලිබල මණ්ඩලය විසින් ආරම්භ කරනු ලැබීම නිසා  විශාල පිරිසක් දුෂ්කරතාවයට පත්ව සිටිතියි වාර්තාවේ.

ඔවුන් මෙසේ දුෂ්කරතාවයට පත්ව සිටින්නේ එකවර එම හිඟ බිල්පත් ගෙවීමට සිදුවීම නිසා යැයි කියති.

මේ අතර  හිඟ විදුලි බිල්පත් ඇති පාරිභෝගිකයන් දහස් සංඛ්‍යාත පිරිසකට විදුලිබල මණ්ඩලය   රතු බිල්පත්  එවා ඇතැයිද  දැනගන්නට ඇත.
ආර්ථික වශයෙන් ලොකු දුෂ්කරතා පවතින මොහොතක මෙලෙස එකවර හිඟ මුදල් අයකර ගැනීමට කටයුතු කිරීම අසාධාරණ බව විදුලි පාරිභෝගිකයෝ පවසති.

මේ සම්බන්ධයෙන් අප විදුලිබල මන්ඩලයේ සාමාන්‍යාධිකාරී එම් ආර් රණතුංග මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසූවේ  හිඟ බිල්පත් කොටස් වශයෙන් ගෙවීමට මීට පෙර අවස්ථාව  ලබාදී තිබූ බවයි.

කෙසේ වෙතත් මාසික විදුලි බිල සහ හිඟ  මුදලින් කොටසක්  යනාදී වශයෙන් සාකච්ඡා කර ගෙවීමට තවමත් අවස්ථාව පවතින බවද ඔහු සඳහන් කළේය.

විදුලිය විසන්ධි කිරීමකින් තොරව හිඟ විදුලි බිල්පත් යම් සාධාරණ සහ  සහනදායි  ක්‍රමවේදයකට ගෙවීමට අවස්ථාව සලසා දෙන්නැයි  විදුලි පාරිභෝගිකයේ රජයෙන් ඉල්ලීමක් කරති