( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

සුදු වෑන් වලින්  පුද්ගලයන්  පැහැරගෙන  කිඹුලන් ගහන වැවකට දැමූ බවට ඉකුත් වසරේ පැවති ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවක් පැවැත්වූයේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්  සැකපිට අත්අඩංගුවට ගෙන ගෙන සිටි තමන්ට ඇප ලබා දුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය දුන් නියෝගය අවලංගු කරමින් තමන් යළි රිමාන්ඩ් බාරයට පත් කරන ලෙසට   මහාධිකරණ  තීන්දුව නීතිවිරෝධී බවත් , එම තීන්දුව  ප්‍රතිශෝධනය  කරන ලෙස ඉල්ලා   රාජිත සේනාරත්න මහතා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා  මේ 29 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට අභියාචනාධිකරණය අද (19) නීතිපතිවරයාට නොතීසි නිකුත් කළේය 

මෙම ප්‍රතිශෝධන පෙත්සම ප්‍රියන්ත ප්‍රනාන්දු සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන් ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද (19) කැදවූ අතර  එහිදී පෙත්සම සලකා බලමින් අභියාචනාධිකරණ මඩුල්ල නීතිපතිට මෙම  නොතීසි නිකුත් කළේය.

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ගොනු කළ මෙම ප්‍රතිශෝධන පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපති නම් කරනු ලැබ සිටිති.

ඉකුත් ජනාධිපතිවරණ මැතිවරණ සමයේදී පැවැත්වූ  වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් ලබා දී තිබූ වරෙන්තුවක් මත තමන්ව   රහස් පොලිසිය විසින්  ඉකුත් දෙසැම්බර් මාසයේදී සැකපිට අඩංගුවට ගනු ලැබූ බවත්, ඒ  සම්බන්ධයෙන්  ඇප අයැදුමක් තමන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කල අතර ඒ අනුව තමන්ට ඇප ලබා  දෙමින් කොලඹ  මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය වසරේ දෙසැම්බර් මස 30දින නියෝගයක් දුන් බව පෙත්සමකරු කියා සිටී.

එම නියෝගයට  එරෙහිව  නීතිපතිවරයා  ඉදිරිපත්  කල ප්‍රතිශෝධන  පෙත්සම් විභාග කල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ඉකුත් 13 වැනිදා තමන්ට ඇප ලබා දෙදමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලබා දුන් නියෝගය අවලංගු  කළ බවද පෙත්සමේ සදහන් වේ 

ඇප පනත වැරදි ලෙස  අර්ථ දක්වා  මෙම  මහාධිකරණ  නියෝගය දී ඇති බවත් ,එබැවින් තමන්ට ඇප ලබා දීම අවලංගු කරමින් ලබා දුන්  එම මහාධිකරණ තීන්දුව නීතිවිරෝධී බවට ප්‍රකාශ කරන්නැයිද පෙත්සමින් ඉල්ලා සිටී.

එම මහාධිකරණ  නියෝගය බල රහිත කරන ලෙස මෙම පෙත්සමෙන් ඉල්ලා ඇත.  

පෙත්සම්කාර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතාද , නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය  සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාද පෙනී සිටියහ.