(මනෝප‍්‍රිය ගුණසේකර)

මෝදර ධීවර වරාය අඩු මුදලකට බදු දීමෙන් රජයට පාඩු කළ බවට හිටපු ධීවර ඇමති රාජිත සේනාරත්න මහතා ඇතුලු විත්තිකරුවන් තිදෙනාට එරෙහි නඩුව නොවැම්බර් 10 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඞ් ඉර්ෂඞීන් මහතා අද නියම කළේය.

නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා එලෙස නියම කළේය.

2014 වසරේ අගොස්තු මස පළමුවැනිදාත් නොවැම්බර් මස පළමුවැනිදාත් අතර කාලයේ කොළඹදී මෝදර ධීවර වරාය ‘සී ගල්ෆ් යු.කේ.’ සමාගමට අඩු මුදලකට බදු දීම සඳහා ලංකා ධීවර වරාය නීතීගත සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය පෙළඹවු බවටද ඒ අනුව මෝදර ධීවර වරාය එම සමාගමට අඩු මුදලකට බදු දීමෙන් රජයට පාඩු සිදුකළ බවටද විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම චෝදනා නඟා ඇත.

එමඟින් විත්තිකරුවන් අල්ලස් පනතේ 70 වැනි වගන්තියේ දැක්වෙන දුෂණය නමැති වරද සිදුකළ බවට විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අධිචෝදනා 05ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.

හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට අමතරව මෙලෙස චෝදනා නඟා ඇත්තේ ලංකා ධීවර වරාය නීතීගත සංස්ථාවේ හිටපු අධ්‍යක්‍ෂ උපාලි ලියනගේ සහ එහි කළමණාකාර අධ්‍යක්‍ෂ නීල් රවින්ද්‍ර මුණසිංහ නමැත්තන්ටය.