(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතන 10 ක්  ඉදිරි දිනවල පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට(කෝප්) කැඳවීමට තීරණය කර ඇත.

මේ අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට  අනිද්දා( 11)  කැඳවන බව  කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.

නව අපනයන සැකසුම් කලාප පිහිටුවීමේ ක්‍රියාවලියේ කාර්ය සාධනය ඇගයීම පිළිබඳ විගණකාධිපතිවරයාගේ වාර්තාව මෙදින සාකච්ඡා කිරීමට නියමිතය.

මේ අතර ජාතික තරුණ සේවා සභාව සමග තරුණ සේවා (පුද්ගලික) සමාගම ලබන 16 වැනිදාත් , ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ලබන 17 වැනිදාත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය ලබන 23 වැනිදාත්  කෝප් කමිටුව හමුවට කැදවන බව සභාපතිවරයා පැවැසීය.

තවද  ගල්ඔය වැවිලි සමාගම ලබන 24 වැනිදාත් ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය නොවැම්බර් 30  වැනිදාත් කෝප් කමිටුව හමුවට කැදවා ඇත.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනය‍ (NIBM), ශ්‍රී ලංකා පදනම් ආයතනය සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය යන ආයතන පිළිවෙළින් ලබන  මස 01, 02, 07, 09 යන දිනවල  කෝප් කමිටුව හමුවට කැඳවනු ලැබ ඇත.