(රෝෂන් තුෂාර)

උපරිමාධීකරණ විනිසුරුවන්ගේ නිල කාලය වැඩි කරමින් විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සහ රජය ඉදිරිපත් කෙරෙන යෝජනාවට එකඟ නොවීමට අධිකරණ සේවා සංගමයේ විශේෂ මහා සභා රැස්වීමේදී ඒකමතිකව තීරණය කළ බව එම සංගමයේ ලේකම් සුරංග මුණසිංහ මහතා සංගමයේ සියලු නියෝජිතයන් හට දැනුම් දී ඇත.

අධිකරණ සේවා සංගමයේ විශේෂ මහා සභා රැස්වීමේදී, සාමාජිකයන් රහස් ඡන්දයක් පවත්වා මෙම ඒකමතික තීරණයට එළඹ ඇති බවත් යෝජනාවට පක්ෂව කිසිදු ඡන්දයක් ලැබී නොමැති බවත් ලේකම්වරයා නිවේදනය කොට ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස 65 සිට සහ 67 දක්වා වැඩි කිරීම සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65ක් දක්වා දීර්ඝ කිරීමට නිල වශයෙන් විරෝධය පළ කිරීමේ තුන්වැනි අවස්ථාව මෙය වේ.

මෙරට මහේස්ත්‍රාත් අධිකරණ සහ දිසා අධිකරණ විනිසුරුවන්ගෙන් සමන්විත අධිකරණ සේවා සංගමය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ දී පසුගිය 11 දින විශේෂ මහා සභා රැස්වීමක් පවත්වමින් යෝජනාවට එකඟත්වය පළ නොකිරීමේ තීරණයට එළඹ ඇත.

මෙම විශේෂ මහ සභා රැස්වීමට පෙර සංගමයේ සභාපති කොටුව මහේස්ත්‍රාත් ප්‍රසන්න අමරසේන මහතා සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙමින් විශේෂ දැනුවත් කිරීමේ ලිපියක් ද සිය සාමාජිකයන් වෙත යොමු කොට තිබිණි.

ඒ අනුව සංගමයේ උප සභාපති මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ මහා සභා රැස්වීම පැවැත් වූ බව සංගමේ ලේකම් සුරංග මුණසිංහ මහතා සිය සාමාජිකයින්ට දැනුම් දී ඇත.

මෙම විශේෂ මහ සභා රැස්වීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් , ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත්, කඩුවෙල ප්‍රධාන මහේස්ත්‍රාත්, අතිරේක මහේස්ත්‍රාත් වරුන්, ඇතුළු සාමාජිකයින් හැට පස් දෙනෙකු සහභාගී වූ බවද පැවසේ.