(ඩයනා උදයංගනී)

කෙරවලපිටිය විදුලි බලාගාරයේ ග්‍රිඩ් උපපොලක සම්ප්‍රේෂණ පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් රට පුරා සිදුවූ විදුලිය බිඳ වැටීම හේතුවෙන් කටයුතු රැසකට බාධා එල්ල වී ඇත.

මෙම විදුලි බිඳවැටීම අද (17) දහවල් 12.30ට පමණ සිදුවිය.

විද්‍යුත් තාක්ෂණය ඔස්සේ අධිකරණවල සිදුකෙරෙන නඩු කටයුතුවලට ද මේ හේතුවෙන් බාධා එල්ල වූ අතර ඉන්ධන බෙදාහැරීම, ජල සැපයුම් කටයුතු ආදියට ද බාධා එල්ල වීම නිසාත් විදුලිය භාවිතයෙන් කරගන්නා කටයුතු කරගැනීමට නොහැකිවීමෙනුත් ජනතාව දැඩි අසීරුතාවකට පත්ව සිටිති.

මහාමාර්ග සංඥා පද්ධතීන්ද ක්‍රියාවිරහිත වී ඇති අතර, ගමනාගමනයටද දැඩි බාධා එල්ල වී ඇත.

විදුලිය බිඳ වැටීම හේතුවෙන් දුම්රිය මාර්ග සංඥා හා ගෙට්ටු ක්‍රියාත්මකවීමට ද බාධා එල්ල වී ඇති අතර ඒ හේතුවෙන් දුම්රිය ධාවනය ද ප්‍රමාද වී ඇත.

මේ වන විට දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක හා කොත්මගේ ප්‍රදේශයට විදුලිය ලබා දී ඇති අතර සෙසු ප්‍රදේශවලට විදුලිය ලබාදීමට කටයුතු කරගෙන යන බව විදුලිබල මණ්ඩල‍යේ ප්‍රකාශකයෙක් පැවසීය.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)